ඇඟේ තියෙන පරණ ලප කැළැල් මකාගන්න පහසු ක්‍රම

ශරීරයේ බාහිර සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන අයට වැදගත් වෙන ලිපි අපි ඕනතරම් අරගෙන ඇවිල්ල තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම වගේ නිතර කතාබහ වෙන, ඒ වගේම ඕනම කෙනෙකුගේ අවධානය ලේසියෙන්ම යොමුවෙන කාරණා. හැබැයි අද මේ කියන්න යන කතාව ගැන හුඟක් දෙනෙක් යොමුකරන අවධානය හරිම අඩුයි වගේම මේ පිළියම් ගැනත් ගොඩක් අය දැනුවත් නැහැ. ඒ නිසාමයි අපි මේ ගැන කතාකරන්න හිතුවේ.

ලප කැළැල් කියන්නෙ ශරීරයේ සුන්දරත්වයට ලොකූ බාධාවක් කිව්වොත් වැරදි නැහැ. කුරුළෑ ලප, තුවාල හෝ පිලිස්සුම් කැළැල් වගේ ඕනම කැළලක් අපේ හමට ගේන්නෙ අවලස්සනක්. ඒ වගේමයි කාලාන්තරයක් ගියත් ඒව මකන්නත් බැහැ. ඒ නිසාමයි හුඟක් දෙනෙක් මේ ලප මැකිල්ල හිතින් අතහැරලම ඉන්නෙත්. හැබැයි මෙන්න මේ දේවල් කළොත් ඔයාලටත් පුළුවන් ඇඟේ තියෙන අවලස්සන ලප කැළැල් ඉවත් කරලා ලස්සන පෙනුමක් හමට ලබාගන්න. මේ හුඟක් දේවල් අපි අවට පරිසරයෙන්ම හොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය නිසා ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැහැ. බය නැතුව භාවිතා කරන්න පුළුවන්.

 

1. කෝමාරිකා

කෝමාරිකා කියන්නෙ ලප කැළැල් මකාගන්න හොඳ ස්වභාවික සත්කාරයක්. හැබැයි කෝමාරිකා හොයාගන්න අපහසු අයට ඒ වෙනුවට දැනට වෙළඳපලේ මිලදී ගන්න තියෙන කෝමාරිකා ජෙල් එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් බොහොම හොඳ ප්‍රතිඵල තියෙනවා. ස්වභාවික කෝමාරිකා ගන්නවනම් ඇඟේ ආලේප කළහම ඇතිවෙන කසන ගතිය නැතිවෙන්න පොත්ත නොගෑවෙන්න මදය පමණක් සූරල ගන්න ඕනේ. ඒ වගේම අද කඩපු ගමන්ම භාවිතා නොකර දවසක් පරණ වෙන්න ඇරල භාවිතා කළහමත් ඒ අපහසු ගතිය ඇතිවෙන්නෙ නැහැ. 

සූරාගත්ත කෝමාරිකා මදය ලප කැළැල් මත ආලේප කරල ටිකක් වෙලා සම්බාහනය කරන්න. පැය භාගයක් විතර වියලෙන්න ඇරලා සෝදා අරින්න. උදේ හවස සතියක් දෙකක් නොවරදවා මේ සත්කාරය කරනකොට ලොකු වෙනසක් දකින්න ලැබේවි. 

 

 

2. විටමින් E

විටමින් E වලටත් ලොකු හැකියාවක් තියෙනවා ලප කැළැල් ඉවත් කරන්න. කඩාගත්ත විටමින් E කරලක ඇතුළත තියෙන තෙල් තුවාල කැළැල මතට දාල ඒ අවට විනාඩි 10ක් පමණ එකදිගට සම්බාහනය කරන්න. පැයක් පමණ වියලෙන්න ඇරලා මද උණුසුම් වතුරෙන් සෝදලා හරින්න.

මේ විදිහට දවසට දෙවතාවක් හෝ තුන්වතාවක් කළෝතින් ඉක්මනින්ම අලුත්, පරණ ඕනම කැළලක් මකාගන්න පුළුවන්.

 

 

3. පිරිසිඳු පොල්තෙල්

අපි කවුරුත් වැඩිය ගණන් නොගන්න, හැබැයි කැළැල් වලට ඉතාම හොඳ ප්‍රතිකාරයක් තමයි මේ පිරිසිඳු පොල්තෙල් කියන්නෙ. හැබැයි මේ වැඩේට ඔය කඩෙන් ගන්න පොල්තෙල් නම් හරියන්නෙ නැහැ. ඒ හුඟක් ඒව නියම ප්‍රමිතියේ නැති නිසා කැළැල් මැකීම කෙසේ වෙතත් වෙන ගැටළු ඇත්වෙන්න පුළුවන්. සුපර් මාර්කට් එකකින් මිලදී ගන්න තියෙන හොඳම තත්ත්වයේ සුදු පොල්තෙල් හරි ගෙදරම හිඳගන්න තෙල් හරි තමයි මේ වැඩේට ගන්න ඕන.

දිනපතා උදේ හවස ලප කැළැල් මත පිරිසිඳු පොල්තෙල් ආලේප කරලා විනාඩි 10ක් විතර සම්බාහනය කරන්න. විෂරසායන හෝ කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු නැති නිසා ගර්භණී කාලයේ ඇතිවෙන ස්ට්‍රෙච් මාර්ක් වලටත් ඒ කාලෙදිම පාවිච්චි කරන්න පුළුවන් මේ පිරිසිඳු පොල්තෙල්. 

 

 

4. ඔලිව් තෙල් සහ ලැවෙන්ඩර් තෙල්

ඔලිව් ඔයිල් සහ ලැවෙන්ඩර් ඔයිල් කියන්නෙ ලප කැළැල් වලට ටක්කෙටම හරියන විසඳුමක්. ඔලිව් ඔයිල් මේස හැඳි තුනකට ලැවෙන්ඩර් ඔයිල් බින්දු තුනක් එකතු කරල ලාවට රත්කරලා කැළැල් මත ආලේප කරලා සම්බාහනය කරන්න. ඔලිව් ඔයිල් ගාගෙන ඉර අව්වේ යන්නනම් එපා. හම තවත් අඳුරු වෙන්න පුළුවන්. රෑට නිදාගන්න කලින් දිනපතා මේ සත්කාරය කළොතින් සති දෙක තුනකින් කැළැල් වලට සමුදෙන්න පුළුවන් ලේසියෙන්ම. 

 

 

5. බිත්තර සුදුමද සහ ඕට්ස්

බිත්තර සුදු මදයට පුළුවන් හානිවුණ සම යථාතත්ත්වයට පත් කරලා හම මත තියෙන වලවල් වසා දමන්න. බිත්තර සුදු මදය එක්ක ඕට්ස් කලවම් කරලා හම මත ආලේප කිරීමත් පරණ කැළැල් මකාදාලා හම නිරෝගී පෙනුමකට අරගෙන එන්න පුළුවන් ලොකුම සත්කාරයක්. මේ මිශ්‍රණය හම මත ආලේප කරලා පැය බාගයකින් පමණ මද උණුසුම් වතුරෙන් සෝදලා හරින්න. 

 

 

6. මී පැණි

මී පැණි කියල කියන්නෙ හුඟක් රෝග, ගැටළු වලට හරියටම හරියන වටිනා ස්වභාවික ප්‍රතිකාරයක්. පරණ කැළැල් වලටත් එහෙමම තමයි. රාත්‍රී නින්දට යන්න කලින් තුවාල කැළැල මත මී පැණි ආලේප කරලා බැන්ඩේජ් එකකින් ඔතලා එලිවෙනකන් තියෙන්න හරින්න. උදේට මද උණුසුම් වතුරෙන් සෝදලා හරින්න. දිනපතා නින්දට යන්න කලින් සතියක් දෙකක් දක්වා මේක අනුගමනය කරන්න. බොහොම අඩු වියදමකින් වගේම අඩු මහන්සියකින් කැළැල් ඉවත් කරගන්න පුළුවන්. 

 

 

7. බයෝ ඔයිල්

බයෝ ඔයිල් කියන්නෙ කැළැල් මකන්න පුළුවන් දෙයක් වුණාට ස්වභාවික සත්කාරයක් නම් නෙමෙයි. හැබැයි බයෝ ඔයිල් කියන්නෙ ස්වභාවික දේවල් යොදාගෙන කරන නිෂ්පාදනයක්. මේ බයෝ ඔයිල් හදන්නෙ කැළැල් වෙනුවෙන්. විශේෂයෙන්ම ස්ට්‍රෙච් මාර්ක්ස් වලට. හැබැයි ඔලිව් ඔයිල් වගේම ආලේප කරලා ඉර අව්වට නිරාවරණය වුණොත් හම අවපැහැ ගැනෙන්න පුළුවන් අවදානමක් මේ බයෝ ඔයිල් වලත් තියෙනවා. ඒ නිසා හොඳම විදිහ තමයි රෑ නින්දට යන්න කලින් කැළැල් මත ආලේප කරලා සම්බාහනය කිරීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *