ලියන්න බැරුව ගිහින්ද? රයිටර්’ස් බ්ලොක් ඇවිල්ලද? එහෙමනම් මේ උපදෙස් පිළිපැදලා බලන්න.

රයිටර්’ස් බ්ලොක් කියන්නේ මොකද්ද? සරලවම කිවුවොත් ලියන්න බැරුව ගිහින් වගේ දැනෙන එක. ඒ කියන්නේ අපිට මොනවා හරි ලියන්න වුවමනාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් ලියන කියන උදවිය. හැබැයි හදිසියේම ලියන්න බැරුව ගිහින් කියලා දැනෙනවා. කොයි තරම් උත්සාහ කළත් ලියන්න දේවල් ඔලුවට එන්නෙ නෑ. ආවත් ගලපගන්න බෑ වගේ. ලියන්න කම්මැලියි වගේ. වැඩේ අත ඇරලා දාලා යන්නමයි හිතෙන්නේ. ඇත්තටම රයිටර්’ස් බ්ලොක් කියන එක එන්නේ පොත් ලියන ලේඛකයින්ට විතරක් නෙවෙයි. විශේෂාංගයක් පත්තරේට ලියන මාධ්‍යවේදියෙක්ට වුනත්, ෆේස්බුක් පෝස්ට් එකක් ලියන කෙනෙක්ට වුනත් රයිටර්’ස් බ්ලොක් ඇතිවෙන්න පුළුවන්. සමහර මනෝවිද්‍යාඥයෝ කියනවා ඔය රයිටර්’ස් බ්ලොක් කියන එක ඇතිවෙන්න හේතු වෙන්නේ එක්කෝ තමන්ව අනෙක් ලියන අයත් එක්ක සංසන්දනය කෙරෙනවාට තියෙන බය, එක්කෝ දැඩි අනවශ්‍ය ස්වයං විවේචනය, එක්කෝ ඇතුළතින් නැතිනම් බාහිර වශයෙන් පෙළඹවීමක් නොමැති වීම කියලා. අන්න එහෙම අවස්ථාවකදී මොනවද ගන්න පුළුවන් පියවර? අන්න ඒ ගැන තමයි අපි කියන්න යන්නේ.

 

1. ටයිම් ටේබල් එකට වැඩ

ගොඩක් දෙනෙක් හිතනවා, ලියනවා කියන එක නැතිනම් නිර්මාණශීලීත්වය කියන එක එලියට එන්නේ එක වෙලාවකට විතරයි කියලා. ඒ කියන්නේ තමන්ට දැනෙන, හිතෙන වෙලාවට විතරයි ලියන්න පුළුවන් වෙන්නේ කියලා. ආන්න ඒක ගොඩක් වෙලාවට රයිටර්’ස් බ්ලොක් ඇතිවෙන්නත් හේතුවක්. ඇත්තටම ලියනවා කියන එක හරියට කරන්න පුළුවන් වෙන්නේ නියමිත වෙලාවක් හදාගෙන, ඒ ටයිම් ටේබල් එක අනිවා පිළිපදින එකෙන් තමයි. ඒක දිනපතා රෑට පැයක් ලියනවා වෙන්න පුළුවන්. දිනපතා උදේ පැය පහක් වෙන්න පුළුවන්. දවසක් ඇර දවසක් වෙන්න පුළුවන්. සති අන්තේ වෙන්න පුළුවන්. කරන්න ඕන දේ තමයි තමන්ගේ අනෙකුත් වැඩත් එක්ක ලියන්න පුළුවන් වෙලාව තෝරගන්න එක. දැන් මොන දේ වුනත් ඒ වෙලාවට ලියන්න වාඩි වෙන එක. එහෙම විනයක් හදාගන්නකොට ලියන්න දේවලුත් ඉබේටම පහළ වෙයි. 

 

ලියන්න මුලින්ම පටන් ගන්න බැරුව ඉන්න අයටත් මේක හොඳ ක්‍රමයක්!

 

2. හරිම වචනේ

සමහරු ලියාගෙන යනකොට යම් තැනකට හරීම වචනේ හොයනවා. හැබැයි හරි වචනයක් කියලා එකක් එන්නෙම නෑ. ඉතින් ඔන්න එතනින් එහාට ලියාගන්න බැරුව පැය ගාණක් දඟලනවා. අන්තිමට වැඩේ අල්ලලා දානවා. ලිවිල්ලත් එතනින් ඉවරයි. හැබැයි ඒක නෙවෙයි කරන්න ඕන. එතනට හරියන වචනයක් නැතිනම්, මොකක් හරි අතිශයින්ම සාමාන්‍ය වචනයක් යොදලා ලියන්න. ඕන නම් එතන පොඩි මාක් එකක් දාගන්න පස්සේ එඩිට් කරනකොට වචනයක් හොයාගන්න. ඇත්තටම සිද්ධ වෙන්න ඕන ලියාගෙන යන රිද්මයට ලියන එක. එහෙම නැතුව පරිපූර්ණ වචන මත්තේ නැහෙන්න ගියොත් ලිවිල්ලක් වෙන්නෙ නෑ!

 

3. ලියන්න කියන්න තැනක්

මෙන්න මේක ඇත්තටම ලියන්න පටන් ගන්න කෙනෙක්ට වුනත්, කාලයක් ලිව්ව කෙනෙක්ට වුනත් වැදගත් කාරණාවක්. ඒ තමයි ලියන්න හරි හමන් තැනක් තියාගන්න එක. ඒ කියන්නේ අර විසාල පුස්තකාලයක් හරි කාර්යාල කාමරයක් හරි වෙන්න ඕන නැහැ. තමන්ට අනවශ්‍ය බාධා කිරීම්, කරදර කිරීම් නැතුව ලියන්න පුළුවන්, තමන්ට සුවපහසුවෙන් ලියන්න පුළුවන් තැනක් වීම තමයි වැදගත්. උදාහරණයක් විදියට කිවුවොත් නිදන ඇඳේ ඉඳන් ලියන එක පහසුවක් නෙවෙයි. ගෙදර හැමෝම එහා මෙහා යන විසිත්ත කාමරේ ඉඳලා ලියන එකත් පහසුවක් නෙවෙයි. අන්න ඒ නිසා තමන්ට කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු නැතුව පහසුවෙන් ඉඳන් ලියන්න පුළුවන් මේසයක් පුටුවක් හොයාගන්න ඕන. අවශ්‍ය නම් ඔය Tide වගේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා, ඒකේ වැඩට අවධානය යොමු වෙන විදියේ මියුසික් එකක් එහෙම දාගෙන ලියන්නත් පුළුවන්. ලියන තැන තමන්ට ඒකට අවශ්‍ය බඩුබාහිරාදිය තියෙන්නත් ඕන. වතුර බෝතලයක් පවා එතන තියෙන එක හොඳයි. අන්න එහෙම වටපිටාව හදාගත්තා නං ලියන්න පටන් ගන්න පුළුවන්.

 

4. ෆ්‍රී රයිටින්!

මෙන්න මේකත් ඇත්තටම රයිටර්’ස් බ්ලොක් එක දුරුකරන්න එක්ස්පර්ට්ලා යෝජනා කරන ක්‍රමයක්. කරන්න ඕන දේ අති සරලයි. වාඩිවෙලා ලියාගෙන ලියාගෙන යන්න. ඒ කියන්නේ මොනවහරි ලියාගෙන යන්න. ආයෙ කතාවක් ගැන, ව්‍යාකරණ ගැන, අක්ෂර වින්‍යාස ගැන, මාතෘකාවක් ගැන හෝ වෙනත් මොන මගුලක් ගැනවත් හිතන්න එපා. එතකොට වෙන කාටවත් පෙන්නන්න අවශ්‍යත් නැහැ. එකම දේ තමයි තමන් ලියන නිශ්චිත කාලයක් කලින් තීරණේ කරගන්න. පැයක් වෙන්න පුළුවන්, පැය දෙකක් වෙන්න පුළුවන්, පැය බාගයක් වෙන්න පුළුවන්. ආන්න එහෙම ඔහේ ලියාගෙන ගිහින් ඉවර වෙලා බලන්න වෙනස.

 

5. නිර්මාණශීලී ලිවීම ඇරෙන්න වෙන දෙයක් කරන්න

මේක ඇත්තටම හරියන්නේ ප්‍රොෆෙෂනල් විදියට දවසකට වෙලාවක් වෙන් කරගෙන ලියන එක කාලාන්තරයක් තිස්සේ කරන කෙනෙක්ට රයිටර්’ස් බ්ලොක් ආවහම තමයි. අන්න එතකොට කරන්න තියෙන්නේ අර පුරුද්දක් විදියට දිනපතා ලියන රූටින් එකෙන් පොඩි බ්‍රේක් එක්ක් ගන්න එක තමයි. බ්‍රේක් එකක් අරගෙන හැබැයි ලියන එක ගැන හිත හිතා ඉඳලා හරියන්නෙ නෑ. වෙන මොකක්ම හරි දෙයක් තමයි කරන්න ඕන. ඒක ෆිල්ම් එකක් බලන්න යන එක, බයික් රයිඩ් එකක් යන එක, ඇවිදින්න යන එක, යාලුවෙක් එක්ක කෑමකට යන එක, සර්කස් එකක් බලන්න යන එක වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. එකම දේ, ඒක ලිවීමට සම්බන්ධ නැති වැඩක් වෙන්න ඕන. ආන්න එතකොට අර හිතේ තියෙන වෙහෙසකර, හිස්, අමාරු ගතිය නැතිවෙන්න පටන් ගන්නවා. ඒක නැතිවුනහම ආයෙමත් අර නියමිත ටයිම් ටේබල් එකට ලියන රූටින් එක පටන් ගන්න.

 

6. මැප් එකක් ගහමුද?

මෙන්න මේක ඇත්තටම ආටිකල් එකක් ලියනකොට වුනත්, ෆේස්බුක් එකේ මොකක් හරි ගැන දීර්ඝ පෝස්ට් එකක් ලියනකොට වුනත්, කෙටිකතාවක් හෝ නවකතාවක් ලියනකොට වුනත් වැදගත්. ඒ තමයි වැඩේ පටන් ගන්න කලින් මැප් එකක් ගහන එක. විශේෂයෙන්ම ඔය නවකතාවක් එහෙම ලියනකොට ඔහේ පටන් අරගෙන හිතේ තියෙන විදියට ඉස්සරහට අරන් යනවා කියන එක පොඩ්ඩක් අවුල්. ඊට කලින් සිනොප්සිස් එකක් ගහන්න ඕන. ඒ කියන්නේ කතාව මොකද්ද කියලා කෙටියෙන්, එක පිටුවකින් ලියාගන්න ඕන. ආන්න එහෙම මැප් එකක් ගහගත්තට පස්සේ අතරමං වෙන්නෙ නැතුව ලියාගෙන යන්න පුළුවන්. එහෙම නැතිනම් ඔන්න කොහේ හරි හිර වුනාට පස්සේ එතනින් ඉස්සරහට යන්න විදියක් නෑ. එතකොට ලියන්න හිතකුත් නැතිව යනවා. හැබැයි මැප් එක තියෙනවා නං, ලියන්න ඕන මොනවද කියන එක දන්නවා. අන්න එතකොට වැඩේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කරදරයක් නැතුව.

 

7. එලියේ විවේචකයෝ සහ ඇතුළේ විවේචකයා

මෙන්න මේක බොහොම භයානක දෙයක්. ඒ තමයි තමන් ලියන එක ගැන අනවශ්‍ය විදියට දරුණු ස්වයං විවේචනයන්ට යන එක සහ පිටින් ඉන්න අනවශ්‍ය විවේචකයන්ගේ බස් වලට සවන් දෙන එක. පළවෙනි දේ, මේක ලෝක පූජිත වෙන්න ලියන පොතක් කියලා හිතාගෙන ලියන්න යන්න එපා කරුණාකරලා. අඩුමගාණේ මේක ෆුල් විකිණිලා මම ජනප්‍රිය වෙයි කියලා හිතාගෙන වත් ලියන්න එපා. අනෙක් අතට මේක එලියට ගියහම මිනිස්සු මට හිනාවෙයිද කියලත් හිතන්න එපා. අනෙක් ලේඛකයන්ගේ පොත් එක්ක බැලුවහම මේක ඊයා නේද කියලා හිතන්න යන්නත් එපා. කොටින්ම කියනවා නම් තමන්ගේ හිතේ තියෙන කතාවක් එලියට දැමීම වෙනුවෙන් ලියන්න. එතනින් එහාට දේවල් හිතන්න එපා. අනික, වැඩේ ඉවර කරන්න කලින් කෑලි කෑලි කාටවත් බලන්න දෙන්න යන්නත් එපා. එහෙම නැතිනම් මැද්දේදීම වැඩේ එපා වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඉතින් මලාට ලියන්න හිත් දෙන්නෙ නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *