සාමාන්‍යයෙන් දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන්නෙම ලොකු දෙයක්. ඒ කියන්නේ, වෙනස් පුරුදු පුහුණුවීම්, රුචි අරුචිකම් තියෙන දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසාම තමයි ලව් කරන ලේසියෙන් විවාහ වෙලා එකට ජීවත් වෙන්න බැරි. සමහර වෙලාවට, සමහරු එක්ක හොඳින්ම ඉන්න පුලුවන් ඈතින් ඉන්නකොට.
දැන් ඕක කොහොම වුණත්, මේ වෙනකොට ලෝකේ ඇති වෙමින් තියෙන් ට්‍රෙන්ඩ් එකක් තමයි Living-together වෙනුවට Living-apart-together කියන එක. ඒ කියන්නේ කපල් එකක් බොහොම සමීප ආදර සම්බන්ධතාවයක ඉන්නවා, හැබැයි ඒ දෙන්නා ජීවත් වෙන්නේ එක තැනක, එක වහළක් යට නෙවෙයි. මේකට ඉතින් විවිධ හේතු තියෙනවා. කසාද බැන්ඳත් ආර්ථිකය හදා ගන්නකල් දෙන්නට එක වහලක් යටට එන්න බැරි වීම, එක්කෙනෙක් හරි දෙන්නම හරි විදේශ ගත් වෙලා හිඳීම වගේ කාරණා. දැන් කාලේ ඒවගේ හේතු සුලභ වීම අරුමයකුත් නෙවෙයි.
හරි. මොකක් හරි හේතුවක් නිසා දෙන්නටම ඈත් වෙලා යම් කාලයක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියමුකෝ. කොහොමද මේ Living-apart-together සම්බන්ධය සාර්ථකව ගෙනියන්නේ? අපි කථා කරමු ඒ ගැන.
01. තේරුම් ගන්න
මූලිකම කාරණාව තමයි, දෙන්නට එකට ජීවත්වෙන්න විදියක් නැත්තේ ඇයි කියන එක තේරුම් ගන්න එක. ඒ වගේම කොයි තරම් දුරට දෙන්නා දෙපැත්තේ ඉන්න එක තමන්ට ඕකේ ද කියන එක අවබෝධ කරගන්න එක. අපි මෙහෙම කියමුකෝ. මූල්‍යමය කාරණා නිසා, නැතිනම් දෙන්නා රටවල් දෙකක ජීවත් වෙන නිසා දෙපැත්තේ ජීවත්වෙන්න වෙලා තියෙනවා නම්, හැබැයි දෙන්නටම ඇත්තටම එහෙම දෙපැත්තට වෙලා ජීවත් වෙන්න වුවමනාවක් නැති නම්, කරන්න ඕන දේ වෙන්නේ, හැකිතාක් ඉක්මනට දෙන්නට ලං වෙන්න ප්ලෑන් එකක් ගහන එක. ඒ ප්ලෑන් එකට වැඩ කරන එක. හැබැයි ඒ අතරේ සම්බන්ධතාවය සජීවීව ගෙනියන්න, පහල අපි කියන උපදෙස් පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි ආදරේ කරන දෙන්නෙක් දෙපැත්තේ ජීවත් වෙන්නේ, එකිනෙකාගේ පුද්ගලික අවකාශය රැකගන්න නම්, ඒක වෙන කරන්න දෙයක් නැති නිසා දෙපැත්තේ ජීවත් වීමක් නෙවෙයි. ඒක චොයිස් එකක්, තෝරාගැනීමක්. ඒ වගේ තැනකදිත් පල්ලෙහා උපදෙස් තමයි වැදගත් වෙන්නේ.
02. තාක්ෂණය ඉවහල් කර ගන්න
දැන් මේ විදිහට Living-apart-together සම්බන්ධයක්, ඒ කියන්නේ තැන් දෙකක ඉඳන් එකට ජීවත් වෙන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න හිතනවා නම්, ඒක මීට අවුරුදු විස්සකට තිහකට කලින් තිබුණට වඩා ලේසි දෙයක් වෙලා තියෙනවා තාක්ෂණයේ දියුණුවත් එක්ක. නිකමට හිතන්න, වයිෆ් ඉන්නේ ලෝකේ එහා කෙළවරේ වුණත්, ඉන්ටර්නෙට් සම්බන්ධතාවය තියෙනවා නම්, ඕන වෙලාවක කතා කරන්න පුලුවන්ද පුළුවන්. ඕන වෙලාවක මූණ බලන්න පුළුවන්. ඉතින් Living-apart-together සම්බන්ධතාවයක් සාර්ථකව ගෙනියන්න නම්, මේ තාක්ෂණය වහල් කරගන්න ඕන. ඒකට තාක්ෂණය ගැන හොඳ දැනුමකින් යුක්ත වෙන්න ඕන. ඉස්සරහ පොයින්ට් වලදී ඒක තව පැහැදිලි වෙයි.
03. කනෙක්ට් වෙලා ඉන්න ඕන
ඔයා උදේට ගුඩ් මෝනිං කියලා හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි මැසේජ් මෙසේජ් එකක් යවන එක, රෑට ගුඩ් නයිට් කියලා මෙසේජ් එකක් යවන එක බොළඳයි කියලා හිතන කෙනෙක් නම්, ඔයාට මේ ඈත ඉඳන් එකට ජීවත් වෙන සෙල්ලම කරන්න බැහැ. තැන් දෙකක ඉඳන් දෙන්නා එකට ජීවත් වෙන්න නම්, දෙන්නටම දැනෙන්න ඕන තමන් සම්බන්ධයි කියලා. තමන්ගේ ජීවිත එකිනෙකා අතරේ ෂෙයාර් වෙනවා කියලා. ඒක ගැන අපි ඊළඟට කියනවා. තාක්ෂණයත් එක්ක අපිට මෙසේජ් එකකින්, ස්මයිලි එකකින්, ස්ටිකර් එකකින් යම්තාක් දුරකට අපේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා තියෙනවා ක්ෂණයකින්. ඒ නිසා දෙන්නටම කෙරෙන්න ඕන ගතින් දුරස් වුනත් දෙන්නම හිතින් ළඟ ඉන්නේ කියලා. ඒකට උදේ අවදි වුණු වෙලාවේ ඉඳන් සම්බන්ධතාවය තියාගන්න එක තමයි කරන්න හොඳම දේ.
04. ජීවිතේ බෙදාගන්න
මොකක්ද මේ ජීවිතය බෙදා ගන්නවා කියන්නේ? සරලවම කිව්වොත්, ඔය අතර ආදර සම්බන්ධතා මියයන්න ප්‍රධාන හේතුවක් තමයි තමන් තවදුරටත් එයාගේ ජීවිතය ඇතුළේ නැහැ වගේ දැනීම. ඒ කියන්නේ එයාගේ ජීවිතය ඇතුලේ තමන්ට තැනක් නැහැ, එයාගෙ ජීවිතේ ඇතුළෙ තමන්ට ප්‍රමුඛතාවයක් නැහැ, එයාගෙ ජීවිතේ ඇතුළේ දේවල් තවදුරටත් තමන්ට කියන්නේ නැහැ වගේ දේවල්. එතකොට සරලව තාර්කිකව ගත්තොත්, සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම්, අනික් කෙනා තමන්ගේ ජීවිතය ඇතුලේ ඇතුළේ කොටසක් කියන එක, තමන්ගේ ජීවිතයට අනිත් කෙනාත් ඇතුලත් කියන එක අනිත් කෙනාට දැනෙන්න අරින්න වෙනවා. ඒකට තමයි ජීවිතය බෙදා ගන්නවා කියන්නේ.
උදාහරණ එක්ක බැලුවොත් මෙහෙමයි. දැන් අද අපි මොකක් හරි විභාගයකට යනවා කියමු. එතකොට මග දිගට එයත් එක්ක කෝල් එකේ ඉන්න එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වෙලාවේ මම මෙහෙම විභාගයකට යනවා, ඒක ඉවර වෙන්නෙ මෙන්න මේ වෙලාවට, මේ වෙලාවට ගෙදර එනවා, ඔයාට මම යද්දි කියන්නම්, එනකොටත් ගෙදර ඇවිල්ලා කියන්නම්, කියලා තියෙන සන්නිවේදනය. එතකොට අනිත් කෙනා දන්නවා ඕනම මොහොතක තමන් ආදරේ කරන කෙනා මොකක්ද කරන්නේ කොතැනද ඉන්නේ කියන එක. ඒ ෆීලින් එක වැදගත්. එතකොට ජීවිතේ තමන් මොකක් හරි තීරණයක් ගන්නවා නම්, ඒ ගැන අනිත් කෙනා ගෙන් අහලා බලන එක. අඩු ගානේ එහෙම තීරණයක් ගන්න හිතනවා කියලා දැනුම් දෙන එක. ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි ජීවිතේ ශෙයා කරගැනීමට අයිති වෙන්නේ. මතක තියාගන්න, තමන්ගෙ දවසේ පුංචි පුංචි තොරතුරු වුණත් එයත් එක්ක බෙදා ගන්න එක වටිනවා කියන එක.
05. රසවින්දනයත් ෂෙයාර් කරගමු
අපි ඕනම කෙනෙක්ගෙ ජීවිතේ රසවින්දනයක් තියෙන්න ඕන කියනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ කියන්නේ අපේ ජීවිතය ලස්සන වෙන්න, අපේ චින්තනය වර්ධනය වෙන්න, ලෝකේ ගැන අවබෝධය පුළුල් වෙන්න වගේ දේවල් වලට පොතක් පතක් කියවීම, චිත්‍රපටියක් ටීවී සීරීස් එකක් වේදිකා නාට්‍යයක් බැලීම, චිත්‍රයක් බලලා රස විඳීම, සිංදුවක් අහලා රස විඳීම වගේ දේවල් වැදගත් වෙනවා.
දැන් දෙන්නත් එක්ක ඈතින් නම් ජීවත් වෙන්නේ, ඒ අඩුව පුරවන්න පුළුවන්, තමන්ගේ රස රසවින්දනයන් බෙදාගැනීමෙනුත්. තමන් බලන ෆිල්ම් එකක පොතක නමක් එයා එක්ක ෂෙයාර් කරගන්න පුළුවන්. තමන් ආස සින්දුවක් එයාටත් අහන්න යවන්න පුළුවන්. පොතක තමන් කැමතිම කොටසක් කවියක් වගේ දෙයක් ෂෙයාර් කරගන්න පුළුවන්.
06. තමන්ගේ හිතමිතුරන්වත් හඳුන්වලා දෙන්න
දැන් එකිනෙකාට ආදරේ කරන, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ සමීප සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක් ඈත් වෙලා ජීවත් වුණා කියලා ඒ දෙන්නගේ පුද්ගලික අවකාශයන් වලට ඇතුළු වෙන අය ඈත් කරලා තියන්න ඕන නැහැනේ. අපිට අළුතින් යාළුවෝ මුණගැහෙනවා. මිනිස්සු මුණගැහෙනවා. මානව සම්බන්ධතා ඇති වෙනවා. දැන් එතකොට අපි ඒ අපේ ජීවිතේට එන හැම කෙනෙක්වම ඈතින් ජීවත් වෙන ආදරේ කරන කෙනා එක්ක බෙදාගන්න ඕනෙද? එහෙම එකක් නෑ. හැබැයි ඒ අය ගැන තොරතුරු බෙදාගන්න. ඒ අයව හඳුන්වලා දෙන්න. එතකොට දෙන්නට දෙන්නා ජීවිතේ බෙදාගන්නවා කියන එකට ඒක පහසුවක් වෙනවා.
07. පුංචි පුංචි හිත් සතුටු කිරීම්
අපිට ඈතින් ඉන්න අපි ආදරය කරන කෙනෙක් ගේ වුනොත් හිත සතුටු කරන්න කියලා කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් තියෙනවා. එයා අලුත් ඇඳුමක් ඇඳලා පෙන්නුවහම ඒක අගය කරන, එයා කරන පොඩි දේටත් ප්‍රශංසා කරන එක, එයා ඉල්ලුවත් නැතත් තමන් අලුත් ඇඳුමක් ඇන්දොත් කොහේ හරි අලුත් තැනකට ගියොත් ෆොටෝ එකක් සෙල්ෆි එකක් යවන එක වගේ දේවල්. එතකොට ඉඳලා හිටලා ලියුමක් කාරිය යවන්න පුළුවන්. තෑග්ගක් එහෙම යවන්න පුළුවන්. ඈතින් ඉඳන් එකට ජීවත්වන දෙන්නෙක්ට තමන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න මේ වගේ පුංචි පුංචි හිත් සතුටු කිරීම ඉතාම වැදගත්.
08. දුරින් ඉඳන් වුනත්,හොඳ සෙක්ස් ලයිෆ් එකක්
අපි මීට කලින්, ලෝන්ග් ඩිස්ටන්ට් සම්බන්ධතා පවත්වාගෙන යෑම ගැන කියනකොටත්, හොඳ ලිංගික ජීවිතයක් පවත්වා ගැනීම ගැනත්, දෙන්නගේ ලිංගික ජීවිතය පවත්වා ගැනීමට තාක්ෂණය උපයෝගී කර ගැනීම ගැනත් කතා කරලා තියෙනවා.
අපිට පිළිගන්න වෙනවා ඕනම මනුස්සයෙක්ට අවශ්‍යතා තියෙනවා කියන එක. එතකොට දුරින් හිටියා කියලා ඒ අවශ්‍යතා නැති වෙන්නේ නෑ. එතකොට ඒකට උත්තරය වෙනත් කෙනෙක් ගාවට ගිහිල්ලා අවශ්‍යතා පිරිමහගන්න එක වෙන්නේ නැහැ. ඒ නිසා, තාක්ෂණය යොදා ගන්න පුළුවන් දෙන්නගේ ලිංගික ජීවිතය තනි තනියෙන් වුණත් පවත්වාගෙන යන්න.
Leave a Reply