රාමා, සීතා සහ හනුමන්තා ගැන නොදන්නා කතා දැනගන්න කියවන්න

රාමා සහ සීතා කියන්නේ ලෝක පූජිත පෙම් යුවළක්. හැබැයි ඒ දෙන්නා මැදට ආපු දුෂ්ටයා, රාවණා ඉන්නේ අපේ රටේ. ඒ වුණාට රාවණා අපේ බොහෝ දෙනෙක්ට වීරයෙක්. සමහර අය කියන විදිහට වෙනත් ග්‍රහලෝකවලට පවා  ආධිපත්‍ය පැතිර වූ චක්‍රවර්ති රජ කෙනෙක්. රාමා, සීතා සහ රාවණා ගැන ලෝකෙට කිව්වේ වාල්මිකී. ඒ රාමායණයෙන්.අපි රාමායණය කියවලා නැති වුණාට රාමායණයේ කතාව දන්නවා. සුලු මවකගේ කුමන්ත්‍රණයක් නිසා වනගත වෙන රාමාගේ බිරිඳ වුණු සීතාව, රාවණා විසින් පැහැරගෙන ලංකාවට ගේනවා. රාමා යුද්ධ කරලා රාවණාව පරද්දලා සීතාව ආපහු ගෙනියනවා. ගොඩක් අය දන්නේ මේ කතා සාරාංශය කියන එකට ඔයාලා හැමෝම එකඟ වෙයි. ඒත් එතනින් පස්සේ මොකද වුණේ කියලා ඔයාලා දන්නවද? රාවණා නම් මැරණා (සමහරු කියන විදිහට තාම නිද්‍රාවක පසු වෙනවා)  ඊට පස්සේ රාමයි සීතායි සතුටින් ජීවත් වුණා කියලද ඔයා මෙච්චර කල් හිතන් හිටියේ? එහෙමත් නැත්තන් ඒ ගැන හිතුවෙම නැද්ද? මේ ලිපියෙන් රාමා සීතා කතාවේ චරිතවලට ඊට පස්සේ මුහුණ දෙන්න වුණු ශෝකජනක ඉරණම් ගැන කතා කරනවා.

 

1. සීතා

Image Source – en.wikipedia.org

රාවණා මරා දැමීමෙන් පස්සේ සීතාවගේ පිරිසිදුබව පරීක්ෂා කරන්න අග්නි පරීක්ෂාවක් කරන්න රාමා නියම කළා සහ ඒකෙන් සීතා තමන්ගේ පිරිසිදුබව ඔප්පු කළා කියන එක ඔයාලා හැමෝම දන්නවා ඇති. ඊට පස්සේ රාමා සහ සීතා අයෝද්‍යාවට ගිහින් රාජ්‍ය පාලනය බාර ගන්නවා. මේ අතර කාලේදි සීතාට දරු ගැබක් හට ගන්නවා. ඒත් සීතා ගැන නොයෙක් කට කතා පැතිරෙන්න ගන්නවා. ඒ කටකතාවලට මුල් වන්නේ සීතා රාවාණාගේ භාරයේ හිටියා කියන එක. මේ කතාබහ රාමාටත් ආරංචි වෙනවා. ඒත් එක්කම තමන්ගේ රාජකීය ගෞරවය ආරක්ෂා කරන්න රාමා දැඩි තීරණයක් ගන්නවා. ඒ ගැබ්බර සීතාව පිටුවහල් කරලා ලෝකාපවාදයෙන් මිදෙන්න. මේ නිසා නැවතත් වනයට පිටුවහල් කරන සීතා, වාල්මිකී සෘෂිවරයාගේ ආශ්‍රමයට යනවා. ඒ ආශ්‍රමයේදී සීතා නිවුන් දරුවන් ප්‍රසූත කරනවා. ඔවුන් දෙදෙනාට ලව සහ කුස යන නම් සීතා ලබාදෙනවා. ඒ දරුවෝ ආශ්‍රමය තුළ හැදී වැඩෙනවා. මේ කාලේදී රාමා අශ්වමේධ කියන යාගය පටන් ගන්නවා. ඒ යාගයේ දී අශ්වයෙක් මුදා හැරෙනවා. ඒ අශ්වයා වෙනත් අයෙක් සතු කරගන්න තහනම්. යම් කෙනෙක් අශ්වයාව තමන් සතු කරගත්තොත් ඒ අය රාමා එක්ක යුද්ධ කළ යුතු වෙනවා. මේ අශ්වයාව කැළය අසලදී ලව සහ කුස තමන් සතු කරගන්නවා. මේ තමන්ගේ පුතුන් බව නොදන්න රාමා විවිධ අය ඔවුන් සමග සටන් කරන්න එවනවා. මෙතනදී සීතා සත්‍යක්‍රියා කරනවා තමන්ගේ පතිභක්තිය සත්‍ය නම් තමන්ගෙ දරුවෝ දිනන්න ඕන කියලා. ඒ විදිහටම ලව සහ කුස සියල්ලන්වම පරද්දනවා. අවසානයේදී රාමාත් සටන් කරන්න ඇවිත් මේ තමන්ගෙ දරුවන් බව හඳුනගන්නවා. ඊට පස්සේ රාමා සීතාව සහ දරුවන්ව මාළිගයට කැඳවාගෙන යාමට උත්සාහ කරනවා. මෙතනදී සීතා තමන්ට ජීවය දුන්න පෘ‍ථිවි මාතාවගෙන් (සීතාව ඇගේ පියා වුණු ජනක රජ්ජුරුවන්ට හම්බ වෙන්නේ වප් මඟුල් දවසක සීසාන වෙලාවේ නගුල අසලින්, ඒ නිසා සීතාගේ මව පෘ‍ථිවි මාතාව කියලා සලකන්නේ) ඉල්ලනවා මේ දුෂ්ට ලෝකයෙන් තමන් මුදවාගන්න කියලා. එතනදි මහ පොළොව විවර වෙලා සීතාව තමන්ගේ තුරුළට ගන්නවා. සීතාගේ කතාව ඉවර වෙන්නේ ඔන්න ඔය විදිහට.

 

2. ලක්ෂ්මණ

Image Source – hariome.com

ලක්ෂ්මණ කිව්වම අපිට මතක් වෙන්නේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ඕනෑම මකර කටකට වුණත් පනින්න ලෑස්ති වුණු සහෝදරයෙක්ව. ලක්ෂ්මණ කියන්නේ රාමාගේ අර්ධ සහෝදරයෙක්. ඒ කියන්නේ රාමගේ පියා වුණු දසරථ රජ්ජුරුවන්ගේ තවත් බිසවකගේ (සුමිත්‍රා) පුතෙක්. රාමාගේ මව වෙන්නේ කෞෂල්‍යා බිසව. රාමා සහ ලක්ෂ්මණ හැම තිස්සෙම එකට ඉන්නවා වගේම ලක්ෂ්මණ විවාහ වෙන්නෙත් සීතාගේ සහෝදරිය උර්මිලා සමග. රාවණා සමග යුද්ධයෙන් පස්සේ අයෝද්‍යාවට එන ලක්ෂ්මණ, රාජ්‍ය පාලනයට රාමාට සහය දෙනවා. කොටින්ම හිතට එකඟ නැති වුණත් රාමාගේ අණට අකීකරු වෙන්න බැරි නිසා සීතාව වනයට පිටුවහල් කරන රාජකාරිය බාරගන්නෙත් ලක්ෂ්මණ. ලව සහ කුස එක්ක යුද්ධ කරන්නත් ලක්ෂ්මණ යනවා. මේ විදිහට කාලයක් ගතවෙනවා. දවසක් මරණයට අධිපති යම රාමාව මුණ ගැහෙන්න එනවා. යමට ඕන වෙනවා රාමා සමග අති රහසිගත සාකච්ඡාවක නිරත වෙන්න. එතනදි සාකච්ඡාව පටන් ගන්න කලින් එක පොරොන්දුවක් ගන්නවා. ඒ තමන්ගේ සාකච්ඡාවට බාධා කරන ඕනම කෙනෙක්ට මරණය හිමි වෙන්න ඕන කියලා. මෙතනදී රාමා තමන් සාකච්ඡා කරන කාමරයේ දොරටුව රකින්න ලක්ෂ්මණට කියනවා. මොකද ලක්ෂ්මණ තරම් විශ්වාසවන්ත වෙනත් අයෙක් තමන්ට නැති නිසා. ටික වෙලාවකට පස්සේ දුර්වාස කියලා ඉක්මනින් කෝපයට පත්වෙන සෘෂිවර‍යෙක් එනවා රාමාව මුණ ගැහෙන්න. ලක්ෂ්මණ දැන්‍ රාමාව මුණ ගැහෙන්න බැහැ කියද්දි දුර්වාස තර්ජනය කරනවා තමන්ට දැන් රාමාව මුණ ගැහෙන්න නොදුන්නොත් මුලු අයෝද්‍යාවටම ශාප කරනවා කියලා. එතනදී ලක්ෂ්මණ අයෝද්‍යාව විනාස වෙනවට වඩා තමන් මියයාම හොඳයි කියලා කුටියට ඇතුළු වෙනවා. මේ හේතුවෙන් රාමා ලක්ෂ්මණට මරණය තෝරාගන්න කියලා කියනවා. ලක්ෂ්මණ සරයු නදියේ ගිලිලා මිය යනවා. පුරාකතාවල හැටියට ලක්ෂ්මණ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ ආසනය වෙන ශේෂනාගයාගේ අවතාරයක්. ඒ නිසා විෂ්ණු දෙවියන් රාමා ස්වරූපයෙන් මිදිලා ආපහු දිව්‍යලෝකයට එද්දි ආසනේ තියෙන්න ඕන නිසාලු ලක්ෂ්මණට මේ වගේ ඉරණමක් අත් වුණේ.

 

3. රාමා

Image Source – pinterest.com

මේ හැලහැප්පීම් එක්ක රාමා අයෝද්‍යාවේ දැහැමෙන් සෙමෙන් රජකම් කරනවා. මේ අතරතුර රාමාට දැනගන්න ලැබෙනවා ශම්බුක කියලා ශුද්‍රයෙක් දිව්‍යත්වයට පත්වෙන්න තපස් කරනවා කියලා. ශුද්‍රයෙක් තපස් කිරීම වේදයේ ඉගැන්වීම්වලට පටහැනි නිසා රාමා තපස් කරමින් ඉන්න නිරායුධ ශම්බුකව මරා දමනවා. මේ ඝාතනය ධර්මය ආරක්ෂා කිරීමක් විදිහට අර්ථකථනය කරනවා. මේ විදිහට රාමා අවුරුදු 11,000 ක කාලයක් අයෝද්‍යාවේ රජකම් කරනවා. මේ පාලනය කොයිතරම් ධර්මිෂ්ට සහ සෞභාග්‍යයමත් ද කියලා කියනවානම් පරමාදර්ශී රාජ්‍ය සංකල්පයට “රාම රාජ්‍යය” කියලා ඉන්දියාවේ තාමත් ව්‍යවහාර වෙනවා. සිය රාජ්‍ය පාලන කටයුතු නිමා කරන රාමා ආපහු මහා විෂ්ණු ස්වරූපයෙන් දිව්‍ය ලෝකය වෙත යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේදී සමස්ත අයෝද්‍යාවේම වැසියෝ ඔහුට එකතුවෙන්න තීරණය කරනවා. ඒ  අනුව රාමා පෙරටු කරගෙන යන අයෝද්‍යා වැසියන් සරයු ගංගාවේ ගිලිලා මේ ලෝකේට තමන්ගේ තියෙන බැඳීම් ඉවර කරගන්නවා. ජනප්‍රවාදවල හැටියට අයෝද්‍යාව ආපහු ජනවාස කරන්න රාමාගේ පසු පරම්පරාවලට සිද්ධ වුණාලු.

 

4. හනුමන්තා

Image Source – pinterest.com

ලංකාපුරේම ගිනි තිබ්බ හනුමාට මොකද වුණේ කියලත් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති. රාමා ඇතුළු පිරිස සරයු ගඟේ ගිලිලා මෝක්ෂය හොයන්න යද්දී හනුමා එක ඉල්ලීමක් කරනවා, ඒ තමයි තමන්ට මේ ලෝකේ ශ්‍රී රාම කියන නම ඇසෙන තාක්කල් මේ ලෝකේ ඉන්න ලැබෙන්න ඕන කියලා. ඒ වරම හනුමාට හිමි වුණා. ඔව් ඒ කියන්නේ හනුමා තාමත් ඉන්නවා. තවත් විදිහකට කිව්වොත් හනුමා අමරණීයයි. මොකද ශ්‍රී රාම කියන නම කවදාවත් මේ ලෝකෙන් තුරන් වෙලා යයි කියලා රාම බැතිමතුන් විශ්වාස කරන්නේ නෑ. හනුමා පෘ‍ථිවිතලයෙම වාසය කරගෙන ඉන්නවා කියලා තමයි ඒ අය කියන්නේ.

 

5. භරත

Image Source – pinterest.com

භරත කියන්නේ රාමාගේ අර්ධ සහෝදරයෙක්. ඔහුගේ මව වුණු කෛකේගේ දුෂ්ට කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහටයි රාමාට වනගත වන්න සිද්ධ වෙන්නේ. මේ ගැන කෝපයට පත්වෙන භරත වනයට ගිහින් රාමව මුණ ගැහිලා නැවතත් ඔහුව රැගෙන එන්න උත්සාහ කරනවා. නමුත් රාමා එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු රාමාගේ පාවහන් රැගෙන විත් සිංහාසනය මත තියලා පාලන කටයුතු සිදු කරනවා. රාමා නැවත පැමිණීමත් එක්ක භරත තමන්ගේ සොහොයුරාට රාජ්‍ය කටයුතුවලට උදව් කරනවා. අවසානයේදී භරතත් සරයු නදියෙහි ගිලීමෙන් මෝක්ෂය ලබාගන්නවා. භරතව සැලකෙන්නේ විෂ්ණු දෙවියන්ගේ දිව්‍යමය ජය සංඛයේ මිනිස්මය ස්වරූපය විදිහට.

 

6. ශතෘඝන

Image Source – sagarworld.com

ශතෘඝන කියන්නේ රාමගේ බාලම අර්ධ සහෝදරයා, ඒ වගේම ලක්ෂ්මණගේ නිවුන් සහෝදරයා. රාමා වනවාසයේ යෙදී සිටින කාලයේ ශතෘඝන රාජ්‍ය පාලනය සඳහා භරතට සහාය දෙනවා. රාමා නැවත පැමිණීමෙන් පසුව ශතෘඝන ඔහු යටතේත් සේවය කරනවා. ඒ අතරතුරදී මථුරා “ලවනාසුර” කියලා අසුර රජෙක් අධර්මකාමී විදිහට රජකම් කරනවා කියලා රාමට ආරංචි වෙනවා. මේ ලවනාසුරව මැරීම සඳහා අවස්ථාව දෙන්න කියලා ශතෘඝන ඉල්ලනවා. ශිව දෙවියන්ගේ ත්‍රිශූලයේ බාරකරු වුණු ලවනාසුරව මරා දැමීම අති දුෂ්කර කටයුත්තක් බව දන්න රාමා ශතෘඝනට විෂ්ණු දෙවියන්ගෙ ඊතල ලබා දෙනවා. ඉන් ලවනාසුරව මරා දමන ශතෘඝන මථුරාවේ රජ බවට පත්වෙනවා. පස්සේ කාලෙක ශතෘඝනත් සරයූ නදියේ ගිලිලා මෝක්ෂය ලබාගන්නවා. විෂ්ණු දෙවියන්ගේ සුදර්ශන චක්‍රයේ මිනිස්මය ස්වරූපය විදිහටයි ශතෘඝනව සලකන්නේ.

 

7. විභීෂණ

Image Source – speakzeasy.wordpress.com

විභීෂණව රාවණාගේ මරණයෙන් පස්සේ ලංකාපුරයේ රජු විදිහට රාමා විසින් අභිෂේක කෙරෙනවා. ඒ වගේම රාවණාගේ ප්‍රධාන බිසව වුණු මන්දෝදරීව විවාහ කරගන්න කියලත් රාමා යෝජනා කරනවා. සමහර අයට අනුව විභීෂණ ලංකාපුරය අත ඇරලා කැලණිය තමන්ගේ රාජධානිය කරගන්නවා. විභීෂණත් රාමා එක්ක සරයූ නදියේ ගිලිලා මෝක්ෂය ලබා ගන්න කැමත්ත පළ කරනවා. ඒත් රාමා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ඔහු හනුමාන් මෙන්ම අමරණීය විය යුතු යැයි ආශිර්වාද කරනවා. ඒ ලංකාපුරයේ වැසියන් හැමදාම ධාර්මිෂ්ට පිරිසක් බව වගබලා ගැනීමේ වගකීම බාරගත්ත පුද්ගලයා විදිහට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *