පරිසරය සුරැකීම, කසළ කළමනාකරණය වගේ දේවල් ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක් වෙන මේ කාලයේදි DIY නැත්නම් Do It Yourself කියන්නෙ ඉතාම වටින කන්සෙප්ට් එකක්. ගෙදරට ගේන ඉලෙක්ට්‍රික් බඩු වල, සපත්තු වල වගේ දේවල් වල ඉතුරු වෙන කාඩ්බෝඩ් පෙට්ටි කියන්නෙ නිකම්ම තැන තැන ගොඩගහන් ඉන්න කොට ගෘහණියන්ට හිසරදය දැනෙන තරම් කරදරයක්. ඉතින් මේ කාඩ්බෝඩ් පෙට්ටි කෑලි වලට ඉරල කුණු ගොඩට දාන්නෙ නැතුව ඒවයින් ගෙදරට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් හදාගන්න එක වටිනවනෙ. අපි අද අරන් ආවෙ එහෙම පොඩි පොඩි අදහස් ටිකක්.
1. කාඩ්බෝඩ් වලින් කබඩ් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කාඩ්බෝඩ් පෙට්ටියක්
- රැපින් පේපර් කිහිපයක්
- ගම්
- කතුරක්
- කාඩ්බෝඩ් පෙට්ටිය අරගෙන පියන් 4න් දෙපැත්තට තියන පොඩි සයිස් පියන් දෙක කපාගන්න. දැන් මේ මුළු කාඩ්බෝඩ් පෙට්ටියටම රැපින් පේපර්ස් අලවන්න.
- කපාගත් පියන් දෙක මේ පෙට්ටියෙ පළලටනෙ තියෙන්නෙ. ඒ දෙකත් රැපින් වලින් කවර් කරගන්න.
- දැන් මේ පියන් දෙකේ වටේ හීනි දාරය දිගේ තුන් පැත්තකින් ගම් ගාගෙන අර කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුළෙන් තට්ටු දෙකක් වගේ වෙන්න තියල අලවගෙන පෙට්ටියෙ පියන් වලින් වහගන්න.
- පියන් දෙකේ තරමක පබළු දෙකක් අලවගන්න. කබඩ් එක හදලා ඉවරයි.
2. ටොයිලට් පේපර් හෝල්ඩර්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක්
- ලණු රෝලක්
- ඉවත දාන රෙද්දක්
- ගම්
- කතුරක්
- ටොයිලට් පේපර් රෝල් දෙකක් තුනක් දාන්න පුළුවන් තරමේ කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන වටේ ගම් ගාලා ලණුව ළඟින් ළඟින් ඔතාගන්න.
- මේක ඇතුළ රෙද්දෙන් කවර් කරගන්න. (රූපයේ පරිදි) නිකම්ම ටොයිලට් පේපර්ස් බාත් රූම් එකේ නොතියා මේ විදියට වෝටර් ක්ලොසෙට් එක උඩ ලස්සනට තියන්න පුළුවන්.
3. කාඩ්බෝඩ් රැක් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කාඩ්බෝඩ් පෙට්ටි 2
- රැපින් පේපර්ස්
- ගම්
- කතුරක්
- එක කාඩ්බෝඩ් පෙට්ටියක පියන් කපල අයින් කරන්න. මේක ඇතුළ සහ පිටත රැපින් වලින් කවර් කරගන්න.
- දැන් අනික් කාඩ්බෝඩ් පෙට්ටියෙන් අපි හදාගත්ත පෙට්ටිය ඇතුළේ රඳවන්න පුළුවන් සයිස් දිග සහ කොට තට්ටු දෙක බැගින් හතරක් කපාගන්න.
- දිග කොටස් දෙක එකට අලවගන්න. කොට කෑලි දෙකත් එකට අලවගන්න. දැන් මේ කෑලි දෙක හදාගත්ත පෙට්ටිය ඇතුළේ රූපයේ පේන විදියට අලවගන්න. ඔයාලගෙ ක්‍රීම් වර්ග තියාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
4. පෙන්සිල් හෝල්ඩර් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක උස කාඩ්බෝඩ් පෙට්ටියක්
- ගම්
- කතුරක්
- කවර් කිරීමට පාට කොළ
- ඩබල් සයිඩ් ටේප්
- ස්ට්‍රෝ ටිකක්
- පබළු ටිකක්
- කාඩ්බෝඩ් පෙට්ටිය හොඳට වහල සෙලෝටේප් වලින් අලවගන්න. දැන් මේක හරස් අතට එක පැත්තක් උස වෙන්න දෙකට මැදින් කපාගන්න.
- දැන් මේ දෙකේ කට පැත්ත උඩට හිටින්න එක පැත්තකින් ඩබල් ටේප් එකකින් අලවගන්න.
- වටේටත් ඩබල් සයිඩ් ටේප් අලවගන්න. මේ පෙට්ටියෙ උසට ස්ට්‍රෝ ටික කපාගන්න. දැන් පේළියට පෙට්ටිය වටේට ස්ට්‍රෝ අලවගෙන යන්න. ස්ට්‍රෝ උඩින් පබළු අලවගන්න.
- රූපයේ වගේ ලස්සන පෙන්සිල් හෝල්ඩර් එකක් හදාගන්න පුළුවන්.
5. බෙඩ් සයිඩ් ලෑම්ප් කවර්
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් පෙට්ටියක්
- කවර් කිරීමට අළු හෝ කළු පාට කොළ
- ගම්
- පෙට්ටියෙ මූඩිය කොටස කපලා අයින් කරන්න. ලෑම්ප් එක ලස්සන වෙන්න කොළ වලින් කවර් කරගන්න.
- දැන් වටේ බිත්ති හතරෙ කැමති විදියට තරු හෝ වෙනත් මොනාහරි ඇඳලා ඒක පේපර් කටර් එකකින් කපාගන්න.
- දැන් මේකට ලයිට් එකක් දාලා බලන්න.
6. බබාට ගෑස් කුකර් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- සමචතුරශ්‍රාකාර ලොකු පෙට්ටියක්
- කවර් කිරීමට කොළ
- සීඩී තැටි 4
- කළුපාට ලොකු බොත්තම් 4ක්
- සුදුපාට රිජිෆෝම් කැබලි කිහිපයක්
- රිජිෆෝම් වලින් කපාගත් හැඬලයක්
- පෙට්ටියෙ ඉස්සරහ පළුවෙන් ඇතුළට වෙන්න උඩ හා වටේ දෙපැත්ත කපාගන්න. යට පැත්ත පෙට්ටියෙන් වෙන් නොකිරීමට වගබලාගන්න.
- හරියට අවන් එකේ පියන අරිනවා වගේ පහළට අරින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේක ලස්සන් කොළේකින් කවර් කරගන්න.
- ඊළඟට ස්විච් වලට කළුපාට බොත්තම් 4 අලවලා ඊට උඩින් සුදුපාට රිජිෆෝම් කෑලි අලවගන්න. කුකර් එකේ බර්නර් වලට සීඩී තැටි අලවගන්න. අවන් එකේ හැන්ඩ්ල් එක රිජිෆෝම්වලින් කපලා අලවගන්න. දැන් අපේ කුකර් එක හදලා ඉවරයි.
7. කප්කේක් හෝල්ඩර් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක්
- ඉවතලන කාඩ්බෝඩ් බම්බු හෝ ටින් දෙකක් (ටොයිලට් රෝල් වල ඉවතලන මැද කොටස ගන්නත් පුළුවන්)
- කවර් කිරීමට කොළ
- ගම්
- රිබන්
- කතුරක්
- කාඩ්බෝඩ් පෙට්ටි වලින් ප්‍රමාණ 3කින් රවුම් කපාගන්න. දැන් සියල්ලම කොළ වලින් කවර් කරලා ලොකු රවුම ඉස්සෙල්ලා රවුම මැදින් උසට හිටින්න කාඩ්බෝඩ් බම්බුවක් හෝ කවර් කරගත් ටින් එකක් අලවගන්න.
- මේ වගේ සයිස් තුනම පිළිවෙළට ගම්වලින් අලවගන්න. රවුම් වටේට රිබන් එකක් අලවලා බෝඩර් එකක් ලස්සනට දාගන්න පුළුවන්.
Leave a Reply