පැරීසිය කියන්නේ බොහෝ දෙනෙක් සලකන විදිහට ලෝක සංස්කෘතියේ අගනුවර. ඇතැම් අය මේ මතයට විරෝධයක් දැක්වුවත් සංස්කෘතික සහ කලාත්මක පක්ෂයෙන් ගත්තොත් පැරීසිය කියන්නේ අද්විතීය නගරයක් කියන එකට ඒ හැම දෙනාම එකඟ වෙනවා. මේ නිසාම ලෝකයේ සංචාරකයන් බොහෝ දෙනෙක්ගේ හීනයක් වෙන්නේ පැරිස් නගරය දැකබලා ගැනීම. අපි අද ඔබට කියන්න යන්නේ යම් දිනක ඔබ පැරීසියට යනවා නම් පැරිස් නගරය තුළ දැක බලා ගත යුතු ස්ථාන හතක් පිළිබඳව. ඇතැම් විට ඔබ දැනටමත් පැරීසියේ සංචාරය කොට ඇති අයෙක් නම් මෙම ස්ථාන දැකබලා ගෙන තියෙන්නෙ පුළුවන්. එහෙමනම් ඒ ස්ථාන පිළිබඳව ඔබේ අත්දැකීමක් සටහන් කරන්නත් අමතක කරන්න එපා.
1. නොත්‍රදාම් දේවස්ථානය (Notre-Dame de Paris)
ප්‍රංශ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයක් වන මෙම දේවස්ථානය ලොව පුරා රෝමානු කතෝලික බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වන පූජනීය සිද්ධස්ථානයක්. මේ සිද්ධස්ථානය නිර්මාණය කිරීම සඳහා ශතවර්ෂ දෙකක පමණ කාලයක් ගත වූ බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් වෙනවා. මීට වසර කීපයකට පෙර මෙම සිද්ධස්ථානය ගින්නෙන් දැවී යෑම ලොව පුරා කලාකාමීන්ගේ දැඩි කම්පනයට හේතු වුණා. කෙසේ නමුත් මේ වන විට මෙම සිද්ධස්ථානය යළි ප්‍රකෘතිමත් කොට තිබෙනවා.
2. ජයග්‍රහණයේ ආරුක්කුව (Arc de Triomphe)
නැපෝලියන් බොනපාට්ගේ නියෝගය පරිදි ඉදිකර තිබෙන මෙම ආරුක්කුවේ ඇති විශේෂත්වය වන්නේ පැරණි රෝමානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව මෙය නිර්මාණය කොට තිබීමයි. තම හමුදාවල විශිෂ්ටත්වය ස්මරණය කිරීම සඳහා ඔහු විසින් මෙම ආරුක්කුව නිර්මාණය කිරීමට තීරණය කළා. දහනව වන සියවස වනවිට මෙය ලෝකයේ විශාලතම ආරුක්කුව ලෙස සැලකුණා.
3. සේන් නදිය
පැරීසිය ගැන කතා කරද්දි සේන් නදිය ගැනත් අමතක කරන්න බැහැ. යම් දවසක ඔබ පැරීසියට ගියොත් ඒ සුන්දරත්වය රස විඳින්න අමතක කරන්න එපා. බොහෝ සංචාරකයන් සේන් නදිය හරහා බෝට්ටු සවාරියක් යෑම අතිශයින් ප්‍රිය කරනවා. විශේෂයෙන්ම පැරිසියේ සුන්දරත්වය නැරැඹීමට ඇති හොඳම ක්‍රමයක් විදිහට සේන් නදිය හරහා යාත්‍රා කිරීම සැලකෙනවා.
4. මොන්ට්මාර්ට්‍රේ (Montmartre)
ශුද්ධවූ හෘදය බැසිලිකාව පිහිටා තිබෙන මෙම කුඩා කඳු වැටිය වඩාත් සංචාරකයන් අතර ජනප්‍රිය වීමට පටන් ගත්තේ එම පූජා ස්ථානය පිහිටුවීමෙන් පසුවයි. ප්‍රංශ – ප්රසියානු යුද්ධයේදී මියගිය සෙබළුන් සහ සිවිල් වැසියන් අනුස්මරණය කිරීම සඳහා මෙම සිද්ධස්ථානය නිර්මාණය කොට තිබෙනවා. මීට අමතරව එම බැසිලිකාව අසල ඇති චතුරස්‍රයෙහි බොහෝ කලාකරුවන් සිය වැඩබිම් සහ ප්‍රදර්ශන පවත්වාගෙන යනවා.
5. ලැටින් ක්වාටර්
අතීතයේදී යූරෝපයේ බොහෝ රටවල අධ්‍යාපනයේ භාෂාව වූයේ ලතින් භාෂාවයි මේ නිසාම අතීතයේ පටන් ප්‍රංශ අධ්‍යාපන ආයතන කේන්ද්‍රගත වූ පැරීසියේ මෙම ප්‍රදේශය ලැටින් ක්වාටර් යන නමින් හැඳින්වීමට පටන් ගත්තා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ලක්සම්බර්ග් මාළිගය සහ එම උද්‍යානය පිහිටා තිබෙනවා. බොහෝ සංචාරකයන් මෙම උද්‍යානයේ ඇවිද යමින් එහි අලංකාරත්වය සහ ඒ වටා ස්ථානගත කර තිබෙන විවිධ ප්‍රතිමා නැරඹීමට ප්‍රිය කරනවා.
6. ලූවර් මාළිගය (Louvre)
සුප්‍රකට මොනාලිසා චිත්‍රය ඇතුළු ලෝක ප්‍රකට කලා නිර්මාණ රාශියකට සෙවණ දෙන මෙම අති දැවැන්ත මාළිගය තවත් ප්‍රංශ සලකුණක්. අතීතයේදී රජ මාළිගාවක්ව පැවති මෙය ප්‍රංශ විප්ලව සමයෙන් පසුව කෙමෙන් කෙමෙන් කෞතුකාගාරයක් බවට පරිවර්තනය වුණා. වර්තමානයේ දී ඇතැම් සංචාරකයන් පැරීසියට පැමිණෙන්නේම මෙම මාළිගය සහ ඒ තුළ තිබෙන කලා නිර්මාණ දැක බලා ගැනීමටයි.
7. අයිෆල් කුළුණ
පැරිසියේ සංකේතය විදිහට මේ අයිෆල් කුළුණ හඳුන්වන්න පුළුවන්. මීටර 324 ක උසින් යුතු මෙම කුළුණ නැරඹීමට වර්ෂයකට සංචාරකයන් මිලියන හතක් පමණ පැමිණෙන බවට ගණන් බලා තිබෙනවා.මෙය නිර්මාණය කොට තිබෙන්නේ ප්‍රංශ විප්ලවයට වසර සීයක් සම්පූර්ණ වීම සඳහාය. ඇතැම් සංචාරකයන් විශ්වාස කරන පරිදි අයිෆල් කුළුණට නැග පැරීසියේ සුන්දරත්වය නැරඹීමෙන් තොරව පැරිස් සංචාරය සම්පූර්ණ වන්නේ නැහැ.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලිපිය ආරම්භයේ දී මතක් කළා වගේම ඔබ පැරීසියට දැනටමත් ගොස් ඇති නම්, මේ ස්ථානවල ඔබ ලැබූ අත්දැකීම් පිළිබඳව විස්තර සටහන් කරන්න කියලාත් අපි කාරුණිකව ඉල්ලනවා .
Leave a Reply