දෙමව්පියන්ට දරුවො වගේම තමයි පුංචි දරුවන්ගෙ ජීවිතෙත් දෙමව්පියන්ට තියෙන්නෙ ලොකූ තැනක්. කොච්චර රණ්ඩු කලත් අන්තිමට ඕනම දුකක් සතුටක් කියාගෙන දුවගෙන එන්නෙ අම්ම, තාත්තා ළඟටනේ. ඕනෑම දේකට උපදෙස් ගන්න එන්නෙත් අම්ම, තාත්තා ළඟටම තමයි. ඉතින් දරුවො එදිනෙදා කරන දේවල් වලදි එයාලගෙ ආත්ම විශ්වාසය ගොඩනැගෙන විදිහට එයාලත් එක්ක කතාබහ කරන්න දෙමව්පියෝ පුරුදු වෙන්නම ඕන. අම්මලා, තාත්තලා එක්ක කෙරෙන මේ පුංචි පුංචි කතා බහ වලින් අපි නොහිතන විදිහෙ සතුටක්, ශක්තියක් ඒ දරුවන්ගෙ හිත් වලට දෙන්න පුළුවන්.
1. අද දවස කොහොමද?
හැම දවසකම ඔයාගෙ දරුවන්ගෙන් අහන්න පුරුදු වෙන්න අද දවස කොහොමද කියලා. කුස්සියෙ ළමයි වටකරගෙන කෑම උයන වෙලාවට, කෑම මේසෙදි කෑම කන වෙලාවට, නින්දට යන වෙලාවට වගේ ඕනම වෙලාවක මේ වැඩේ කරන්න පුළුවන්. කොහොමහරි අමතක නොකර අහන එක තමයි වැදගත්. දවසෙ වැදගත් සිදුවීම් අම්ම, තාත්ත එක්ක සතුටින් කතා කරන එකෙන් දෙමව්පියෝ සහ ළමයි අතරෙ යාළුකම වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි නොහිතන අවට පරිසරයෙන් දරුවට වෙන්න පුළුවන් අනිසි බලපෑම්, ඒ කිව්වෙ ඉස්කෝලෙ යාළුවන්ගෙ හිරිහැර, වැඩිහිටියන්ගෙන් සිදුවෙන්න පුළුවන් ලිංගික හිංසන වගේ දේවල් උනත් දැනගන්න පුළුවන්. ඒ නිසා දරුවෝ දවස ගැන කියද්දි ඒවා ප්‍රශ්න අහ අහ එයාලත් එක්ක උනන්දුවෙන් කතා කරන්න අමතක කරන්නම එපා.
2. ඔවුන්ගේ වැඩ අගය කරන්න
සමහර අම්මලා ඉන්නවනෙ දරුවො මොන වැඩේ කළත් වැරදියට දකින. සෙල්ලම් ගෙයක් හැදුවොත් ගෙවල් හැඩිවෙලා කියයි, එක්කෝ බඩු නාස්ති කරනව කියයි. මොනවා හරි කරලා දවසේ වැඩ කටයුතු වලින් තමන්ගෙ ඔලුවට එන පීඩනය දරුවන්ගෙ පිටින් හරි යවන්න තමයි එයාල හදන්නෙ. හැබැයි ඒක දරුවන්ගෙ ජීවිතේට නරක විදිහටයි බලපාන්නෙ. දරුවෝ කරන පුංචිම දේවල් උනත් අගය කරන්න අපි පුරුදු වෙන්න ඕන. වැඩක් කරලා, නිර්මාණයක් කරලා අසාවෙන් ගෙනල්ල පෙන්නුවම බනින්න කලින් ඒක අගය කරලා ඉන්න පුරුදු වෙන්න. ඒ වගේම තමා එයාල පුරුද්දක් හැටියට කරන ක්‍රියාකාරකම්. සත්තුන්ට ආදරය කරන එක, වැඩිහිටියන්ට ගරු කරන එක වගේ දේවල් උනත් එහෙමයි. “ආනේ දරුවගේ හැටිනේ” කියල සතුටුවෙලා නිකන් ඉන්නෙ නැතුව දිනපතාම ඒ දේවල් අගය කරන්න. එතකොට තමයි දරුවො තව තවත් එහෙම හොඳ වැඩ වලට උනන්දු වෙන්නෙ.
3. උත්සාහයන් අගය කරන්න
කලින් කිව්ව ගණයේ හරියටම හරියන වැඩ වගේම එයාල උත්සාහ කරලා වරදින වැඩ තියෙන්නත් පුළුවන්නෙ. ඒවත් අගය කරන්න ඕන. නැත්තම් එයාල ආයෙ කවදාවත්ම උත්සාහ කරන එකක් නැහැ අලුත් දෙයක් කරන්න. වැඩ විතරක් නෙමෙයි. මොකක් හරි තරඟයකට ඉදිරිපත් වෙලා පළවෙනිය නොවී දෙවෙනිය, තුන්වෙනිය උණා කියමුකෝ. එහෙමත් නැත්තම් ප්ලේස් එකක් ඇත්තේම නැහැ කියමුකො. ඒත් ඒ ඉදිරිපත්වීම උණත් අගය කරලා පරාජය පවා දරාගන්න පුළුවන් තැනට ඔවුන්ව හැඩගස්වන්න ඕන දෙමව්පියෝම තමා.
4. වැරදි පෙන්වා කියාදෙන්න
ඔන්න මෙතැනදී පුළුවන් අර කලින් කතා කරපු වැරදි පෙන්වලා කියල දෙන්න. ගෙවල් හැඩිකිරීම, බඩු නාස්ති කිරීම වගේ දේවල්නම්, “වැඩේ හොඳ උනාට මේවත් හදගෙනම කළොත් තම හොඳම හොඳ”, “සෙල්ලම ඉවර උනාම හැඩිකරපු දේවල් අස් කරලම තමයි ඉවර කරන්න ඕන” වගේ දේවල් විදිහට කියල දෙන්න. ඒ වගේම තමයි අසාර්ථක වෙන උත්සාහයන් හොඳින් අධ්‍යයනය කරලා එයාලට වැරදුන තැන මොකක්ද කියල කියල දීල ආයෙමත් උත්සහ කරන්න උනන්දු කරවන්නත් ඕන.
5. කරුණාකර / ස්තුතියි කියන්න
වැඩක් කරවගන්නකොට කෙනෙකුට “අනේ කරුණාකර” කියල කියන්න, වැඩක් කරගත්තම “ස්තූතියි” කියන්න එහෙමත් පුංචි දරුවන්ට පුරුදු කරන්න ඕන ගෙදරින්ම තමයි. තව කෙනෙකුට කියලා උදව්වක් ගනිද්දී එයාලගෙ හිත සතුටු වෙන විදිහට මේ දේවල් කියන්න ඕන කියල පුංචි කාලෙ ඉඳන්ම දරුවන්ට කියල දෙන්න. කියල දීල විතරක් මදි. දරුවන්ට පේන්න දෙමව්පියොත් ආදර්ශමත් වෙන්න ඕන. ඒ නිසා එයාලත් මේ වචන නිතර දරුවන්ට පේන්න පාවිච්චි කරන්න. දරුවන්ගෙන් පුංචි පුංචි උදව් අරගන්නකොටත් එයාලටත් මේ විදිහට “කරුණාකර / ස්තුතියි” කියන්න.
6. සමාව ඉල්ලන්න
තමන් අතින් පුංචිම හරි වරදක් සිදු වුන තැනකදි සමාවෙන්න කියලා නිහතමානීව කියන්න පුරුදු වෙන එක හරිම වැදගත්. ඒ පුරුද්දත් පුංචි කාලෙ ඉඳන්ම ගෙදරින්ම ලැබෙන්න ඕන දෙයක්. එහෙම සමාව ඉල්ලන්න අකමැති මිනිස්සු අද සමාජයේ කොච්චර අපිට දකින්න පුළුවන්ද? ඒ නිසා අපේ පුංචි දරුවෝ එහෙම නොවෙන්න පොඩි කාලේ ඉඳන්ම මේ සමාව ඉල්ලන එකේ වැදගත්කම ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕන. ඒ නිසා ඔක්කොටම කලින් අම්මලා තාත්තලා විදිහට ඔයාල සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. දරුවගෙන් උනත් සමාව ඉල්ලන්න ඕන අවස්ථා තියෙනවනෙ. නිතර දෙවේලෙ අහනකොට දකිනකොට දරුවො ඒ දේවල් නිකන්ම පුරුදු වෙනවා.
7. ඔවුන්ට ආදරෙයි කියන්න
අන්තිමටම ලිව්වට වැඩිපුරම වැදගත් මේ දේ. දරුවො විතරක් නෙමෙයි ලොකු අපි උනත් කොච්චරනම් ආසද ආදරේ ලබන්න. හරියට ආදරේ නොලැබුන මිනිස්සු තමා සමාජයේ හුඟක්ම නරක වැඩ වලට පෙළඹෙන්නෙත්. ඉතින් එහෙම බැලුවම පුංචි ළමයින්ට ආදරේ කියන්නෙ කියාගන්න බැරි තරම් වටිනා දෙයක්. විශේෂයෙන්ම තමන්ට වැඩිපුරම විශ්වාසවන්ත, වැඩිපුරම ලඟින් ඉන්න අම්මගෙ තාත්තගේ ආදරේ. ඒ නිසා හැමදාම, නොවැරදීම, පුළුවන් හැම වෙලාවකම දරුවන්ට කියන්න ඔයාල කොයිතරම් එයාලට ආදරෙයිද කියන එක. තාත්තගෙ ආදරේ තියෙන්නෙ හිතේ, ඒක පිටට පේන්නේ නැහැ වගේ දේවල් කිව්වට ඇත්තටම හංගගෙන ඉන්න ආදරේකට වඩා දරුවන්ට ආදරේ කිව්වම ඔවුන් සතුටු වෙන විදිහ දැක්කම හිතෙයි ඒක කොච්චර වටිනවද කියල.උදේම නැගිට්ටම, ඉස්කෝලෙට යනකොට, දවාලට ගෙදර ආවම, සෙල්ලම් කරන වෙලාවට, රෑට නින්දට යනකොට වගේ ඕනම වෙලාවක අම්මයි, තාත්තයි කොයිතරම් එයාලට ආදරෙයිද කියලා කියන්න අමතක කරන්න එපා.
Leave a Reply