ගර්භණී මවක් කියන්නෙ සාමාන්‍ය කෙනෙකුට වඩා ටිකක් පරිස්සමෙන් හැමදේම කරන්න ඕන කෙනෙක්නෙ. කෑමෙන් බීමෙන් උනත් එහෙමයි. වෙනදට වඩා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ නිසාම දරු ගැබක් දරණ අම්ම කෙනෙක් මෙන්න මේ දේවල් කන්න එපා කිය කියා පරණ අම්මලා, ආච්චිලා කියන හුඟක් කතා අපිට නිතරම ඇහෙනවා. හැබැයි හරියට හොයල බැලුවම ඒ හුඟක් කතන්දර පදනම් විරහිත කතා. කන්න හොඳ නැහැ කියන සමහර කෑම ඇත්තටම ඒ කියනව වගේ අගුණයක් නැහැ. හැබැයි හොඳයි කියන සමහර කෑම හොඳ නැතිවෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා ගැබිණි මව්වරුන්ට බොහොම වැදගත් විදිහේ දෙයක් ගැන අද කතා කරන්න.
මේ විස්තරය නූතන බටහිර වෛද්‍ය විද්‍යානුකූලව දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙදි කෑමට ගන්න නුසුදුසු ආහාර වර්ග ගැනයි. හරියටම හේතුවත් එක්කම පැහැදිළිව කියවල අදහසක් ගමුකො.
1. ඉහළ රසදිය අගයක් අඩංගු මාළු වර්ග
ඉස්සර කතාවටනම් පරණ අම්මල කිව්වෙ දරුවට කිරි එරෙන්න මෝර වගේ මාළු ජාති බබා ලැබෙන්න ඉන්න කාලෙ ඉඳලම කන්න කියලයි. හැබැයි දැන් අලුත්ම සොයාගැනීම් අනුව මේ ලොකු මෝර මාළු සහ තවත් සමහර මාළු වර්ග වල ඉහළ රසදිය අගයක් අඩංගු වෙනව. මේ රසදිය ස්නායු පද්ධතිය, ප්‍රතිශක්තීකරණ පද්ධතිය, වගේම වකුගඩු වලටත් අහිතකරයි. දරුවන්ගේ වර්ධන ගැටළු ඇතිකරවන්න පුළුවන්. ඒ නිසා මෝර මාළු, තලපත් මාළු, කුම්බලා මාළු වගේ ලොකු මාළු වර්ග ගර්භණී මව්වරුන් හෝ කිරිදෙන මව්වරුන් ආහාරයට ගන්න සුදුසු නැහැ. හැබැයි හාල්මැස්සෝ, සැමන් මාළු වගේ පොඩි මාළු වර්ග වලින් ලැබෙන පෝෂණය ගර්භණී කාලෙට හරිම වැදගත්.
2. අමු හෝ බාගෙට පිසූ මස් වර්ග
අමු මස්නම් ඉතින් අපි කන්නෙ නැහැනෙ ඇත්තෙන්ම. හැබැයි බාගෙට පිසූ මස්නම් කැවෙනව නේද? බාබ්කියු එහෙම ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම තැම්බෙන්නෙ නැහැ. සොසේජස් වර්ගත් එහෙමයි. කලින් පිසූ කියන නිසා හුඟක් බැදෙන්න හෝ තැම්බෙන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. හැබැයි මේ දේවල් ගොඩක් අහිතකරයි ගර්භණී මවකට. හරියට තැම්බුනේ නැති උනහම මස්වල ඇතුළේ තියෙන බැක්ටීරියා වර්ග විනාශ වෙන්නෙ නැහැ. ඒ බැක්ටීරියා වල බලපෑම නිසා ඉපදෙන දරුවන්ගේ ස්නායු ආබාධ වගේම මළදරු උපත් ඇතිවෙන්නත් පුළුවන්.
3. අමු බිත්තර
අමු බිත්තර කියන්නෙත් ගර්භණී මව්වරුන්ට හොඳම නැති කෑමක්. බිත්තර එහෙම පිටින්ම අමුවෙන් නොකෑවට කැවෙන අවස්ථා ඕන තරම්. බිත්තර කෝපි, හාෆ් බොයිල් එග්, හාෆ් බොයිල් ආප්ප, ඒ වගේම අමු බිත්තර යොදලා සකස් කරපු මයෝනේස් සෝස් අඩංගු කෑමත් මේ කාලෙදි කෑමට ගන්න හොඳම නැති ගොඩේ තමයි තියෙන්නෙ. අමු බිත්තර වල අඩංගු සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව සම්පූර්ණයෙන් විනාශ වෙන්නනම් බිත්තරය හොඳින්ම තැම්බෙන්න ඕන. මේ සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව නිසා නොමේරූ දරු උපත් වගේම මළ දරු උපත් සිදුවෙන්නත් පුළුවන්.
4. කැෆේන්
මේක කෝපි බොන්න ඇබ්බැහි වුණ අයටනම් ටිකක් හොඳ නැති ආරංචියක්. කැෆේන් කියන්නෙත් ගර්භණී කාලෙදි නොගෙන ඉන්න ඕන ආහාර පාන ලැයිස්තුවේ උඩින්ම තියෙන වර්ගයක්. හැබැයි මේ කියන්නෙ කැෆේන් අඩංගු පාන වර්ග බින්දුවටම අඩු කරන්න කියලනම් නෙමෙයි. බොහොම සීමිත ප්‍රමාණයක් පරිභෝජනය කළාට ගැටළුවක් නැහැ. හැබැයි කැෆේන් කියන්නෙ ඉතා ඉක්මනින් ශරීරිය උරාගෙන වැදෑමහ හරහා බබාට යන්න පුළුවන් දෙයක්. මේ අධික කැෆේන් පරිභෝජනය නිසා කළලයේ වර්ධනය අඩාල වෙලා දරු උපතේදී අඩුබර සහිත දරුවන් ඉපදෙන්න පුළුවන් කියලයි කියන්නෙ. ඒ නිසා කෝපි විතරක් නෙමෙයි, කැෆේන් අඩංගු කිසිම පානයක් ඕනවට වඩානම් එපා.
5. Alcohol
මේකනම් ඉතින් අහන්නත් දෙයක්ද දෙයියනේ… නේද? Alcohol එහෙමත් නැත්තම් මධ්‍යසාර නම් ගර්භණී කාලෙදි මුළුමනින්ම නතර කරන්න ඕන. ඉතාම සුළු ප්‍රමාණයක පරිභෝජනයක් උනත් දරුවගේ මොළේ වර්ධනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. දරුවාගේ මුහුණේ විකෘතිතා, හෘද රෝග සහ බුද්ධිමය ආබාධ ඇතිවෙන්න පුළුවන්. අධික පරිභෝජනයෙන් ගබ්සාවීම් සහ මළදරු උපත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගර්භණී කාලෙදි කිසිසේත්ම පරිභෝජනය නොකළයුතු දේවල් කියන ගොඩට මේ ඇල්කොහොල් වැටෙන්නෙ.
6. පාස්චරිත නොකළ කිරි
පාස්චරීකරණය කරනවා කියන්නෙ කිරි කල්තබා ගැනීමේ හැකියාව වැඩිකරන්න සහ අනවශ්‍ය බැක්ටීරියා ඉවත් වෙන්න මද උණුසුම් තත්ත්වයක් යටතේ යම් විෂබීජහරණ ක්‍රියාවලියකට බඳුන් කිරීම. මේ විදිහට පාස්චරීකරණයට ලක් නොකළ අළුත් කිරි වර්ග හෝ ඒ ආශ්‍රිත චීස් වගේ නිෂ්පාදනත් ගැබිණි මව්වරුන්ට අහිතකරයි. මේ විදිහට සකස් නොකළ කිරිවල Listeria, Salmonella, E. coli, and Campylobacter වගේ විවිධ බැක්ටීරියා වර්ග අඩංගු වෙන්න පුළුවන් මේවා දරුගැබට අහිතකරයි. ගබ්සාවීම්, නොමේරූ දරු උපත් සහ මළදරු උපත් සිදුවෙන්න හේතුවෙන්න පුළුවන්.
7. Liver හෙවත් අක්මා කොටස්
අපි සමහර සතුන්ගේ අක්මා වර්ග ආහාරයට ගන්නවනේ. මේ අක්මා කොටස් අධික ගුණදායකයි කියල මතයක් තියෙන නිසාම හුඟක් අය ආහාරයට ගන්නවා. ඉතින් ගර්භණී කාලෙදිත් ගුණ නිසාම හිතල කෑමට ගන්න පුළුවන්. හැබැයි ඇත්ත කතාව අනුව අක්මා කොටස් ආහාරයට ගැනීම මේ කාලෙදි අහිතකරයි. මේ අක්මා කොටස් වල අධික ලෙස විටමින් A අඩංගුයි. මේ විටමින් A දරු ගැබට එතරම් ගුණදායක නැහැ. ඒ නිසා මේ ආහාරයත් හොඳ නැහැ කියන ගොඩටම තමයි වැටෙන්නෙ.
Leave a Reply