ප්‍රකට රණශූරයන්ගේ අප්‍රකටව මිය ගිය පුතුන්

අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරා කොතන වුණත් තාත්තලා බලාපොරොත්තු වෙන්නේ පුතාලා තමන්ගේ පවුලේ නම ගෙනියයි කියලා. නූතන සිතුම් පැතුම් එක්ක මේ තත්ත්වය මදක් වෙනස් වෙලා තිබ්බත් තාමත් බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ මේ විදිහට. සමහර තාත්තලා බලාපොරොත්තු වෙන්නේ තමන් කරපු දේවල් පුතාලා වැඩිදියුණු කරයි කියලා. “අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා” කියලා අපේ රටේ ජනවහරට කතාවක් එකතු වෙලා තියෙන්නේ ඔන්න ඔය හින්දයි. සමහරක් වෙලාවට තාත්තලා බලාපොරොත්තු වෙන්නේ තාම දැකපු සිහිනයක් තමන්ගේ පුතාලා විසින් යථාර්ථයක් කරාවි කියලා. හැබැයි සමහරක් වෙලාවට දෛවය අනුව පුතාලා තාත්තලා බලාපොරොත්තු වුනු දේවල් ඉෂ්ට කරගන්න බැරුවම මිය යනවා. අපි අද ඒ වගේ පුතාලා කීපදෙනෙක් ගැන හොයලා බලමු.

 

1. අස්ටයනැක්ස්

මේ නම සමහරක් විට ඔයාලට එච්චරම හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. හැබැයි ට්‍රෝයි චිත්‍රපටය නරඹලා තියෙන අයට පොඩි මතකයක් මෙයා ගැන ඇති. අස්ටයනැක්ස්, ඒ කියන්නේ ග්‍රීක ට්‍රෝයි යුද්ධයේදී ට්‍රෝයි පාර්ශවයේ යුද ප්‍රධානියා වුණ හෙක්ටර්ගේ සහ  ඇන්ඩ්‍රොමැකීගේ පුත්‍රයා. ග්‍රීක පාර්ශවයේ සොල්දාදුවන් පවා හෙක්ටර්ගේ නිර්භීත්වය අගය කරනවා. නමුත් යුද්ධයෙන් පසුව ග්‍රීකයන් යම් දෙගිඩියාවකට පත් වෙනවා. යම් විදිහකින් අස්ටයනැක්ස්​ට ජීවත් වන්නට ඉඩ දුනහොත් ඔහු යම් දිනක ට්‍රෝයි නගරය නැවතත් ගොඩනගාවිද යන්න වගේම ග්‍රීකයන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරයිද යන කියන සැකය ඔවුන්ට ඇති වෙනවා. අවසානයේදී ග්‍රීකයන් තීරණය කරනවා, අස්ටයනැක්ස්ව මරා දමන්න. සමහර ග්‍රීක වාර්තා වලට අනුව ඇන්ඩ්‍රොමැකීගෙන් අස්ටයනැක්ස්ව උදුරා ගෙන ඇවිල්ලා නගරයේ ප්‍රාකාරයෙන් පහතට හෙළා ඔහුව මරා දමනවා (අස්ටයනැක්ස් මේ ඉරණමින් බේරුනා කියලා යම් යම් ජනප්‍රවාද තිබ්බත් ඒවාවලට එතරම් පිළිගැනීමක් ලැබෙන්නේ නෑ).

 

2. හතරවෙනි ඇලෙක්සැන්ඩර්

හතරවෙනි ඇලෙක්සැන්ඩර් කියලා සඳහන් වුණාට මේ ඇලෙක්සැන්ඩර් නම් කවදාවත් රජ වුණේ නෑ. හැබැයි මේ ඇලෙක්සැන්ඩර්ගේ තාත්තා නම් ලෝකෙ පුරා නම තියපු ඇලෙක්සැන්ඩර් කෙනෙක්. ඒ තමයි මහා ඇලෙක්සැන්ඩර්. ග්‍රීසියේ ඉඳන් ඉන්දියාව දක්වා එවකට ලෝකය දැකපු සුවිශාලම අධිරාජ්‍ය බිහි කරන්න දායක වුණු පුද්ගලයා. ඔහු විවාහ කරගන්නේ බැක්ට්‍රියාවේ රොක්සානා කුමරියව. මහා ඇලෙක්සැන්ඩර් මියයද්දී රොක්සානා කුමරිය දරුවා ලැබීමට ආසන්නව සිටිනවා. මේ නිසා මහා ඇලෙක්සැන්ඩර්ගෙන් පසුව අධිරාජයා වීමට නිශ්චිත උරුමක්කාරයකු නොමැතිවීම නිසා එම අධිරාජ්‍යය මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන් අතර බෙදී යනවා. දරුවා ලැබුණු පසුව ඔහුව ඇලෙක්සැන්ඩර් ලෙස නම් කරන රොක්සානා සහ දරුවා නැවතත් මැසිඩෝනියාවට යනවා. පසු කාලයකදී මහා ඇලෙක්සැන්ඩර්ගේම සෙන්පතියෙකුගේ පුත්‍රයකු පාලන බලය ලබා ගැනීම සඳහා රොක්සානාට සහ දහහතර හැවිරිදි ඇලෙක්සැන්ඩර් වස දී මරණයට පත් කරනවා.

 

3. සිසේරියන් 

දැන් ඔයා හිතුවේ සැත්කමක් ගැන කතා කරන්න යනවයි කියලද? හැබැයි සමහරු කියන විදිහට මෙයාගේ තාත්තා හින්දා තමයි සිසේරියන් සැත්කමවලට ඒ නම හම්බ වෙලා තියෙන්නේ. තාත්තා තමයි ජුලියස් සීසර්. එතකොට මෙයාගේ අම්මා වෙන්නේ ක්ලියෝපැට්‍රා. සිසේරියන් ඉපදෙන්නේ රෝම සහ ඊජිප්තුවේ පාලකයන්ගේ උරුමක්කාරයා විදිහට. හැබැයි සිසේරියන්ගේ මේ උරුමකම ගැන  ජුලියස් සීසර් ගෙන් පසුව රෝමයේ පාලකයා බවට පත්වන ඔගස්ටස් සීසර් එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒ නිසා ඔගස්ටස් සීසර් ඊජිප්තුව ආක්‍රමණය කිරීමෙන් පසුව සිසේරියන්ව මරා දමනවා.

 

4. සාලිය කුමාරයා 

ලංකා ඉතිහාසයේ පළමු වරට මුළු ලංකාවම එක්සේසත් කරන්න සමත් වෙන්නේ දුටුගැමුණු රජතුමා. අද දක්වාම දුටුගැමුණු රජතුමා කියන්නේ අපේ රටේ ජනතාවගේ අසහාය ජාතික වීරයා. නමුත් අවාසනාවකට වගේ එතුමා ගේ පරපුරට ඉන්පසුව සිංහාසනය හිමි වන්නේ නෑ. දුටුගැමුණු රජතුමාගෙන් පසුව සිංහාසනයේ අයිතිය යන්නේ ඔහුගේ සහෝදරයා වුණු සද්ධාතිස්ස  කුමාරයා සහ ඔහුගේ දරුවන්ට. ඇතැම් අය කියන විදිහට සාලිය කුමාරයාගේ මව අඩු කුලයේ තැනැත්තියක් වීම සහ සාලිය කුමාරයා සැඬොල් කුලේ අශෝකමාලාව විවාහ කර ගැනීම නිසා රජකම ඔහුට අහිමි වුණාලු. කොහොම වුණත් ඊට පස්සේ සාලිය කුමාරයාට සහ අශෝකමාලාවට මොකක් වුණාද කියන එක ගැන කිසිම තොරතුරක් අපේ වංශකථා වල හමුවන්නේ නෑ .

 

5. මොහොමඩ් නබිතුමාගේ පුත්‍රයන්

දැන් ඔයාටත් ප්‍රශ්න කීපයක් ඇති වෙලා ඇති මුලිකම ප්‍රශ්නය වෙන්න ඇත්තේ මොහොමඩ් නබි තුමා රණශූරයෙක් වෙන්නේ කොහොමද කියලා. නබිතුමා  ආගමික නායකයෙක් වගේම දක්ෂ රණශූරයෙක්. එවකට සෞදි අරාබියාව පුරා විසිරී පැවති ගෝත්‍ර යුද්ධය ආගම මගින් එතුමා එකම නායකත්වයක් යටතට ගෙන ඒමට සමත් වුණා. නමුත් එතුමාගෙන් පසුව එම උරුමය රැගෙන යාමට සිටි කාසීම්, අබ්දුල්ලා සහ ඉබ්‍රාහීම් නම්වලින් හැඳින්වුණු පුතුන් තිදෙනාම කුඩා වියේදීම මිය ගියා. මොහොමඩ් නබි තුමාගෙන් පසුව සුන්නි සහ ෂියා භේදය ඇති වීමටත් එතුමාගේ පුතුන් මියයෑම වක්‍රාකාරයෙන් බලපෑවා.

 

6. මහා අස්ථාන කුමරු 

මුළු මහත් ලංකාවම පෘතුගීසීන්ට යටත් වීමට ඔන්න මෙන්න තිබූ මොහොතේ දී කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් රජ වෙලා උඩරට රාජධානිය පිහිටෙව්වා. ඔහු විවාහ කරගත්තේ උඩරට රාජධානියට තවත් උරුමකම් කියූ කුසුමාසන දේවිය නමින් හැඳින්වුණු දෝන කැතරිනා කුමරියව. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුත්‍රයා වූයේ මහා අස්ථාන කුමරයා. පළමුවන විමලධර්මසූරිය රජුගේ මරණයෙන් පසුව ඥාති සහෝදරයෙකු වුණු සෙනරත් රජකමට පත් වුණා. ඒ මහා අස්ථාන කුමාරයා එවකට ළාබාල වියේ පසුවුණු නිසා. නමුත් ඉන් වසර කීපයකට පසු මහා අස්ථාන කුමාරයා හදිසියේ මිය යනවා. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය සෙනරත් රජුගේ කුමන්ත්‍රණයක් කියලා.

 

7. දෙවැනි නැ​පෝලියන් 

නැපෝලියන් තමන් ගේ ජීවිතයටත් වඩා එක්තරා කාන්තාවකට ආදරේ කළා. ඒ ජොසපින් හට. නමුත් නැපෝලියන් ඇයව දික්කසාද කරන්න තීරණය කරනවා. ඒකට හේතුව වෙන්නේ ඇයට දරුවන් නොලැබීම. ඊට පස්සේ නැපෝලියන් ඔස්ට්‍රියානු රජ පවුලේ මාරි ලුයිස් කුමරිය විවාහ කර ගන්නවා. එම විවාහයෙන් ලැබෙන දරුවාට නම තියන්නෙත් නැ​පෝලියන් කියලා. රුසියාවේදී ලද පරාජයත් සමග නැපෝලියන්ගේ දෛවය වෙනස් වනවා. ඔහු ශාන්ත හෙලනා දූපත නම් පිටුවහල් වෙද්දි මාරි ලූවිස් කුමරිය සහ ඇගේ දරුවා ඔස්ට්‍රියාවට යනවා. ඔස්ට්‍රියාවේ තමන්ගේ බාල කාලය ගත කරන නැපෝලියන් ගැන බොහෝ බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා. ඇතැම් අය ප්‍රංශයේ ඊළඟ අධිරාජයා විදිහට ඔහු ගැන බලාපොරොත්තු තබා ගන්නවා. නමුත් වයස අවුරුදු 21 දී අවාසනාවන්ත ලෙස ක්ෂය රෝගයෙන් නැපෝලියන් මිය යනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ  අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න.ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *