ඉරානයේ රාජකීය ආභරණ ගැන තොරතුරු

 

අද වෙනකොට ඉරානයේ රාජ්‍ය නායකයා වෙලා තියෙන්නෙ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි වුණාට, ඒ රට වසර 2500 කටත් වඩා වැඩි කාලයක් රජ කෙනෙක් යටතේ පාලනය වුණු රටක්. නමුත් ඉරාන විප්ලවයත් එක්ක තත්ත්වය වෙනස් වුණා. අපි අද කතා කරන්න යන්නේ ඉරානයේ රාජකීය ඉතිහාසයේ ශ්‍රී විභූතිය පෙන්වන රාජකීය ආභරණ කීපයක් පිළිබඳව. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරපු විද්වතුන්ගේ මතය වෙන්නේ ලෝකයේ විශිෂ්ටතම රාජකීය ආභරණ එකතුවේ හිමිකරුවෝ වුණේ ඉරාන රජ පවුල කියලායි.

 

1. නදීර් ෂාගේ පලිහ (Nader Shah’s Shield)

ඉන්දියාවේ පැවැති මුගල් අධිරාජ්‍යය බිඳ වැටෙන්න එක් ප්‍රධාන හේතුවක් වුණේ ඉරානයේ නදීර් ෂා විසින් සිදුකරන ලද දිල්ලි ආක්‍රමණය .එහිදී සිදුවුණු සටන් සඳහා රැගෙන ගිය පළිහක් පසුකලෙක රත්තරන් සහ මැණික්වලින් අලංකාර කොට තිබෙනවා. රයිනෝසිරස් අඟකින් නිර්මාණය කොට ඇතැයි විශ්වාස කෙරෙන මෙම පලිහ සඳහා මරකත මැණික් වැඩිවශයෙන් භාවිතා කොට තිබෙනවා 

 

2. හිස්වැසුම් පළඳනාව (Hat Decoration)

ඉරාන රාජකීය පවුලේ සාමාජිකාවන් යුරෝපා රජ පවුල්වල  කාන්තාවන් අනුකරණය කරමින් වර්ණවත් කාන්තා හිස් වැසුම් පැළඳීමට පටන් ගත්තා. නමුත් එහිදී ඔවුන් තමන්ගේ ධනවත් කම පෙන්වීමට විවිධ උපක්‍රම අනුගමනය කරනු ලැබුවා. එහිදී ඔවුන් සිදු කරනු ලැබුවේ තොප්පිය ආවරණය වන පරිදි පළඳනා පැළඳීමට පටන් ගැනීමයි. ඉරාන රැජිනියන් විසින් භාවිතා කරන ලද මේ හිස් වැසුම් පළඳනාව වැඩි වශයෙන් අලංකාර වුණේ මරකත මැණික් වලින්.

 

3. ෆාරා රැජනගේ ටියාරාව (Farah’s Tiara)

1958 දී මොහොමඩ් රේසා පාලවී රජු සහ ෆාරා රැජනගේ විවාහ උත්සවය සඳහා, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර හැරී වින්ස්ටන් නම් ආභරණ කරු විසින් මෙම ටියාරාව නිර්මාණය කරනු ලැබුවා. ආරම්භයේ පටන් ෆාරා රැජනගේ ප්‍රියතම ටියාරාවක් බවට පත්වූ මෙය විවිධ රාජ්‍යතාන්ත්‍රික උත්සව අවස්ථාවල දී ඇය විසින් පළඳිනු ලැබුවා. හදවතක හැඩය ගන්නා දියමන්ති වලින් අලංකාර වුණු ප්ලැටිනම් ආධාරකයක් මත තිබෙන කහ, රෝස සහ දියමන්ති වලින් මෙම ටියාරාව අලංකෘතයි. එසේම මේ සඳහා මරකත මැණික් ද භාවිතා කොට තිබෙනවා.

 

4. රාජකීය අසිපත (Royal Sword of Iran)

නසරුදීන් ෂා අධිරාජයා වෙත ඔහුගේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමිනෝ සුල්තාන් විසින් මෙම රාජකීය අසිපත ත්‍යාගයක් ලෙස පිරිනමා තිබෙනවා. විවිධ වර්ගයේ මැණික් සහ රන්වලින් හැඩගැන්වුන මේ අසිපත නිර්මාණය කොට ඇත්තේ එවකට එරට භාවිතා වුණු චන්ද්‍ර දින දර්ශනයට අනුව 1306 වසරේදී. වර්තමාන දින දර්ශන වලට අනුව එය 1899 වසර ලෙස සැලකෙනවා. පසුව ඉරානයේ සිහසුනට පත්වූ විවිධ පුද්ගලයන් සිය අභිෂේක මංගල්‍යයන් වලදීත් රාජකීය අසිපත ලෙස මෙය භාවිතා කෙරුවා.

 

5. කියානි කිරුළ (Kiani Crown)

පාලාවී රාජවංශයට පෙර ඉරානය පාලනය කළ කජාර් රාජවංශය තම රාජකීය කිරුළ ලෙස භාවිතා කරනු ලැබුවේ මෙම කිරුළයි. පාලාවි රජවරුන් ඔවුන් වෙනුවෙන් වෙනත් කිරුළක් නිර්මාණය කළත්, රාජ්‍යයත්වයේ නොබිඳුණු උරුමය සංකේතවත් කිරීමට ඇතැම් අවස්ථාවල මෙම කිරුළත් භාවිතා කරනු ලැබුවා. මරකත මැණික් වලට අමතරව මෙම කිරුළ සඳහා 2000 කට ආසන්න මුතු ප්‍රමාණයක් භාවිතා කිරීමද විශේෂත්වයක්.

 

6. මුතුමැණික්වලින් අලංකාර වුණු ලෝක ගෝලය (Jewel Studded Globe)

ජනප්‍රවාද වලට අනුව  මෙම නිර්මාණය කිරීම සඳහා උපදෙස් ලබා ලබාදී ඇත්තේ නසරුදීන් ෂා අධිරාජ්‍යයා විසින්. ඡායාරූපවලට පෙනී සිටීමේදී ඉරාන අධිරාජ්‍යවරු සිය අතේ දරා ගැනීමට ප්‍රිය කළ මෙම ලෝක ගෝලය ලීයෙන් සැකසීමෙන් අනතුරුව රත්තරනින් හැඩ ගන්වා තිබෙනවා. ඒ මත විවිධ ගොඩබිම් සහ මුහුදු පෙන්වීමට විවිධ වර්ගයේ මැණික් භාවිතා කොට තිබෙනවා. උදාහරණයක් ලෙස මුහුදු පෙන්වීම සඳහා භාවිතා කොට ඇත්තේ මරකත මැණික්. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ දකුණු ආසියාවේ ඇතැම් කොටස් පෙන්වීම සඳහා දියමන්ති භාවිතා කොට තිබෙනවා.

 

7. පාලාවී කිරුළ (The Palavi Crown)

පාලාවී රාජවංශයේ ආරම්භකයා වූ රේසා පාලාවී රාජ විසින් තම අභිෂේකය සඳහා සකසනු ලැබූ කිරුළ වන්නේ මෙයයි. මෙම කිරුළ නිර්මාණය කිරීම සඳහා ඉරානයේ සිටි සුප්‍රකට ආභරණ නිර්මාණකරුවන් රැසක් සිය දායකත්වය ලබාදී තිබෙනවා. රතු විල්ලුද රන් සහ රිදී මෙම නිර්මාණය සඳහා බහුලව භාවිතා කොට තිබෙනවා. ඊට අමතරව කිරුළට භාවිතා කොට ඇති දියමන්ති අතරින් කැරට් හැටක කහපැහැති දියමන්තිය ප්‍රධාන තැනක් ගන්නවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *