හෝටලයකට ගියාම අපි අපිටම කියලා ස්පේස් එකක් වෙන් කරගන්නවා. ඒක කාමරයක්, අපාට්මන්ට් එකක් හෝ විලා එකක් වන්නට පුළුවන්. ඒත් හෝටලයේදී කෑම කද්දි, පීනද්දි සහ වෙනත් ඇක්ටිවිටි වලට සහභාගී වෙද්දි පොදුවේ අනෙක් සංචාරකයින් එක්ක කටයුතු කරන්නට වෙනවා. ඉන්දියානුවන් ඇතැමෙක්ට හොඳට සල්ලි තියෙනවා. ඒ උනත් සමහර අවස්ථාවල ඉන්දියානුවන්ට හෝටල කාමර දෙන්න ඇතැම් දියුණු රටවල පවා හෝටල අදිමදි කරනවා.
1. බුෆේ එකෙන් කෑම
හෝටල වලට ගියාම බුෆේ එකෙන් බඩ උල් වෙනකල් කෑම කනවා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් නිවීසැනසිල්ලේ වාඩිවෙලා පැයක් හමාරක් බුෆේ එකෙන් කන බොන උදවියත් ඉන්නවා. බොහෝ තැන්වල බුෆේ එකෙන් බඩ පිරෙනකල් බැරිනම් උතුරලා යනකල් කෑවත් කිසිම අවුලක් නැහැ. ඒත් ඉන්දියානුවෝ සමහරක් අය මේ බුෆේ එකෙන් කෑම පැක් කරගෙන යන්න උත්සාහ කරනවා. උදේ දාන බුෆේ එකෙන් දවල්ටත්, දවල් බුෆේ එකෙන් හවසට කන්නත් ලන්ච් ශීට් වලට සහ බඳුන් වලට කෑම අරගෙන යන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ වාගේ තත්ත්වයක් වාර්තා වීමත් එක්ක එක් ස්විස් හෝටලයක් ඉන්දියානුවන්ට බුෆේ එක ගැන විශේෂ දැන්වීමක් දාන්න ක්‍රියාකරලා තිබුනා. ඉන්දියානුවන්ට කළ මේ විශේෂ සැලකීම ගැන ඇතැම් ඉන්දියානුවන් නම් විරෝධය පළකරලා තිබුනා.
2. වෙඩින් වලට එන ඉන්දියානුවෝ
සමහර ඉන්දියානුවෝ වෙඩින් තමුන්ගේ රටේ නැතුව වෙනත් රටකදි ගන්න ආසයි. එතනදි ලංකාවත් ඔවුන්ගේ හොඳ වෙඩින් ගන්න තැනක්. ලොකු හෝල් තියෙන, කාමර පහසුව තියෙන තැන්වල ඉන්දියානුවන් තමුන්ගේ කෑම බීම, රස කැවිලි, සිරිත් විරිත් ඔක්කොම එක්ක වෙඩින් එක ලොකුවට ගන්නවා. මෙහෙම එන ඉන්දියානුවෝ නිසා වෙනත් බටහිර රටවල සංචාරකයින් අපහසුතාවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ එන ඉන්දියානුවෝ හෝටල් වල නැවතුනාම මහ සද්දෙන් ගෙවල්වල වගේ හැසිරෙනවා. ඇරත් ඔවුන්ගේ උත්සව අවස්ථා නිසා හෝටලයේ ලැගුම් ගන්නා වෙනත් සංචාරකයින්ට නිවීහැනහිල්ලේ නිවාඩුව ගත කරන්නට ලැබෙන්නෙත් නැහැ. මුදල් ඇති ධනවත් ඉන්දියානුවන් වෙඩින් වලට ලංකාව තෝරාගත්තත්, ඔවුන්ගෙන් හෝටලය පාවිච්චි කරන අනෙක් සංචාරකයින්ට වෙන හිරිහැරය ලංකාවෙ හෝටල වලටත් ගැටළුවක් වෙලා තියෙනවා.
3. සද්දේ
ඉන්දියන්, චීන සහ ආසියානුවන් සද්දෙන් කතාවට සහ බාධාකාරී සමාජ හැසිරීම් දැක්වීමට බොහොම කැමතියි. දකින දකින කුඩා දේ පවා පොටෝ ගැසීම, ඉන් පස්සේ විවිධ ඇක්ෂන් දමමින් සෙල්ෆි ගැනීම ආදී දේ චීන සහ ඉන්දියානු සංචාරකයෝ අතර සුලභයි. ඒ වගේම එකතු වුනාට පස්සේ තමුන්ගේ බාසාවෙන් කරන කතා බහ, විහිළු තහළු ආදියත් ඉන්දියානු සංචාරකයින් අතර සුලභයි. අනුන්ට කරදරයක් නැතිව කුමක් කරගත්තත් බටහිර සංචාරකයින්ට අවුලක් නැහැ. ඒත් නුවමනා විදිහට සද්දේ දාගෙන, තියෙන නිහඬභාවයම විනාස කරගෙන කරන විකාර වලට නම් බටහිර සංචාරකයෝ එතරම්ම කැමති නැහැ. ඒ වගේම තැනකට ගියාට පස්සේ ඒ තැන සම්පූර්ණයෙන්ම බදුගත්තා වගේ ආක්‍රමණශීලී ගති ලක්ෂණත් ඉන්දියානුවන්ගේ තියෙනවා.
4. බඩු ඉස්සීම
තරු පන්තියේ හෝටල වල වගේම සාමාන්‍ය ඒවගෙත් අපිට පරිහරණය කරන්න ගොඩක් දේවල් කාමර වල තියෙනවා. ඒවායෙන් අයන්, කොණ්ඩ වියලන යන්ත්‍ර, කෝප්ප පිඟන්, වගේ දේවලුත් ඉන්දියානුවෝ තායිලන්තයේදී පවා උස්සලා අහුවෙලා තියෙනවා. ලංකාවටත් ඉන්දියාවෙන් ආපු සංචාරකයෝ හෝටලවලට වෙලා විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චන් කෑවා කියලා කතාන්දර තියෙනවා. ලංකාවේ අපේ ඇතැම් අය අතරත් මේ වගේ හෝටලවලට ගියාම බඩු උස්සන ගතිගුණ තියෙනවා. අපිත් ඉතින් ඉන්දියානු සම්භවයක් තියෙන උදවිය විදිහට අපිටත් ඉන්දියානු ගති ලක්ෂණ උරුම වෙනවා ඇති.
5. අනවශ්‍ය අවධානය
ඉන්දියානුවෝ බොහෝ අය සුහදශීලීයි. ඒ නිසාම අනෙක් අය සමග කතා බහ කරන්න වගේම අනෙක් අයට උපදෙස් දෙන්නත් දොපරක් හිතන්නේ නැහැ. ඉන්දියානුවොත් ටිකක් අපේ වයසක උදවිය වගේ වෙලාවක. කතාකරලා විස්තර අහන්න හෙම පටන් ගත්තාම ඉවරයක් නැහැ. අලගිය මුලගිය තැන් වල වගේම අපි ඉන්න රටේ දේශපාලනය, ක්‍රිකට් ආදිය ගැන කතා කරන්නත් ඉන්දියානුවෝ කැමතියි. අපිට නම් කතාබහ කරලා ඉන්න එක හොඳ මනුස්ස ගතිගුණයක් විදිහට පේනවා. ඒත් ලෝකේ හැම තැනම සංචාරකයෝ එහෙම නැහැ. වෙනත් රටවලින් ඇවිල්ලා ඉන්න සංචාරකයෝ සමහරු පුද්ගලිකත්වය එළියට දෙන්න වැඩිය කැමති නැහැ. ඉතින් ඒ ඉන්දියානුවන්ගේ අනවශ්‍ය අවධානයත් ඉන්දියානුවන් හෝටල වලින් කොන් වෙන්න හේතු වාසනා වෙනවා.
6. අනවශ්‍ය පැමිණිලි
අපි හෝටල කාමරයක් වෙන් කරගත්තාම අපි එයට ගෙවන මුදලට සාපේක්ෂව ලැබෙන පහසුකම් මදි නම් අපි ඒ ගැන හෝටල කළමණාකාරීත්වය එක්ක සාකච්ඡා කරනවා. ඉන් පස්සේ කළමණාකාරීත්වය ඒ ගැන පියවර ගන්නවා හොඳ කස්ටමර් කෙයා එකක් තියෙන හෝටල වල නම්. ඉන්දියානුවෝ ඉතාම පොඩි දේවල් වලට පවා ඉහළටම පැමිණිලි කරන්න දක්ෂයෝ. කොටින්ම ඔවුන් ඉන්දියාවේදී බලන ටීවී චැනල් එක තමුන් ගත්ත විදේශ රටේ කාමරයේ නැතින්ම ඒකටත් ගෝරනාඩු කරනවා. ඒ වගේම විවිධ දේ ගැන ඔවුන්ගේ තියෙන පැමිණිලි ගොඩායි. තමුන්ගේ දේවල් ගැන වාද විවාද කරද්දි කෝප වෙලා නොමනා ලෙස හැසිරෙන්නත් ඉන්දියානුවෝ පෙළඹෙනවා. රටවල සංස්කෘතික දේවල් අනුව සමහර පහසුකම් වෙනස් වෙනවා. උදාහරණ විදිහට ඉන්දියානුවන් ගේ වැසිකිළි ක්‍රමයට නෙමෙයි එංගලන්තයේ වැසිකිළි තියෙන්නේ. ඒ වගේ දේවලට සාමාන්‍යයෙන් සංචාරකයන් හැඩ ගැහෙන්නට ඕනි. ඉන්දියානුවෝ ඒ දේවල් ලොකු ප්‍රශ්න කරගැනීමත් ඉන්දියානුවන්ට හෝටල සෙවීමේදී ගැටළු ඇතිකරනවා.
7. දේශයට උවමනා විදිහට හැඩ නොගැසීම
ජපානය කියන්නේ නිහඬබව අගය කරන රටක්. ජපානයේදී සංචාරකයෝ වුනත් ආචාර විධි ආදිය ගැන සැළකිලිමත් වෙනවා. ඒ ජපාන සංස්කෘතිය ඉගෙනගෙන ඒ අනුව එහේදි ජීවත්වෙන්න බටහිර සංචාරකයෝ හුරුවෙලා ඉන්නවා. ඒ වගේම මුස්ලිම් රටවලට ගියහම ඒ විදිහට ඉන්නට සංචාරකයෝ හුරුවන්නට ඕනි. බටහිර රටකට ගියොත් මිනිස්සු මිනිස්සු අතර පොදු ප්‍රවාහන වලදී වුනත් හොඳ දුරක් පවත්වා ගන්නවා. ඒ වගේ ඒ ඒ රටවල ජනයා ජීවත්වෙන විදිහට හැඩගැසීමට සාමාන්‍ය සංචාරකයෝ කටයුතු කරනවා. එහෙත් ඉන්දියානුවෝ ලෝකෙන්ම පැරණි ශිෂ්ඨාචාරයකට තමුන් අයිතියි කියලා හීනමානෙකින් ඉන්න නිසා දෝ හෝ අලුත් දේශයන්ට අනුව හැඩගැහෙන්න කටයුතු කරන්නේ අඩුවෙන්.
මේ විදිහට නරක නාමයක් ඇතිකරගත්තාම ඒවා නැතිකරගන්න අමාරුයි. සමහර විට කාලයක් යන තෙක් අන්තර්ජාලයේ එවැනි නරක හැසිරීම් ගැන වාර්තා ඉතිරිවෙලා වරින් වර මතු වෙනවා. අපේ අයට වුනත් ඉන්දියානු ගතිගුණ එමට තියෙනවා. ඉතින් හොඳ තැනකට මුදල් දීලා ගියත් ඒ තැනට අනුව වැඩිය කලබල නොකර හැසිරිලා රටේ ගෞරවය ආරක්ෂා කරගන්න එක අපේ යුතුකමක්. අපේ රටේ වුනත් සංචාරකයින් ගැන හෝටල සේවකයින් එහෙම කතා කරන්නේ ඉන්දියන්කාරයෝ දෙන්නා ඉන්න කාමරේ, අමරිකන් බුවාල ආදී වශයෙන්. ඉතින් ලෝකේ විවිධ රටවල සංචාරකයින් ඉන්න තැනකට ගියාම ශ්‍රී ලංකන් ලා ගැනත් එහෙම කතාවෙනවා ඇති. ඒ නිසා අපේ තැන තියාගෙන විනෝද වෙලා එන්නට අපි වගබලාගන්නට ඕනි.
Leave a Reply