මුල් ළමාවිය සංවර්ධනය වේගවත් කිරීමට නිවසේදී කළහැකි ක්‍රියාකාරකම්

පූර්ව ළමාවිය එහෙමත් නැත්තම් මුල් ළමාවිය සංවර්ධනය කියල කියන්නෙ කුඩා දරුවෙකුගේ ජිවිතයේ හරිම වැදගත් අවස්ථාවක්. මේ මුල් ළමාවිය සංවර්ධනය ගැන අපි මීට කලින් වෙනම ලිපියකින් මේ විදිහට කතා කළා. එතනදිත් අපි කිව්වා දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයේ ලොකුම කාර්යභාරයක් හිමිවෙන්නේ දරුවාගේ දෙමව්පියන්ට කියලා. මොකද උපතේ ඉඳලා විධිමත් අධ්‍යාපනයට යොමුවෙනකන් ලොකු කාලයක් දරුවන් ගත කරන්නේ දෙමව්පියන් එක්කනේ. ඒ නිසා පාසල් හෝ පෙර පාසල් යනකන් දරුවන් නිකන්ම ගෙදර තියාගෙන කන්න බොන්න විතරක් දෙන එක අද කාලේ තරඟකාරී පරිසරයට ගැලපෙන්නේ නැහැ. පුංචි දරුවෙක් බහ තෝරන වයසේ ඉඳලම නොයෙක් දේ අළුතෙන් ඉගෙන ගන්නවා. ඉතින් ගෙදර ඉන්න දෙමව්පියන්ට පුළුවන් දරුවන්ගේ ඒ මුල් ළමාවිය සංවර්ධනය වේගවත් කරන්න පුළුවන් විදිහේ විවිධ ක්‍රියාකාරකම් දරුවන්ට හඳුන්වා දෙන්න. අද මේ කතා කරන්නේ අපිට එහෙම කුඩා දරුවන් එක්ක, ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක් ගැනයි. දෙමව්පියන්ට වගේම දෙමව්පියන් වෙන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වෙයි මේ දැනුම.

01. මුහුණ බලන කණ්නාඩියක්


මේක ඉතා කුඩා කාලයේ ඉඳලම කරන්න පුළුවන් ක්‍රියාකාරකමක්. ඉස්සර කාලේ ආච්චිලානම් බබාලා පුංචි කාලේ කන්නාඩියෙන් මුහුණ පෙන්වන්න දුන්නේ නැහැ. නමුත් දැන් අලුත් සොයාගැනීම් අනුව මේ විදිහට කන්නාඩියකින් තමන්ගේම ප්‍රතිබිම්භය, ක්‍රියාකාරකම් දකින එක දරුවගේ මනසේ වර්ධනයට උපකාරී වෙන බව කියනවා. බබා නිදියන කොට් එක හෝ බබා නිතර රැඳෙන තැනක අනතුරුදායක නොවන අයුරින් මුහුණ බලන කන්නාඩියක් සවිකරලා තියන්න. මුල් කාලෙදි ඒ එයාගෙම ප්‍රතිබිම්භය බව බබාට නොතේරුණත් ඒ මඟින් විවිධ ක්‍රියාකාරකම් දකිමින් ඔහු අලුත් දේ ඉගෙන ගන්නවා.

02. දවසේ සමාලෝචනය


පුංචි කාලයේ ඉඳලම බබා එක්ක නිතර කතා කරන්න. ඒක දරුවාගේ කථන හැකියාවන් වේගවත් කරන්නත් ලොකු උදව්වක්. එදිනෙදා සිදුවෙන දේ, අවට ඉන්න අයගේ ක්‍රියාකාරකම් වගේ දකින ඕනම දෙයක් ගැන පුංචි දරුවා එක්ක කතා කරන්න. දරුවා ටිකින් ටික වයසින් වැඩෙනකොට කතා කරන මාතෘකා පුළුල් කරන්න. ඒ මඟින් අලුත් වචන, අලුත් මාතෘකා ගැන දරුවා ඉගෙන ගන්නවා. පිරිසක් ඉදිරියේ කතා කරන්න දරුවාට අවශ්‍ය ශබ්දකෝෂය ඉබේම සකස් වෙනවා.

03. පොත් කියවීම


වයස අවුරුදු එකට ආසන්න කාලයේ ඉඳලම විවිධ පින්තූර පොත් පෙන්වමින් දරුවාට කතන්දර කියාදෙන්න පුළුවන්. අකුරු තියෙන පොත් වෙන්නම අවශ්‍ය නැහැ. නිකන් පින්තූර පෙන්වමින් කතාවක් ගොඩනගන්න පුළුවන්නේ. ඒ මගින් දරුවා පොත් වලට හුරුවෙනවා. කතන්දර පොත් කියවීම ටික ටික ආරම්භ කරන්න පුළුවන්. ටික කාලයක් යනකොට පින්තුරය දිහා බලාගෙන කතාව කියන්න පුළුවන් හෝ කතාව මතකයෙන් කියන්න පුළුවන් හැකියාව ඉබේම දරුවා තුලම ගොඩනැගෙනවා. මේකත් පෙර පාසල් යනකන් නොඉද ගෙදරදීම ගොඩනගන්න පුළුවන් හැකියාවක්.

04. ලේබල් කිරීම සහ වර්ණ හඳුන්වාදීම


ගෙදර තියෙන බඩු භාණ්ඩ වලට විවිධ ලේබල් යොදලා ඒවා දරුවාට හඳුනාගන්න සලස්වන්න පුළුවන්. අකුරු කියවන්න බැරිවුණත් ලේබලයේ හැඩය, අකුරුවල රටාව එහෙම ටික දවසක් යනකොට දරුවා මතකයේ තියාගන්නවා. මේ වගේ ක්‍රියාකාරකම් මඟින් බබාගෙ මතක තබාගැනීමේ හැකියාව දියුණු වෙනවා. ඒ වගේම ගෙදර තියෙන බඩු වලින්ම වර්ණ හඳුන්වාදීමත් ඉතාම හොඳ ක්‍රියාකාරකමක්. ඊට අමතරව හානිදායක නොවන කුඩා බෝල වගේ දේවල් වර්ණ වලට වෙන්කිරීම වගේ ක්‍රියාකාරකම් එහෙමත් දරුවාට හුරුකරන්න පුළුවන්.

05. නිර්මාණශීලීව ආහාර ඉදිරිපත් කිරීම


බබාලා කෑම කන්නේ නැහැ කියන එක හුඟක් අම්මලාගේ පැමිණිල්ලක්. මේක ඒ ගැටලුවටත් විසඳුමක් වෙන්න පුළුවන්. බබාට දෙන කෑම එක ලස්සනට සකස් කරල ඉදිරිපත් කරන්න. ඒකෙන් දරුවා නිතර නිර්මාණශීලි දේවල් දකින්න හුරුවෙනවා. ඇසට වර්ණ ග්‍රහණය වෙනවා. ඒ වගේම කෑම ලබාදෙන අතරේ ඒ හැම කෑමක්ම වෙන වෙනම හඳුන්වා එන්න. එතකොට ආහාර ගන්න එකත් අවබෝධයෙන් සිදුවෙනවා.

 

06. Sensory Activities


Sensory Activities කියල කියන්නෙ කුඩා දරුවන්ට ඉතාම වැදගත් ක්‍රියාකාරකම්. මේවා ඕනතරම් අන්තරජාලයේ දකින්න පුළුවන්. අපි වෙනම ලිපියකින් මේ ක්‍රියාකාරකම් ගැනත් කතා කරන්නම්. ගෙදර තියෙන පොඩි පොඩි දේවල් වලින් මේ ක්‍රියාකාරකම් පහසුවෙන්ම කරන්නත් පුළුවන්. මේ මඟින් දරුවාගේ සංවේදනයන් දියුණුවීම සිදුවෙනවා.

අතට දැනෙන හැඩ, විවිධ වයන, නාසයට දැනෙන ගඳ සුවද, ඇසට පෙනෙන වර්ණ වගේ හැම දෙයක්ම යොදාගෙන මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේවා විනෝදය වගේම අධ්‍යාපනික වටිනාකමකුත් ඇති ක්‍රියාකාරකම්. බබාට වගේම දෙමව්පියන්ටත් කම්මැලි කමක් නැතුව මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන් වීම තමයි ලොකුම වාසිය.

07. පෙර පාසල් ගීත හඳුන්වා දීම

මේකනම් හුඟක් දෙමව්පියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන දෙයක්. විශේෂයෙන්ම ජංගම දුරකථන හරහා කුඩා දරුවන්ට ළමා ගීත නරඹන්න සැලැස්වීම දැන් හැම දෙනෙක්ම කරනවනේ. හැබැයි ස්ක්‍රීන් ටයිම් කියන්නේනම් අපි එක්තරා වයස් සීමාවක් දක්වා හැකිතරම් සීමා කරන්න ඕන දෙයක්. ඒ කොහොම වෙතත් පරිඝනක හෝ දුරකථන තිරය හරහාම නැතුව වැඩිහිටියන් විසින් ළමා ගීත හුරු කිරීම නම් කුඩා දරුවන්ට ඉතාම හොඳ ක්‍රියාකාරකමක්. ඒ මඟින් ඔවුන් විවිධ වචන ඉගෙන ගන්න, සිදුවීම් සිහියේ තබාගන්න වගේම ගීතයට අනුව අංග චලනයන්, මුහුණේ ඉරියව් පවා ඉදිරිපත් කරන්න ඉගෙන ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *