ලංකාවේ දක්නට ලැබෙන පැරණිතම පල්ලිය ව​න වෘක උයනේ පල්ලිය

ලංකා​වේ තියෙන ඓතිහාසික වටිනාකමකින් යුතු ජනප්‍රිය පල්ලියක් ගැන තමයි අද අපි කතාකරන්​​නේ. මේ පල්ලියේ නම තමයි වුෆවන්ඩාල් පල්ලි​ය. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ඉක්මනටම යමු අපේ ලිපියට.

 

1. පිහිටීම 

මේ පල්ලිය කොළඹ දිස්ත්‍රික්කයේම තියෙන නිසා ගොඩාක් අය මේක බලන්න ගිහින් තියනවත් ඇති. ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම කරල තිබෙන මේ පල්ලිය තියෙන්නේ ආදුරුප්පු වීදියේ. එහෙම නැත්නම් වුල්​වන්ඩාල් වීදියේ. ඒ වගේම පිටකොටුවෙනුත් මේ පල්ලියට ඇතුළු වෙන්න පුළුවන්. පැරණිකම නිසාම දේශීය වගේම විදේශික සංචාරක ආකර්ෂණයත් නොඅඩුව ලැබෙන පල්ලියක් තමයි මේ වුල්ෆන්ඩාල් පල්ලිය කියන්​නේ. 

 

2. ආරම්භය 

මේ ස්ථානයේ තිබූ පැරණි පල්ලියක් කඩා දමා අලුතින් පල්ලියක් හදන අදහස මුලින්ම පහළ වෙලා තියෙන්නේ එවක ලංකාවේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා වුණු ගුස්ටාව් විලෙම් වෑන් ඉම්හෝප් හටයි. නමුත් මේ සඳහා ඕලන්ද නැගෙනහිර ඉන්දියා සමාගමේ අවසරය එකවරම නොලැබීම නිසා එම ඉදිකිරීම කල් යනවා. අවසානයේදී 1749 අවුරුද්දේ තමයි මේ සඳහා ලැබුණු අවසරය මත මුල්ගල තැබුවා කියල සඳහන් වෙන්නේ. ඊට අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නේ 1751 වගේ මේ පල්ලියේ මුල්ම කැපකිරීම් පූජාව පැවැත්විලා තියෙනවා කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නෙ.

 

3. වුල්ෆන්ඩාල් වචනයේ අරුත 

ඉංග්‍රීසියෙන් Wolf කියන්නේ වෘකයන්ටනේ. එනිසා “වෘකයන්ගේ තැන්න” කියන අරුතෙනුයි මේ වචනේ තැනිලා තියෙන්නේ. කොහොම නමුත් මේ කාලේ ඒ ස්ථානය වෘකයන් නොව, නරි වැඩිපුර ගැවසුණු ස්ථානයක් බවටයි වාර්තා වෙන්නේ. නමුත් ඕලන්ද ජාතිකයන් මේ නරින්ව වෘකයන් හැටියට වරදවා වටහාගැනීම නිසයි නරි වෙනුවට වෘකයන්ගේ නමින් බිඳී ආ නමකින් මේ පල්ලිය හැඳින්වෙන්න ගන්නෙ. 

 

4. ලක්ෂණ 

කළුගල් පදනමක් මත ඉදිවූ මේ පල්ලිය සිවුපසට විහිදුණු කුරුසයක හැඩයටයි තනා තිබෙන්නේ. අඩි පහක් විතර ඝනකමකින් යුත් බිත්තිවලින්ද මේ පල්ලිය සමන්විතයි. තව මේ පල්ලියේ පියස්සේ ගෙඩිගේ මුලින්ම ගඩොල් වලින් හදලා තිබ්බත් පස්සේ ඒක විනාශ වෙලා තිබෙනවා. 1900 වගේ වෙද්දි තැනූ යකඩ වලින් යුතු පියස්සක් තමයි දැන් එහි තියෙන්නේ. අපූරු තරප්පු පෙළක්, බෞතීස්ම කරන ස්ථානයක්, ලෙක්ටර්න් මේසයක්, සොහොන් කොත් වගේ ගොඩක් දේවල් මේ පල්ලියේ සහ අවට දකින්න තියෙනවා. ඒ වගේම 19 සියවසේ විසූ ඕලන්ද සම්භවයක් සහිත ලාංකික චිත්‍ර ශිල්පියෙක් වූ ජේ. එල්. කේ. වෑන්ඩෝට් මෙහි විවිධ දර්ශනත් සිත්තම් කරලා තියෙන බව ආර්. එල්. බ්‍රෝහියර් තමන්ගේ “කොළොම්පුර පුරාවෘත්තය” කෘතියේ සඳහන් කරල තියෙනවා…

 

5. තවත් ඉතිහාසගත තොරතුරු

ලක්දිව අවසන් ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ජොහාන් ජෙරල්ඩ් වැන් එංගල්බීක්ගේ සොහොන් කොත සහ තවත් ලන්දේසි ආණ්ඩුකාරවරුන් පස් දෙනෙක්ගේ සොහොන් මෙම භූමියේ තැන්පත් කොට තිබෙනවා. ලංකාවේ විසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගෙකු වූ විලියම් ග්‍රෙගරි මේ පල්ලියට විශේෂ කැමැත්තක් දක්වා තිබෙනවා. ඔහු මේ පල්ලිය “ලංකාවේ වෙස්මිනිස්ටර් දේවස්ථානය” හැටියටයි හඳුන්වලා තියෙන්නේ. ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් ත්‍යාග දුන් අගනා වීදුරු ජනේලයක්ද අදටත් මේ පල්ලියේදී ඔබට දැකබලාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු වූ දොන් ජුවන් ධර්මපාල රජුගේ සොහොනත් කාලයක් මේ භූමියේ තිබුණත්, පසුව ඉංග්‍රීසීන් විසින් එය විනාශ කර දමා ඇති බවට සැක කෙරෙනවා. 

 

6. දේව මෙහෙයන් 

මේ පල්ලියේ දේව මෙහෙයන් පැවැත්වෙන්නේ ඉරිදා දවසේ. ඒ වගේම සඳුදා මෙම පල්ලියට නිවාඩු දවසක්. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.30 – ප.ව. 4.00 වෙනකන් ඕන කෙනෙක්ට මේ පල්ලියේ අසිරිය දැකබලාගන්න පුළුවන්.

 

7. ආශ්‍රිත පොත පත

නදී වාසලමුදලිආරච්චි රචනා කරපු “වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්” කෘතිය මේ පල්ලිය පිහිටි වීදියේ බංගලාවක ජීවත් වුණු පවුලක් වටා ගොතපු ප්‍රබන්ධ කතාවක්. ඒ වුණත් මේ පොත අතීත කාලේ වුල්ෆන්ඩාල් විදීය ගැන සිතුවමක් හිතේ ඇඳ ගන්න හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. තව අපි කලිනුත් සඳහන් කරපු ආර්. එල්. බ්‍රෝහියර් මහතාගේ කොළොම්පුර පුරාවෘත්තය කෘතියේත් තැනින් තැන මේ පල්ලිය ගැන තොරතුරු විස්තර තියනවා…

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *