ඥාති සහෝදර සහෝදරියන් සිටීමේ වැදගත්කම

මේ ලෝකයේ තියන දහසකුත් එකක් මානව සම්බන්ධතා අස්සේ තියන සුවිශේෂ එකක් තමයි ඥාති සහෝදර සහෝදරියෝ එක්ක හෙවත් කසිනෝ එක්ක තියන ප්‍රේමය. ඒක වටින්නේ ඇයි කියලා හේතු හොය හොයා ඉන්න ඉඩ නොදෙන තරමට මේ බැඳීම් ශක්තිමත්. එකට පිස්සු කෙලිනකොට ඇයි මේ මිනිස්සු මට වටින්නේ කියන ප්‍රශ්නය හිතට දැනිලා නැතුව ඇති. මේ තියෙන්නේ කාරණා එහෙම වෙන්න තියන සුළු හේතු කීපයක් විතරයි.



1. ළමා වියේ මතකවල අයිතිකාරයන් වීම


ඉස්සර තමයි ලස්සනම. ඒ ලස්සන බව ඇති කරන්න හේතු වුණ ලස්සනම අය තමයි මෙයාලා. සෙල්ලම් කරේ එකට, ජල්තරවලට සෙට් වුණේ එකට, සමහර දේවල් ඉස්සෙල්ලම අත්හදා බැලුවෙත් මෙයාලා එක්ක. සමහර අයට ළමා කාලයේ හොඳක් ඇත්නම් තියෙන්නෙත් මෙච්චරයි. ආච්චි අම්මට සීයට කියලා කතන්දර අහගත්තු හැටි, වටේ තියාගෙන හැමෝටම බත් කවපු හැටි, මේ දේවල් තමන්ගෙම සහෝදර සහෝදරියන් එක්ක විඳින්න කාලය ප්‍රශ්නයක් වෙන්න ඇති. මොකද ඔයා පුංචි කාලෙම එකම කාල පරාසයක එයාලා ඉපදෙන්න තියන සම්භාවිතාව අඩු නිසා. එහෙම බැලුවම තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් වඩා මේ බැඳීම අතීතය මතක් කරවනවා.



2. රහස් රකින්නන් වීම


සමහර වෙලාවට අපිට ගෙදර ඉන්න උන් විශ්වාස නෑනේ. අම්මටයි තාත්තටයි ගිනි ගෙඩි සප්ලයි කරන්න ඉන්නේ එයාලා. ඒ අතින් කසිනෝ රත්තරන්. ඕනෑම දෙයක් එයාලා එක්ක කියන්න පුළුවන්. තමන්ව විශ්වාස කරලා මේ මනුස්සයා මේ දේ හිත නිදහස් කරගන්න කිව්වේ ඒ බැඳීම නිසා බව කසිනා දන්නවා. ඒ නිසා අතිශය පෞද්ගලික දේවල් කතා කරන්න එයාලා ඉන්න එක වටිනවා. සරලවම කිව්වොත් කසිනෝ හරියට පෙන්ටගන් වගේ තමයි.



3. කම්මැලි නැති පවුලේ හමුවීම්


කල්පනා කරලා බලන්න. පවුලේ උදවිය එකට එකතුවන මොහොතක නැන්දලා මාමලා සීයලා ආච්චිලා එක්ක විතරක් තනි වෙන්න වුණා නම් වෙන වැඩේ. උපදෙස් සහ පණ්ඩිත කතා අහ අහා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් එතන වෙන්නේ නෑ. අවුරුදු 25 පැනලා නම් බඩේ බත් වගේ ෂුවර් කසාදේ ගැන කතා වෙනවා කියලා එතන. හැබැයි කසිනෝ ටික බැස්සම එතන වෙනම තත්ත්වයක් තමයි උද්ගත වෙන්නේ. කතා වෙන්න දේවල් තියනවා. කරන්න දේවල් තියනවා. හැබැයි මේ ඔක්කොම කරන්න ආසා හිතෙන දේවල්.



4. අපහසුවකින් තොර නයිටවල් ගැසීම


පවුලේ මළ ගෙයක දී නැත්නම් මගුල් ගෙයක දී නයිට ගැසීමට තියන එකම හේතුව තමයි මෙයාලා. නැත්තන් අහු වෙන අහු වෙන තැන්වල නිදි කිර කිරා ඉන්න වෙන්නේ. විහිලු කතා සහ තවත් රස කතා ගොඩක් එක්ක ඇහැරිලා ඉන්න එක විල්ලුද උඩ නිදාගන්නවට වඩා සැපයි. කැරම් ගහන අයියලා, කෝපි හදන් එන අක්කලා, ඒ වටේ ඉන්න නංගිලා මල්ලිලා ඒක හරිම ලස්සන චිත්‍රයක්.



5. ජීවිත කාලයටම සිටින හොඳම මිතුරන් වීම


ජීවිතේ පළමු හොඳම යාළුවො ටික වුණෙත් එයාලයි. පස්සේ ජීවිතේට ආපු, අපි ඇහේ මූණේ තියාගෙන ආදරේ කරපු යාළුවො කන බත්පතේ පහරලා ගියාට ජීවිතේට කසිනෝ එහෙම දෙයක් කරන්නේ නෑ. දැන් ඒ කාලේ වගේ නිතර හමුවෙන්න නොහැකි වුණත් තවමත් බැඳීම එහෙමම තමයි. ඕනිම දේකට කතා කරොත් ළඟින් ඉන්නවා. කරුණු කාරණා මෙහෙම වෙන්න හේතුව ළමා වියේ ඉඳන් ම එකට හැදුණ වැඩුණ එක.



6. විවේචනයෙන් තොර වීම


ජීවිත කාලයම නැතත් ජීවිතේ වැදගත්ම තැන්වල ඔයත් එක්ක ඉඳලා එයාලා දන්නවා ඔයා ඇත්තටම මොන වගේ ද කියලා. ඉතින් එයාලා කීයටවත් ඔයාව විවේචනය කරන්නේ නෑ. ඔයා අඳින පළඳින විදිය, කොණ්ඩා විලාසිතාව, ගමන් විලාසය වගේ දේවල් එයාලට අතිශය සාමාන්‍යයි. බැරි වෙලාවත් වචනයක් අහගන්න වෙන්නේ ලෝකෙ උවමනාවට ඔයා වෙනස් වුණොත්. ඒකට එයාලා පොඩ්ඩක්වත් කැමති නෑ.



7. උදව්වට රෙඩි පිට


එක එක ප්‍රශ්නවල දී උදව්වක් බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ. වලියක් නම් ඉතින් අයියලා ගැන්සි පිටින් බහින්නේ. කාට හරි කරදරයක් වුණාම සමහර පවුල්වල කසිනෝ දන්නෙම නැතුව එකතු වෙනවා. මේ කාලේ උදව්වක් බලාපොරොත්තු වෙන එක හරි අමාරු දෙයක්. ඒ අමාරු දේවල් මේ ආදරයත් එක්ක ඒ තරම් අමාරු නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *