ලෝකයේ ලොකුම පුස්තකාල ගැන දැනගන්​න

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. එහෙම බැලුවම සම්පූර්ණ මිනිසුන් බිහිකරන්න ලොකුවටම උදව් කරන තැනක් තමයි පුස්තකාලයක් කියන්නෙ. පොත් කියවන, පොත් වලට ආදරේ කරන අයටනම් පුස්තකාලයක් කියන්නෙ හදවතට ලඟම තැනක්. ඒ පුස්තකාලය ලොකුයිද, පොඩියිද කියන එක ඒ අයට අදාළම නැහැ කියවන්න පොත් දහයක් හරි තියෙනවනම්. හැබැයි ඉතින් ජීවිත කාලයක්ම කියවලා ඉවර කරගන්න බැරි තරම් හුඟක් පොත් තියෙන ලොකු පුස්තකාලයක් කියන්නෙ මොන තරම් ලස්සන තැනක්ද පොත් වලට ආදරේ කරන අයට. ඉතින් ඔය කියවන්න ආස අයට වගේම ලෝකෙ ගැන  හොයන්න ආස අයටත් දැනගන්න මේ තියෙන්නෙ ලෝකයේ ලොකුම පුස්තකාල අතරේ මුල්ම ස්ථානවල තියෙන පුස්තකාල. මේ ලොකුම ලොකු පුස්තකාල වල තියෙන පොත් කන්දරාව වගේම ඒ පොත් අසුරලා තියන්න කරලා තියෙන ලස්සන ගෘහ නිර්මාණත් බලන්න වටිනවා. 

 

1. British Library

මේ British Library එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පුස්තකාලය පිහිටලා තියෙන්නෙ එක්සත් ජනපදයේ ලන්ඩන් නගරයේ. මේ පුස්තකාලය තමයි එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය. ඒ වගේම ලෝකයේ ලොකුම පුස්තකාලය විදිහට දැනට සැලකෙන්නෙත් මේ පුස්තකාලය. මේ බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පොත් පත්, සඟරා ඇතුළු දේවල් මිලියන 170 – 200 හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරට සුප්‍රසිද්ධ Beatles සංගීත කණ්ඩායමේ ගීතවල අතින් ලියූ මුල්පිටපත් වගේම ප්‍රසිද්ධ නවකතාකාරිනියක් වන ජේන් ඔස්ටන්ගේ අවසාන නවකතාව වන Persuasion කියන නවකතාවේ කොටසක මුල් පිටපත් පවා ඇතුළත් වෙනවා. 1973 වර්ෂයට කලින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේම කොටසක් විදිහට පරිපාලනය වුණ මේ පුස්තකාලය 1972 බ්‍රිතාන්‍ය පුස්තකාල පනත මඟින් කෞතුකාගාරයෙන් වෙන්කරල වෙනම පරිපාලනයකට යටත් කරලා තියෙනවා.

 

2. Library Of Congress

මේ පුස්තකාලය පිහිටලා තියෙන්නෙ ඇමරිකාවේ වොෂින්ග්ටන් නගරයේ. මේ පුස්තකාලය තමයි ඇමරිකාවේ රාජ්‍ය පුස්තකාලය. මේ පුස්තකාලය නිල වශයෙන් වොෂින්ග්ටන් නගරයේ ආරම්භ කරල තියෙන්නෙ 1800 වර්ෂයේදී. හැබැයි ඊට කලින් අවුරුදු 11ක් විතර විවිධ තැන්වල තිබිලා තියෙන බව තමයි කියන්නෙ. කොහොම උනත් දැන් මේ පුස්තකාලය පිහිටල තියෙන්නෙ ගොඩනැගිලි තුනක. මේ පුස්තකාලයේ දැනට පොත්, පරීක්ෂණ නිබන්ධන වගේ දේවල් මිලියන 162 කට වඩා තියෙනව කියල තමයි කියන්නෙ. ඒ වගේම එක රටකට හෝ භාෂාවකට සීමා නොවී ලෝකය පුරාම භාෂාවන් 450 කට වඩා වැඩි සංඛ්‍යාවකින් ලියවුණු පොත් පත් මේ පුස්තකාලයේ දකින්න පුළුවන්. ඒ අතරට ඉඳිකටුවකින් පමණක් පිටු පෙරලන්න පුළුවන් ලෝකයේ කුඩාම පොතක් පවා ඇතුළත් වෙනවා.

 

 

3. Shanghai Library

මේ ෂැන්හයි පුස්තකාලය පිහිටලා තියෙන්නෙ චීනයේ ෂැන්හයි නගරයේ. හැබැයි චීනයේ ජාතික පුස්තකාලය වෙන්නේ බිජිං නගරයේ පිහිටලා තියෙන පුස්තකාලය. ඒත් මේ ෂැන්හයි පුස්තකාලය විශාලත්වය අතින් චීන ජාතික පුස්තකාලයට වඩා වැඩියි වගේම ලෝකයේ තුන්වෙනි තැනට විශාලම පුස්තකාලය විදිහටත් සැලකෙනවා. මේ පුස්තකාලයේ පොත් පත් ඇතුළු අයිතම මිලියන 56කට වඩා ගබඩා කරලා තියෙනවා. ඒ වගේම මේ පුස්තකාලය තමයි ලෝකයේ දෙවෙනියට උසම පුස්තකාලය විදිහට සැලකෙන්නේ. පළවෙනියට උසම පුස්තකාලය විදිහට සැලකෙන්නේ ඇමරිකාවේ පිහිටලා තියෙන W. E. B. Du Bois පුස්තකාලය. 

 

4. New York Public Library

මේ නිව්යෝර්ක් මහජන පුස්තකාලය පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ. පොත් එකතුව මිලියන 55කට වඩා ඇතුළත් වෙන මේ පුස්තකාලය ලෝකයේ හතරවෙනි ස්ථානයට විශාලම පුස්තකාලය විදිහට වගේම ඇමරිකාවේ දෙවෙනියට ලොකුම මහජන පුස්තකාලය විදිහටත් සැලකෙනවා.  

 

5. Library and Archives Canada

මේක කැනඩාවේ රාජ්‍ය පුස්තකාලය. කැනඩාවේ ඔටාවා නගරයේ පිහිටලා තියෙන මේ පුස්තකාලය තමයි කැනඩා රජයේ ඓතිහාසික ලියකියවිලි සුරක්ෂිත කරලා තියෙන ලේඛනාගාරය වෙන්නෙත්. ලෝකයේ දැනට විශාලත්වය අතින් පස්වෙනි තැන ගන්නේ මේ පුස්තකාලය කියල තමයි සැලකෙන්නෙ. මිලියන 54කට වඩා පොත් පත්, සඟරා සහ ලියකියවිලි මේ පුස්තකාලයේ ගබඩා කරලා තියෙනවා. මුලින්ම 1872 වසරේදී ලේඛනාගාරයක් විදිහට ආරම්භ කරපු මේ ආයතනයට 1953 වර්ෂයේදී වෙනමම ආරම්භ වුණ පුස්තකාලය එකතු වෙන්නෙ 2004 වර්ෂයේදී. 

 

6. Russian State Library

රුසියානු රාජ්‍ය පුස්තකාලය කියන්නෙ රුසියාවේ ජාතික පුස්තකාලය. මේ පුස්තකාලය පිහිටලා තියෙන්නෙ රුසියාවේ මොස්කව් නගරයේ. විශාලත්වය අතින් ලෝකයේ 6 වෙනි තැන ගන්න මේ පුස්තකාලයේ පොත් පත් එකතුව මිලියන 47.2ක් කියල තමයි සඳහන් වෙන්නෙ. මේ පුස්තකාලය ආරම්භ වෙලා තියෙන්නෙ 1862 වර්ෂයේදී මොස්කව් මහජන කෞතුකාර පුස්තකාලය කියන නමින්. 1925 වර්ෂයේ ඉඳලා එක්සත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ I.V Lenin රාජ්‍ය පුස්තකාලය විදිහට හැඳින්වුණු මේ පුස්තකාලය 1992 වසරේදී තමයි රුසියානු ජාතික පුස්තකාලය විදිහට නැවත නම් කෙරෙන්නෙ. ඒ නිසාම දැනටත් “Leninka” කියන අන්වර්ථ නාමයෙනුත් මේ පුස්තකාලය හැඳින්වෙනවා. 

 

7. National Diet Library

මේ National Diet Library (NDL) කියන පුස්තකාලය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ නගරයේ. විශාලත්වය අතින් දැනට ලෝකයේ හත්වෙනි ස්ථානය දරන මේ පුස්තකාලයේ පොත් එකතුව මිලියන 44.1 ඉක්මවනවා. මේ පුස්තකාලය ආරම්භ කරල තියෙන්නේ 1948 වර්ෂයේදී. ටෝකියෝ නගරයේ ප්‍රධාන ශාඛාවට අමතරව තවත් එක ප්‍රධාන ශාඛාවක් ක්යෝතෝ නගරයේ පිහිටලා තියෙන මේ පුස්තකාලයේ අනු ශාඛා කිහිපයක්ම ජපානය පුරා විවිධ නගරවල පිහිටලා තියෙනවා. ක්යෝතෝ නගරයේ තියෙන ප්‍රධාන ශාඛාව හැඳින්වෙන්නේ Kansai-Kan කියන නමින්. මේ ජපානයේ National Diet Library කියන පුස්තකාලයේ අතට අරන් කියවන්න පුළුවන් පොත්පත්, ලියකියවිලි වගේම ඔන්ලයින් ක්‍රමයට පරිහරණය කරන්න ගබඩා කෙරුණු ඩිජිටල් පොත්පත් එහෙමත් විශාල එකතුවක් තියෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *