සොඛ්‍යයට හානි කරන මේ වැසිකිළි පුරුදු ඔබටත් තියනවද?

මළපහ කරන්න, මුත්‍රා පිට කරන්න අපි දවසකට කීප වතාවක් වැසිකිළි භාවිතා කරනව. අපේ ගෙදර වැසිකිළි වගේම පිට තැන්වල වැසිකිළිත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. වැසිකිළි කියන්නේ කොහොමත් විෂබීජ වැඩියෙන් රැඳෙන්න හැකි ස්ථාන. ​ඒ නිසා වැසිකිළි භාවිතා කරද්දී අපි අපේ සනීපාරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය උදෙසා නිවැරදි වැසිකිළි පුරුදුවලට හුරු වෙන්න ඕනෙ. අන්න ​ඒ නිසා අපි හිතුවා වැසිකිළි භාවිතයේදී වැඩි දෙනෙක් කරන්න හුරුවෙලා ඉන්න වැරදි පුරුදු කීපයක් ගැන ඔබට කියලා දෙන්න. 

 

1. හිර කරගෙන සිටීම

මොකක් හරි ඔෆිස් වැඩක් එක්ක හොඳටම බිසී වෙලා ඉද්දි, තරඟකාරී ක්‍රීඩා තරඟයක් බලද්දි, ​​ආසම ටීවී සීරීස් එකේ හොඳම සීන් ටිකක් යද්දි ඔන්න එනවා මළපහ කරන්න ටොයිලට් යන අවශ්‍යතාවයක්. තව ටිකක් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් වේවි කියලා ඉතින් හිර කරගෙන ඉන්නවා. පාරක්, දෙපාරක් මෙහෙම කළාට ලොකු හානියක් නොවෙන්න පුළුවන්. ​ඒත් නිතර මේ වැසිකිළි අවශ්‍යතාවය හිර කරගෙන ඉන්න එක හොඳ සෞඛ්‍ය පුරුද්දක් නම් නෙමෙයි. මළ බද්ධය ​​​ඇතුළු තවත් සෞඛ්‍ය ගැටළු කීපයක්ම මේ පුරුද්ද නිසා හටගන්න පුළුවන්. 

 

2. පියන නොවසා ෆ්ලෂ් කිරීම

සමහර පොදු වැසිකිළිවල එහෙම ෆ්ලෂ් කරන්න කියලා බෝඩ් පවා ගහන්න වෙලා තියනවා. ​ඒ තරමට අපේ උදවියගෙ වැසිකිළි පුරුදු සහ චාරිත්‍ර පිරිහිලා. වැසිකිළි ගියාට පස්සේ ෆ්ලෂ් කරන එක හොඳ පුරුද්දක් තමයි. හැබැයි ​ඒ පුරුද්ද හොඳම පුරුද්දක් බවට පත් කර ගන්න නම් තව පොඩි දෙයක් කරන්න ඕන. ​ඒ තමයි ෆ්ලෂ් කරද්දී වැසිකිළි පෝච්චියේ පියන සම්පූර්ණයෙන් වහන එක. මොකද ​ඒක ​​​ඇරලා තිබියදී ෆ්ලෂ් කළොත් වැසිකිළි පෝච්චියේ තියන විෂබීජ සහිත ජල බිඳිති වැසිකිළියෙ අවට විසිරෙන්න පුළුවන්. ​ඒ හරහා විෂබීජ වල පැතිරීම වැඩිවෙලා සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. 

 

3. වැසිකිළියේ පදිංචි වීම

සමහරු වැසිකිළියේ මළපහ කරන්න ගියාම ඉතින් ආයෙ නිවාඩුවක් ගත කරන්න ගියා වගේ තමයි. වරුවකට එළියට එන්නේ නැහැ. ෆෝන් ඔබ ඔබ, පොත් පත්තර කියව කියව, එහෙම නැත්නම් සිතුවිලි මව මව ඔහේ ඉඳගෙන ඉන්නවා. ඒක හොඳ පුරුද්දක් නෙමෙයි කියලයි සෞඛ්‍ය විශේෂඥයෝ කියන්නේ. විශේෂයෙන්ම විනාඩි 5කට වඩා වැසිකිළි යන්න උත්සාහ කරන එකෙන් ගුද මාර්ගය​ට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ඒ හරහා අර්ශස් වැනි රෝග තත්ත්ව වලටත් මග පෑදෙන්න පුළුවන්. විනාඩි ගණනක් උත්සාහ කරලත් මළපහ පිටවුණේ නැත්නම් දිගින් දිගටම තටමමින් ඉන්න එපා කියලයි විශේෂඥයො කියන්නෙ. ඒ වෙනුවට වැසිකිළියෙන් පිටවෙලා, ටික වෙලාවකින් ආයෙමත් ට්‍රයි කරල බලන්න මළපහ කරන්න.

 

4. ෆෝන්, ටැබ්ලට් භාවිතය

සමහරුන්ට නම් වැසිකිළි යන එක හරිම විනෝදජනක අත්දැකීමක්. හරියට පික්නික් එකක් යනවා වගේ. කෙලින්ම ෆෝන්, ටැබ් වගේ ඉලෙක්ට්‍රොනික උපකරන අරගෙන ෆුල් එන්ටටේන්මන්ට් එකක් ගන්නයි ටොයිලට් එකට යන්නේ. මේකෙන් වෙන එක හානියක් තමයි අපි උඩින් කියපු කාරණය. ඒ කිවුවෙ ෆෝන්, ටැබ් බල බල ඉඳලා, අපිටත් නොදැනිම ටොයිලට් එකේ ගතකරන කාලය වැඩි වෙලා, අනවශ්‍ය සෞඛ්‍ය ගැටළුවලට ලක්වෙන එක. අනිත් බරපතලම කාරණය තමයි වැසිකිළියට ගෙනයන මේ ඉලෙක්ට්‍රොනික් උපාංගවලටත් වැසිකිළියේ තියෙන විෂබීජ එකතු වීම. අපි වැසිකිළි ගිහින් අත් හොඳින් හේදුවට, අපි වැසිකිළියට ගෙනියන අපේ ෆෝන් ටැබ් විෂබීජහරණය කරන්නෙ නැහැනෙ නේද? ඉතින් අපි මූණට ළං කරගෙන, අතපත ගාමින් දවස තිස්සේ භාවිතා කරන මේ දේවල් වලට වැසිකිළියේ විෂබීජ තැවරුණාට පස්සෙ අපි කොච්චර පිරිසිදු වුණත් ඒකෙන් ඵලක් නැති වෙනවා.

 

5. වැරදියට ඉඳ ගැනීම

වැසිකිළියේ ගිහින් හරියට ඉඳගන්නේ කොහොමද කියන එක තරමක් විවාදාත්මක කාරණයක්. අදටත් නොයෙකුත් මතවාද මේ සඳහා තියෙනවා. සමහරු පුටුවක වාඩි වුණා වගේ හිස සහ කඳ කෙලින් කරගෙන තමයි වැසිකිළි යන්නේ. නමුත් ඒ මගින් ගුද මාර්ගයට වැඩිපුර පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. වඩාත් පිළිගත් මතය තමයි ඇන තියාගන්නා ඉරියවුවෙන් (Squatting) වැසිකිළි පෝච්චියේ ඉඳගැනීම. කොමෝඩ් එන්න කලින් තිබුණු අපේ පරණ වැසිකිළිවල නම් කොහොමත් ඒ ඉරියව්වෙන් තමයි ඉඳගන්න වුණේ අපට. නමුත් නවීන වැසිකිළි භාවිතා කරද්දී කොඳු ඇට පෙළ කෙලින් තබාගෙන නමුත් තරමක් ඉදිරියට බර වෙලා, වැලමිටි දෙදණ මත රඳවගෙන, පුළුවන්නම් බංකුවක් වගේ යමක් ආධාරයෙන් තමන්ගේ දණහිස් ඉනට වඩා ඉහළ මට්ටමකට අරගෙන වැසිකිළි යන එක තමයි වඩාත් සුදුසු කියලා කියවෙන්නේ.

 

6. වැරදියට පිස දැමී​ම

ලංකාවේ අපි බහුතරයක් වැසිකිළි යාමෙන් පස්සේ පසුපස සෝදගන්න තමයි හුරුවෙලා ඉන්නේ. තවත් සමහරු ටිෂූ මගින් පිස දානවා. සෝදලා පිස දැම්මත්, නිකන් පිසදැම්මත් මේ පිසදැමීමේදී සැලකිය යුතු කරුණක් තියනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට තමයි මේ කරුණ වැදගත් වෙන්නේ. ඒ තමයි වැසිකිළි ගිහින් තමන්ගේ පසුපස පිස දාද්දි ඒක කරන්න ඕනෙ වෙන්නේ ඉදිරියේ සිට පසුපසටයි. තවත් පැහැදිළිව කිවුවොත් ගුද මාර්ගයේ කෙළවරින් පටන් අරන් කොඳු ඇට පෙළ දිහාටයි පිස දාන්න ඕනෙ. එහෙම නැතුව ලිංගික පෙදෙස් පිහිටලා තියෙන ඉදිරිපස දිහාට පිස දමන එක සෞඛ්‍යයට හොඳ නැහැ. මොකද මේ අහිතක​ර බැක්ටීරියා මුත්‍රා මාර්ගයට එහෙම ස්පර්ෂ වුණොත් මුත්‍රා ආසාදන සහ කුෂ්ට ආදිය ඇතිවෙන්න පුළුවන්.

 

7. අත් පිරිසිදු නොකිරීම

මේක ගැනනම් අමුතුවෙන් කියන්න අවශ්‍යත් නැහැ. ඒත් සමහරු බොහොම සුළුවෙන් තකන බොහොම වැරදි පුරුද්දක් තමයි වැසිකිළි භාවිතයෙන් පස්සේ අත නොසේදීම. මළ පහ කළත්, මුත්‍රා කළත් අනිවාර්යයෙන්ම අත සෝදන්න ඕන. වැසිකිළියේ ෆ්ලෂ් කරන බොත්තමේ සිට සෑම තැනකම විෂබීජ බහුලවම පවතිනවා. ඒ නිසා වැසිකිළි භාවිතාවෙන් පස්සේ අත් හොඳින් සෝදා ගැනීමත්, හොඳින් පිසදා වියළා ගැනීමත් කළ යුතුමයි. මොකද තෙත අත්වල වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් විෂ බීජ රැඳෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *