වැස්සක් නැති දවසක ලංකාවේ ගොඩක් පැතිවල දවසේ මැද කාලේ ගතවෙන්නේ අව්ව එක්ක. මේ අව්වෙන් වේලි වේලි ඉන්න වෙලාවක හුළඟක් වදින්නෙත් නැති දාඩිය දාන වෙලාවක නම් ඉතිං බීමක් තියේනං එල. මේ විදියට අපිට අවට රස්නේ වෙලාවට ඇතුළ සීතල කරගන්න බොන්න පුලුවන් බීම මොනවද? අපි කිහිපයක් බලමු.
1. තැඹිලි කුරුම්බා
තැඹිලි වතුර සහ කුරුම්බා වතුර කියන්නේ තනිකරම වාගේ ස්වාභාවික පානයක්. ගහෙන් කඩලා පැක් එක හෙවත් ගෙඩිය පිටින්ම අපේ අත උඩටම එන තැඹිලි ගෙඩියට විසක් වසක් එකතුවන්නේ නැතිම තරම්. ප්‍රණීත රසින් වගේම පෝෂණ ගුණයෙනුත් මේ තැඹිලි වතුර පොහොසත්. අපේ ගමේ කඩපිලේ වගේම කොළඹ සිදාදියෙත් තැඹිලි කරත්ත තියාගෙන ඉන්න තැඹිලි මාමලාගෙන් නම් අඩුවක් නැහැ. තැඹිලි ගෙඩියක් මිලදී ගන්න යන්නේ අනෙකුත් බීම වලට සාපේක්ෂව අඩු මිලක්. ගිනියමේ වේලි වේලි තැඹිලි කපලා විකුණන තැඹිලි මාමලට උපකාරයක් විදියටත් අපේ විඩාව සංසිඳවන්න දිව්‍යමය පානයක් විදිටයත් තැඹිලි හෝ කුරුම්බා අපිට පානය කල හැකියි.
2. දොඩම් පැණි දොඩම්
අපිට දොඩන් නැත්දැයි දකුණේ වැසියන් අසන්නේ අපිට කතාකරන්නේ නැතිදැයි යන අදහස ඇතිව. එහෙත් මේ අපි කියන දොඩම් පානය යනු රසම රස ඇඹුල් හෝ පැණි දොඩම් වීදුරුවකට. මෙම දොඩම් ගෙඩි කීපයක් තබාගෙන, අපි එතැනට ගිය ගමන් සිය වැඩ රාජකාරි පටන්ගෙන, දොඩම් ගෙඩිය සට සට ගාලා මිරිකලා ඒ යුෂ වලට ගම්බිරිස් කුඩු ටිකකුත් දාල සීනි අයිසුත් දාලා දොඩම් හදලා දෙන අය පාර දෙපැත්තේ දකින්නට ඉන්නවා. හොඳටම ග්‍රීෂ්ම වෙලාවක ඒම කෙනෙක් හමු වෙනවා කියන්නේ අම්මෝ දෙයියෝ දැක්ක වගේ නේ ඉතිං… දොඩම් පානය අසෝක වීදුරුවකින් එකක් හෝ එයින් බාගයක් විතර ගහගත්තාම අවට තිබෙන ගිරිස්මය එක්ක ඇඟට දැනෙන විඩාව කොහෙන් ගියාද කියලා හොයාගන්න නැතිවේවි.
3. ජූස් නම් ජූස් පළතුරු ජූස්
අරක්කු බියර් කඩ ගාව වගේ ජූස් බාර් ගාව සෙනග පිරිලා තියෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් ජූස් බාර් එකකින් ජූස් එකක් ගැහීම කියන්නේ සැර බීම වගේ බඩ පපුව දාගෙන ඇතුළට යන කටුක අත්දැකීමක් නෙමෙයි. බොහෝම නිවුන සිසිල ඇඟ තුළින් ගලන සනීපදායක අත්දැකීමක් තමයි පළතුරු ජූස් එකකින් ලැබෙන්නේ. එයිනුත් දිවුල් ජූස් එක තරමක් වෙනස්. ඇඹුල් රසිනුත් අමුතු කසට රසයකිනුත් යුතු දිවුල් යුෂ පළතුරු යුෂ අතර ජනප්‍රිය එකක්. නෙල්ලි, අඹ, අන්නාසි, ආදී විවිධ ආකාරයේ ජූස් වර්ග ජූස් බාර්වල තිබෙනවා. ඉන්දියාවේ නම් අන්නාසි ගෙඩිය පිටින් ම දමා යුෂ බවට පත් කර එවෙලේම එම අමු යුෂය පානය කරන්නට ලැබෙන ස්ථාන තිබෙනවා. ලංකාවේ අපිට ජූස් බාර් එකකට ගියාම, බ්ලෙන්ඩර් එකක් හරහා ගිහින් සීනි ටිකක් වැටිලා අපේ දිව ළඟට ජූස් එක එද්දි ජූස් එක දැක්කත් රස්නේ පොඩ්ඩක් එහාට මෙහාට වෙලා සීතලට ඉඩ දෙන ගතියක් තියෙනවා.
4. කූල් වතුර
මොන මොන බීම ජාති තිබුනත් නියම ගාණට සීතල උන වතුර ටිකක් බොන එක රස්නේ වෙලාවක ලැබෙන මහත් වාසනාවක්. අයිස් වලට පොඩ්ඩක් මෙහා හෝල්ට් එකක තිබෙන අයිස් වතුර නෙමේ, මැටි කළයක වතුර වල තිබෙන මද සීතල එක්ක වතුර ටිකක් බොන්න ලැබෙනවා නම් එතැනදි රස්නේ ගතිය ටික වෙලාවකට හරි අපේ සිරුරෙන් ඈත් වෙනවා.
5. තේවතුරෙක්කාක්… කෝපිඑකාක්…
පොළව කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ වෙහෙසවන සුවහසක් ගොවි ජනයාගේ, කම්කරු ජනයාගේ වෙහෙස නිවන පානය තමයි තේ වතුර එක. එහෙම නැත්නම් කෝපි එක. මේක ඇවිල්ල ඇඟ සීතල කරන සීත පානයක් නම් නෙමෙයි. ඒත් වෙහෙස මහන්සි වෙලා ගමනක් බිමනක් යද්දි අව්වේ වැඩි වෙලාවක් ගමන් කරද්දි, එහෙම නැත්තං එළිමහනෙ වැඩක් කරද්දි ඒ කාරිය පොඩ්ඩකට නවත්වලා තේ එකක් කෝපි එකක් බිව්වාම ඇඟට අමුතුම පණක් ආරූඪ වෙනවා. තේ කෝපි වල තිබෙන කැෆේන් අපේ සිරුර ප්‍රාණවත් කරන්නට සමත්. ඉතිං ගිනියම් ඌෂ්ණේ දාඩියෙන් ඉන්න වෙලාවක දාඩිය ටිකක් වැඩිවෙන්නට හේතුවක් වුනත්, ඇඟට කික් එකක් ලබාගන්න තේ එකක් කෝපි එකක් බීලම බලමුද?
6. කිරි
පාස්චරිත කිරි, කල්කිරි, යෝගට් පාන ආදී ලෙසින් කිරි බෝතල් සහ කිරි පැකට් වල පැමිණෙන මේ කිරි තරුණ බාල මහලු සියලු දෙනා අතර ප්‍රචලිත බීමක්. ශීත කරන ලද මේ කිරි වර්ග සිරුරට විඩාව දැනෙන රස්නය දැනෙන වෙලාවට කියාපු පානයන්ය. මේ කිරි පැකට් හෝ බෝතල ෆ්‍රිජ් එකක් ඇති කුඩා වෙළද සැල් වලින්ද මිලදී ගන්නට හැකියාව තිබේ. වටින් පිටින් දාඩිය දාන වෙලාවක කඩයක් ළඟපාත තියේ නම් කිරි එකක් බීම බටේකින් ඇදල දාන එකත් එකපාර ඇඟ සීතල කරගන්න හොඳ කෙමක්.
7. කාබනික බීම
ලංකාවේ ඕනිම කඩපිලක, හෝටලයක වතුර වලටත් වඩා සුලභ කාබනික බීම විවිධ නම්වලින් තිබේ. දිවට කිතියක් ලැබෙන ප්‍රණීත රසකින් යුතු කාබනික බීම වර්ග ගණන නම් එක්වරම කිය නොහැකි තරම් විශාල සංඛ්‍යාවකි. කාබන් ඩයොක්සයිඩ ජලයේ දියකිරීම මගින් තැනෙන මෙම කාබනික බීම අද වනවිට අඩු සීනි, වැඩි සීනි, මැද සීනි වශයෙන් වර්ගීකරණයකට ලක් කර ඇති හෙයින් වඩාත් පහසුවෙන් ඒවා තෝරාගත හැකිය.
ඝර්ම කලාපීය රටක වැසියන් විදියට නිතර රස්නයෙන් සහ දහදියෙන් පීඩා විඳින අපිට ඒ පීඩාව මගහරවාගන්න තිබෙන හොදම ක්‍රමයක් තමයි පාන වර්ග. ඉතිං ඔබට මේ හරහා ඒ විදියට රස්නේ වෙලාවට පානය කරන්න පුලුවන් දේ ගැන අදහසක් එන්නට ඇති. ඔබටත් ඇති තවත් බීම වර්ග ගැන අදහස්. ඒවත් කමෙන්ට් එකකින් ලයිෆි අපි එක්ක බෙදා හදාගෙනම යමු නේද?
Cover Image Source – anjelalawson / vergin.com / weekly blog
Leave a Reply