ගෑණුන්ට පිරිමි එපා වෙන්නේ, සමහර පිරිමි කරන මේ වගේ වැඩ නිසා තමයි!

අපි කලිනුත් කතා කරපු කාරණයක් තමයි, පිරිමින්ට ගැහැණු එපාම වෙන්න සමහර ගෑණු කරන වැඩ ප්‍රමාණවත් කියලා. හැබැයි ඒ විතරක් නෙවෙයි, ගැහැණුන්ට පිරිමි සංහතියම එපා වෙන්න සමහර පිරිමි කරන වැරදි වැඩත් තියෙනවා. ඇත්තටම ඉස්සරවෙලා කතා කරපු ගෑණු කරන වැඩ වලිනුත්, ඒ වගේම දැන් අපි කතා කරන්න යන සමහර පිරිමි කරන වැඩ වලිනුත් වෙන්නේ, ගැහැණු සහ පිරිමි අතර තියෙන භේදය, වෙනස තවත් වැඩි වෙන එක විතරයි. ආන්න ඒ නිසා, අපි එහෙම ගැහැණු හෝ පිරිමි වීම ඔස්සේ කෙනෙක්ට වෙනස් සැලකීම් ලැබෙන්න නැති, ගැහැණු පිරිමි භේදයකින් තොරව හැම දෙනෙක්ටම සම සැලකුම්, සම තැන් ලැබෙන ලෝකයක් වෙනුවෙන්, මේ කරන නරක දේවල් නවත්තගන්න ඕන. අන්න එතකොට, මේක දැන් තියෙනවට වඩා ලස්සන ලෝකයක් වෙයි.

අඩු ගාණේ මේ ගෑණියෙක්ට පිරිමි එපා වෙන විදියට පිරිමි කරන සමහර දේවල් ගැන අවබෝධයෙන් හිටියොත්, එහෙම දේවල් අපේ අතින් වුණත් සිද්ධ වෙන එක නවත්තගන්න පුළුවන් වේවිනේ.

1. පාච්චල් කිරීම

සමහර පිරිමි ඉන්නවා, සෑහෙන්න ගෑණුන්ව පාච්චල් කරන. ඒ කියන්නේ, වෙන විදියකට ගත්තොත්, තමන් පිරිමි වීම නිසා ගැහැණුන්ට වඩා උසස් කියලා පෙන්නන්න උත්සාහ කරන. ඕකට ගැහැණු සහ පිරිමි ගැන සමාජයේ තියෙන සමහර ස්ටීරියෝටයිප් කිරීම් එහෙමත් උදව් වෙනවා. ගෑණුන්ට වාහන එලවන්න බෑ, ගෑණුන්ගෙ මොළේ හැඳිමිටේ, ගෑණියෙක් නං කච කචේ විතරයි, ගෑණුන්ගේ පොත්තේ රත විතරයි මොළයක් නෑ වගේ විවිධාකාරයේ ස්ටීරියෝටයිප් කිරීම් එක්ක මේ විදියේ පිරිමි ගැහැණුන්ව පාච්චල් කරනවා. කවුරුහරි ගැහැණියකට ඔය වගේ පාව්චල් වීම් දිගින් දිගටම විඳින්න වෙනවා කියන්නෙම, එයාගෙ හිතේ සමස්ත පිරිමි සංහතියම එක්ක වෛරයක් ඇති වෙන්න පුළුවන් දෙයක්.

2. මානසිකව වැට්ටවීම

අපි ඕනම කෙනෙක් මානසිකව වැටෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි ලඟින් ඉන්න කෙනෙක්ගෙන් අපිට ඕන කරන්නේ මානසික සහනයක්, සහායක්, නැවත නැගිටින්න, තමන් වටිනවා කියන එක තමන්ටම තේරෙන්න උදව්වක්. හැබැයි ඇත්තටම අපි ලඟින් ඉන්න කෙනා හින්දා නම් අපි නිතරම මානසිකව වැටෙන්නේ? ඕක ඇත්තටම ගැහැණු සහ පිරිමි කියන දෙකොටසටම වෙනවා. විශේෂයෙන්ම තමන් බොහොම විසකුරු සම්බන්ධතාවයක- ටොක්සික් රිලේෂන්ශිප් එකක ඉන්නකොට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම හැමෝම මෙහෙම නෑ. හැබැයි කණගාටුවට කාරණාව වෙන්නේ, මේ වගේ නරක අත්දැකීමකට මුහුණ දීපු ගැහැණියක්, ඊට පස්සේ ආයෙමත් පිරිමියෙක්ව විශ්වාස නොකරන්න ඉඩ වැඩි එක තමයි.

3. බඩුවක් වෙන්න ඇති

“පේනවද කොන්ඩේ ටින්ට් කරල තියෙන විදිය?”, “ටැටූ එකකුත් ගහල නේද?”, “ෂුවර් එකටම බඩුවක් තමයි!” මෙන්න මේක අපිට කලාතුරකින් ඇහෙන කතාවක් නෙවෙයි නේද? අවාසනාවකට, අපිට මේක නිතරම ඇහෙන දෙයක්. මෙතනදී බඩුවක් කියලා මිනිස්සු කියන්නේ ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙච්ච, අතින් අත යන ලිංගික භාණ්ඩයක් කියන එක. එතකොට කාන්තාවක් එහෙමයි කියලා මිනිස්සු හංවඩු ගහන්නේ මොකක් නිසාද? පිරිමි යාළුවෝ ඉන්න නිසා වෙන්න පුළුවන්, ඩ්‍රින්ක් එකක් ගන්න එක අවුලක් නැති නිසා වෙන්න පුළුවන්, කොටට අඳින්න අවුලක් නැති නිසා වෙන්න පුළුවන්, ටැටූ එකක් ගහල ඉන්න නිසා වෙන්න පුළුවන්. කොටින්ම තමන්ව ගණන් ගන්නෙ නැති ගෑණියෙක්ව වුනත් ඔහොම බඩුව කියලා හඳුන්වන්න සමහර පිරිමි පැකිළෙන්නෙ නෑ. ඇත්තටම නිර්භීත ගෑණු ළමයෙක් ඔහොම කතන්දර ගණන් ගන්නෙ නෑ. හැබැයි ඒකෙන් පිරිමි ගැන හිතේ ඇතිවෙන අමිහිරි අදහස නැතිවෙන්නෙත් නෑ!

4. පෙනුම ගැන කමෙන්ට්ස්

දැන් ලංකාව වගේ ආසියාතික රටවල පොදුවේ ගැහැණු පිරිමි හැමෝම අතර තියෙන නරක පුරුද්දක් තමයි, කෙනෙක්ගේ පෙනුම ගැන කමෙන්ට් කරන එක. “අනේ ඔයා මහත් වෙලා”, “මොකෝ කෙට්ටු වෙලා, අසනීපයක් වත්ද?”, “ඔයා කළු වෙලානේ, මොනවහරි ගෑවොත් නරකද?” වගේ විවිධාකාර කමෙන්ට්‍ස් අපිට අහන්න ලැබෙනවා. ඔය අතරේ සමහර පිරිමි කරන දෙයක් තමයි කාන්තාවන්ගේ පෙනුම ගැන කමෙන්ට් කරන එක. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අවයව ගැන කරන කමෙන්ට්ස් අපිට අහන්න ලැබෙනවා. “මරු රැක් එක”, “නංගි කිරිමණ්ඩලේද වැඩ?”, “ඩිකියේ බූරු ගහන්න පුළුවන්”, “නංගි තුනී ලෑලි සංස්ථාවෙද වැඩ?” වගේ ලිංගික හැඟවුම්කරණ කමෙන්ට්ස් වගේම අපහාසාත්මක කමෙන්ට්ස් එහෙමත් අපිට අහන්න ලැබෙනවා. ඇත්තටම සමහරු ඒක නිකම්ම ජෝක් එකක් කියලා හිතාගෙන කිව්වත්, ඇත්තටම මෙව්වා විහිළු නෙවෙයි. මේවා ශිෂ්ට සම්පන්න සමාජෙක අහන්න ලැබිය යුතු නැති කතන්දර!

5. පිරිමි හින්දා සලකන්ඩෝනේ, ඔව්

ඔය සමහර පිරිමි ඉන්නවා, තමන්ගේ පිරිමි කම නිසා තමන්ට විශේෂ සැලකුම් ලැබෙන්න ඕන කියලා හිතන. ඒ කියන්නේ, තමන් පිරිමියෙක් නිසා ගැහැණු කෙනෙක් තමන්ට මුල් තැන දෙන්න ඕන, ජොබ් එකකදී වුණත් තමන් පිරිමියෙක් නිසා තමන්ට මුල් තැන ලැබෙන්න ඕන, විශේෂ වරප්‍රසාද ලැබෙන්න ඕන කියලා හිතන. ඔය ගෑණු ළමයි රෑ පානේ කොහේවත් යන්න හොඳ නෑ, තමන් පිරිමියෙක් නිසා තමන් එහෙම ගියාට කමක් නෑ කියලා හිතන අයත් ඔන්න ඔය කාණ්ඩෙට තමයි වැටෙන්නේ. ඇත්තටම නම් අපි අවබෝධ කරගන්න සහ නිවැරදි කරන්න වුවමනා වෙන්නේ රෑ පානේ පිරිමි කෙනෙක්ට හෝ ගැහැණු කෙනෙක්ට කියන ඕනම කෙනෙක්ට බයක් නැතුව එළියට යන්න පුළුවන් සමාජයක්නේ. හරි, ආයෙමත් කතාවට ආවොත්, මෙහෙම සමහර පිරිමි තමන් පිරිමි වීම විශේෂ සැලකීම් ලබන්න හේතුවක් කරගන්න එකෙන්, කාන්තාවෝ ගොඩක් වෙලාවට කොන් වෙනවා. එතකොට ඒ කාන්තාවන්ගෙ හිතේ පිරිමි ගැන ඇතිවෙන්නේ නරක හැඟීමක්!

6. අනවශ්‍ය බලපෑම්

දැන් ඔය අනවශ්‍ය බලපෑම් කියන එක හරියට විස්තර කළොත්, ලිංගික බලපෑම්, ලිංගික හිරිහැර, ලිංගික කරදර විදියට තමයි අපිට මූලිකවම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. වෙන විදියකට කිව්වොත්, ගැහැණියකට බස් එකකදී කෝච්චියකදී ජැක් කාරයෙක් ඇවිත් හේත්තු කරන එකේ, එහෙන් මෙහෙන් අතපත ගාන්න උත්සාහ කරන එකේ ඉඳන්, ඔෆිස් එකේ මනුස්සයෙක් ඩබල් මීනින් කතාවක් කියලා හිනාවෙන එක දක්වා, තමන් එක්ක ලිංගික හැසිරීමකට අකමැති ගැහැණියකට දිගින් දිගටම බලෙන් ලිංගික ආරාධනා කිරීමේ ඉඳන්, තමන්ගේ සිවිල් බලය උපයෝගී කරගෙන ගැහැණියකගේ කැමැත්තක් නැතුව ඇඳට ගෙනියන්න උත්සාහ කරන බොස් කෙනෙක් දක්වා මේ අනවශ්‍ය බලපෑම් කියන එක විහිදෙනවා. ආන්න ඒවා නිසා ගොඩක් වෙලාවට ගැහැණුන්ට පිරිමි සංහතියම එපා වෙන අවස්ථාවනුත් තියෙනවා.

7. කුස්සිය මුල්ලට

අපි දැන් ඉන්නේ 21 වෙනි සියවසේ. මේ යන්නේ 2022 අවුරුද්ද. හැබැයි එහෙම වුණත්, තාමත් ඉන්නවා අර හණමිටි අදහස් කරපින්නගෙන ඉන්න අය. උදාහරණයක් විදියට ගත්තොත්, තාමත් සමහර මිනිස්සු හිතනවා ගෑණු ළමයෙක් වුණහම කුස්සියේ වැඩ, ගෙදර වැඩ කරගෙන ඉන්න ඕන, එතකොට රස්සා එහෙම කරන්න හොඳ නෑ, ළමයි බලාගෙන ඉන්න වැඩේ තමයි කරන්න ඕන, බැරිවෙලාවත් කකුලක් පේන ඇඳුමක් අඳින්න හොඳ නෑ, ගෙදරින් කෙනෙක්ව හොයලා දෙනකල් ලව් කරන්න හොඳ නෑ, පිරිමි යාළුවෝ ඉන්න හොඳ නෑ, කතා බහ කරන්න හොඳ නෑ, පිරිමි කරන වැඩ කරන්න හොඳ නෑ වගේ දේවල්. ඇත්තටම මේ වගේ දේවල් වලට හිනාවෙන, මේ වගේ අදහස් වලට එරෙහිව කැරලි ගහන ගෑණු ළමයි ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි, මේ වගේ අදහස් නිසා සම්පූර්ණයෙන්ම මර්දනය වෙලා, ඇත්තටම කුස්සිය මුල්ලට තල්ලු වෙන ගෑණු ළමයිනුත් ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ පවුලේ වැඩිමල් සහෝදරයෝ, තාත්තා එහෙම මේ විදියේ අදහස් දරණකොට, ගෑණු ළමයෙක්ට හැම පිරිමියෙක්ම එහෙමයි කියලා හිතෙන්න පුළුවන්. 

දැන් කලින් ආටිකල් එකේ කියපු දේම අපිට මෙතනදිත් කියන්න වෙනවා. ඒ තමයි, ඇත්තටම හැම පිරිමියෙක්ම මෙහෙම නැහැයි කියන එක. ඒ කියන්නේ, ගොඩක් පිරිමි ඉන්නවා කාන්තාවන්ට ගෞරවයෙන් සලකන, කාන්තාවන්ට කියලා අඩු සැලකුම් නොකරන සහ සම තත්ත්වයෙන් සලකන. හැබැයි එහෙම නැතුව, උඩ කියපු විදියේ අන්තිම පජාත විදියට ගැහැණුන්ට සලකන පිරිමිත් ඉන්නවා. හැබැයි අන්න එහෙම පිරිමි නිසා තමයි, ගොඩක් වෙලාවට ඒ විදියේ නරක සැලකුම් ලබපු ගැහැණියක් සමස්ත පිරිමි සංහතියම ගැන නරකට හිතන්නේ. අන්න ඒ නිසා, අපි හිතට ගමු, කවදාවත් ගැහැණියකට තියා ගැහැණු පිරිමි කිසිම කෙනෙක්ට ඔය විදියට නරකට නොසලකන්න. හැම දෙනෙක්ටම ගෞරවයෙන් සලකන්න. ඔච්චරයි ඕන කරන්නේ!

One response to “ගෑණුන්ට පිරිමි එපා වෙන්නේ, සමහර පිරිමි කරන මේ වගේ වැඩ නිසා තමයි!”

  1. Ruwan_N says:

    කවදාවත් ගැහැණියකට තියා ගැහැණු පිරිමි කිසිම කෙනෙක්ට ඔය විදියට නරකට නොසලකන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *