ගෝලීයකරණයයි, තාක්ෂණ යුගයයි වගේ මහා ලොකු මාතෘකා කතා කරන මේ 21 වෙනි ශතවර්ෂයේ ඔන්න අපි කතා කරන්න යන්නේ සමහරුන්ට නයාට අඳු කොළ වගේ අරහං හැබැයි වැදගත් මාතෘකාවක් ගැනයි. ඉස්සර වගේ නැහැනේ. දැන් ඕනෑම ගෙදරක අම්ම,තාත්ත දෙන්නම රැකියාවල් කරනවා. ගැහැණු පිරිමි බේදයක් නැතුව පොඩි දරුවාගේ පටන් හැමෝම සමාජයත් එක්ක උරෙන් උර ගැටෙනවා. ඉතින් එහෙව් සමාජයක ගැහැණු ස්වාධීන වීම කොයි වගේ කාරණයක්ද කියන එක ගැනයි ඔන්න මේ කතාව.
1. මොකක්ද මේ ස්වාධීනයි කියන්නේ?
ස්වාධීනකම කියල ඉතින් සරලවම කියන්නේ තව කෙනෙක් මත යැපෙන්නේ නැහැ කියන එක. “ස්ව” කියන්නේ තමන්. “ධීන” කියන්නේ යටත් වීම. ඉතින් පරාධීන ඒ කිව්වේ වෙනත් කෙනෙකුට යටත් නොවී ස්ව චරිතයට පමණක් යටත් වීම කියන එක තමයි වචනේ බරසාර තේරුම. හැබැයි මේ කියන්නේ තව කෙනෙක්ගෙ මුදල් වලින් ජිවත් වීම, වෙන කෙනෙකුගේ ගෙදරක ඉන්න එක වගේ පටු කරණා ගැන නෙමෙයි. ආර්ථික, සමාජීය බොහොමයක් කාරණා වලදී තවත් කෙනෙකුගේ මත යැපෙන්නේ නැතුව තමන් තනියම ජීවත් වෙන එකටයි.
2. ස්වාධීන ගැහැණු
ඔන්න අපි කතා කරමුකෝ කාන්තාවක් ස්වාධීන වීම ගැන. අපි 2500 වසරක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන කතා කරද්දී ඈත අතීතයේ ඉඳන්ම ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පැවරුණු විශේෂ කර්තව්‍යන් තියෙනවනේ ජීවිතේ. ඉතින් අනාදිමත් කලෙක ඉඳන් අපේ පවුල් පන්සල් වල තාත්තා මුදල් හරි හම්බ කිරීමත්, අම්මා දරු මල්ලන් බලා කියාගෙන ගෙදර දොර වැඩ කටයුතු කිරීමත් තමයි පුරුද්ද උනේ. හැබැයි අද කාලෙ සම්පුර්ණයෙන්ම වෙනස්. මේ තරඟකාරී ආර්ථිකයත් එක්ක අම්ම, තාත්ත දෙන්නම රැකියාවක් කරලා මුදල් හම්බ නොකළොත් ගැටළුවක් වෙන තත්ත්වයක් තමයි හුඟක් පවුල් වල තියෙන්නේ. ඉතින් අන්න එතැනදී ගෙදර හිටපු කාන්තාවටත් සමාජෙට ගිහින් පිරිමි එක්ක කරට කර ගැටිලා ජිවත් වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඔතනදි තමයි ගැහැණියක් ස්වාධීනවීම, ඒ ස්වාධීන වීමේ වැදගත්කම වගේ මාතෘකා ගැන අපිට කතා කරන්න වෙන්නේ.
3. ආර්ථික ස්වාධීන ගැහැණු
ඔන්න දැන් අපි කිව්වනේ ගෙවල් වල හිටපු අම්මලට දැන් රැකියාවන් කරන්න එලියට බහින්න වෙනවා කියල. අන්න ඒ කාරණාව තමයි මේ ආර්ථික ස්වාධීන බව කියන එක ඇතුලේ අපිට කතා කරන්න වෙන්නේ. හැබැයි අම්මලා විතරක් නෙමෙයි. බොහොමයක් ගැහැණු දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පස්සේ අද වෙද්දී යොමු වෙන්නේ රැකියා ඉලක්ක කරගත්ත අධ්‍යාපනයකට හෝ වෘත්තීය පුහුණුවකට. ඉතින් ඔය විදිහට රැකියාවක් කරලා තමන්ගේ වියහියදම් හෝ තමන්ගේ සහ පවුලේ අනික් අයගේ වියහියදම් කියන දේවල් සපුරන්න ප්‍රමාණවත් මුදලක් ඉපයීම තමයි ආර්ථික ස්වාධීනබව කියන්නේ. ඒ කියන්නේ ඉස්සර වගේ සම්පූර්ණයෙන්ම තාත්තා හෝ සැමියා හම්බ කරන මුදල් මතම නොයැපී තමනුත් පවුල වෙනුවෙන්, තමන් වෙනුවෙන් මුදල් ඉපයීම. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ පාරට බැහැලා, ලස්සනට ඇඳගෙන ගිහින් රැකියාවක් කරන කාන්තාවන් විතරක්ම නෙමෙයි හොඳේ. ගෙදර ඉඳන් මැහුම් ගෙතුම්, මල් වැවීම් වගේ ස්වයං රැකියාවක් කරලා උපයන අයත් මේ ගණයටම තමයි අයිති වෙන්නේ.
4. සමස්ථ ස්වාධීන බව
මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. පුද්ගලයෙක්, විශේෂයෙන් අපි මේ කතා කරන කාන්තාවක් ස්වාධීන වෙනවා කියන්නේ ආර්ථික අතින් ස්වාධීන වීම විතරක් නෙමෙයි. මේක හුඟ දෙනෙක් පටලවා ගන්න කාරණාවක්. රැකියාවකට ගිහින් මුදල් උපයන කාන්තාවක් ස්වාධීන ගැහැණියක් විදිහට හඳුන්වන්නත් එහෙම නොවී නිවසේ රැඳෙන, මුදල් උපයන්නේ නැති කාන්තාවක් ස්වාධීන නොවන කාන්තාවක් විදිහට හඳුන්වන්නත් අද හුඟක් දෙනෙක් යොමු වෙනවා. හැබැයි ඒක කොච්චර වැරදිද කියල තේරෙයි සමාජයේ ජීවත් වෙන රැකියා කරන සහ නොකරන කාන්තාවෝ දහ දෙනෙක් එක්ක ටිකක් කතා කරලා බැලුවනම්. කොයි තරම් මුදල් ඉපැයුවත් තීරණයක් ගන්න වෙලාවක තව කෙනෙකුගේ උදව් පතන, එහෙම නැත්තම් Emotionally තව කෙනෙක් මත හැම වෙලාවෙම යැපෙන්න බලාගෙන ඉන්න ගැහැණු පිරිමි ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. සමස්ථ ස්වාධීන බව කියන්නේ ඔය කියන හැම අංශයකින්ම තමා මත පමණක් යැපෙන, වටපිටාවේ අයගේ තීරණ වලින් ලොකු බලපෑම් ඇති කර නොගන්න චරිතෙකටයි.
5. ස්වාධීන වෙන්නේ කොහොමද?
මේකනම් ටිකක් විවාදාත්මක මාතෘකාවක්. එක එක්කෙනා මේ කාරණාව එක එක විදිහට දකින්න පුළුවන්. අපි කිව්වනේ මුදල් හම්බ කිරීමම නෙමෙයි ස්වාධීනබව කියන්නේ කියල. ඉතින් ස්වාධීන වෙනවා කියලා පොදුවේ අදහස් කරන්නේ තමන්ට තනියම ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තමන්ගේ ඇතුළෙන්ම හදාගන්න එකට. මුදල් හම්බ කිරීමත් ඇතුලත්ව. නෑ නෑ… බය වෙන්න එපා… තනියම ඉන්නවා කිව්වේ ජීවිත කාලෙම තනිකඩව ඉන්න එකට නෙමෙයි. දාහක් මිනිස්සු වට කරගෙන හිටියත් තමන්ගේ මුල් තැන තමන්ට දෙන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගැන ගන්න ඕන සමහර තීරණ තමන්ටම තනියම ගන්න පුළුවන්නම්, වටපිටාවේ සිද්ධ වෙන දේවල් මත හිත රිද්දගන්නේ නැත්තම්, තව කෙනෙකුගේ ආදරයක් රැකබලා ගැනීමක් නැතුව ජීවත් වෙන්න බැහැ වගේ මානසිකත්වයක් ඔලුවේ නැත්තම් ඔන්න ඔයා ස්වාධීන ලක්ෂණ පෙන්නුම් කරනවා.
6. ස්වාධීන වීම නරකද?
සමහරුනම් මේ ස්වාධීන වීම, විශේෂයෙන් කාන්තාවක් ස්වාධීන වීම කියන එක දිහා බලන්නේ වපර ඇහැකින්. කොටින්ම වචනේ ඇහුනත් ඇති ගැරඬියාට භූමිතෙල් වැදුනා වගේ කලබල වෙන්න. හැබැයි ඔය කියන තරම්ම කුණුහරපයක් නෙමෙයි මේ ස්වාධීන ගැහැණියක් කියන වචනය. තමන්ගේ වැඩපල තව කෙනෙක් කරල දෙනකන් බලන් නොයිද තනියම කරගන්න පුළුවන්, ආර්ථික සමාජීය අතින් ශක්තිමත් වීම කියන්නේ ගැහැණියක් නරකයි කියල ලේබල් කරන්න පුළුවන් නිර්ණායකයක් නම් නෙමෙයි කීයටවත්.
7. ගැහැණියක් ස්වාධීන විය යුත්තේ ඇයි?
කවුරු කොහොම කිව්වත්, මොනදේ වෙනස් උනත් දරු මල්ලන් හදනවා කියන කාරණාවෙදි තාමත් වැඩි බරක් දරන්නේ කාන්තාව. ඉතින් ස්වාධීන කාන්තාවක් ළඟ හැදෙන දරුවෝ ගැනනම් සමාජයට බයක් වෙන්න දෙයක් නැහැ. අනිත් එක දරු මල්ලෝ උස් මහත් කරන්න, පවුලේ දියුණුවට කරන වැඩ කන්දරාවට සමාජය එක්ක ගැටෙන්න ගියාමත් නැළවෙන්නේ නැතුව කෙලින් ඉන්න පුළුවන් චරිතයක් වීම හරිම වැදගත්.
නිකමට හිතන්නකෝ පවුලක බර මුළුමනින්ම අම්මගේ පිට පැටවෙන අවස්ථාවක් ගැන. අපිට සමාජයේ ඕන තරම් දකින්න පුළුවන්නේ එහෙම අවස්ථාවල්. එක්කෝ පියා මියගිහින්, එක්කෝ දික්කසාද වීමක් නිසා දරු මල්ලොන්ගේ ඔක්කොම වගකීම් අම්මගේ පිට පැටවුනොත්. අන්න එහෙම වෙලාවක මේ හයිය හරිම වටිනවා ගැහැණු කෙනෙක්ට.
ඒ වගේමයි ආර්ථික ස්වාධීනභාවයත්. පවුලකට තාත්ත නැති උනත් හිටියත් අද කාලේ පවතින තරඟයට මුහුණ දෙන්නනම් එක්කෙනෙක්ගේ වැටුපක් හොඳටෝම මදි. ඉතින් කාන්තාවත් ආර්ථික අතින් ශක්තිමත් වීම කොයි තරම් නම් වටිනවද?
Leave a Reply