ගෙදරදීම පීනට් බටර් හදල ඒකෙන් රස කෑම ටිකක් හදමුද?

පීනට් බටර් කියන්නෙ ගොඩක් දෙනා කන්න කැමති කෑමක්. හැබැයි කඩෙන් ගන්න ගියොත් පොඩ්ඩක් විතර මිලයි. ඒ වගේම සමහරුන්ට මේක කන්නෙ පාන් වල ගාල විතරමද, වෙන මොනවත් හදන්න බැරිද කියන ප්‍රශ්නෙ තියනවා. වැඩි මුදලක් වැය නොකර ගෙදරදීම පහසුවෙන් පීනට් බටර් හදාගෙන, ඒකෙන් වෙන වෙන රස කෑම ටිකක් හදන හැටියි අපි අද අරන් ආවෙ.

 

1. හෝම්මේඩ් පීනට් බටර් (Homemade Peanut Butter)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කබලේ රෝස්ට් කරගත් රටකජු කෝප්ප 2ක්
  2. මී පැණි මේස හැඳි 2
  3. ලුණු ස්වල්පයක්
  4. එළවළු තෙල් තේ හැඳි 2ක් (අවශ්‍ය නම් පමණක්)

 

  • රටකජු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. රටකජු මුලින්ම කුඩු ගතියකටත් ඊට පස්සෙ ක්‍රීම් ගතියටත් පත්වෙනවා. 
  • ක්‍රීම් ගතියට එනකොට මී පැණි සහ ලුණු එකතු කරල නැවත බ්ලෙන්ඩ් කරන්න.
  • පීනට් බටර් එකේ ඝණකම වැඩි නම් විතරක් එළවළු තෙල් ටික දාල බ්ලෙන්ඩ් කරගන්න. 
  • මෙහෙම හදාගන්න පීනට් බටර් මාස 3ක් විතර ශීතකරණයේ කල් තියාගන්න පුළුවන්. මුඩු ගඳක් එනවා නම් පාවිච්චි කරන්න එපා. 
  • රටකජු කෝප්ප 2කින් පීනට් බටර් කෝප්ප 1 1/2ක් විතර ප්‍රමාණයක් හදාගන්න පුළුවන්.

 

2. පීනට් බටර් ෆජ් (Peanut Butter Fudge)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පීනට් බටර් කෝප්ප 2
  2. සුදු පොල්තෙල් මේස හැඳි  6
  3. මේපල් සිරප් කෝප්ප 1/3
  4. වැනිලා එසන්ස් තේ හැඳි 1
  5. ලුණු ස්වල්පයක්
  6. කපා ගත් රටකජු කෝප්ප 1/4

 

  • බෝල් එකක් අරන් ඒකට පීනට් බටර්, පොල්තෙල්, මේපල් සිරප්, වැනිලා සහ ලුණු දාලා මෘදු බැටර් එකක් එන විදිහට හොඳට මික්ස් කරන්න. 
  • දැන් ඔයිල් පේපර් එකක් දා ගත් ට්‍රේ එකකට සාදාගත් පීනට් බැටර් එක දාලා පැතලි හැන්දකින් තද කරමින් සමතලා කරගන්න. මේක අඟලක් වගේ උසකට තියෙන්න ඕන.
  • ඒකට උඩින් කපාගත් රටකජු ටික ඉහ ගන්න. පීනට් බැටර් එක සෙට් වෙන්න පැය 4 ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. පැය 4 කට පස්සේ කොටු කෑලි වලට කපා ගන්න. 

 

3. පීනට් බටර් ඕට්ස් බාර්ස් (Peanut Butter Oats Bars)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පීනට් බටර් 200g
  2. මී පැණි කෝප්ප 1/2
  3. රෝල්ඩ් ඕට්ස් කෝප්ප 1 1/2

 

  • භාජනයකට මී පැණි හා පීනට් බටර් දා ගෙන ස්මූත් බැටර් එකක් එන විදිහට හොඳට රත් කර ගන්න. රත් කරන ගමන් හැන්දකින් හොඳින් මික්ස් කරන්න.
  • ලිපෙන් අරගෙන මේකට ඕට්ස් දාලා හොඳින් මික්ස් කරගන්න.  
  • දැන් බැටර් එක වෙනම ට්‍රේ එකකට දාගෙන පැයක් විතර ෆ්‍රිජ් එකේ කූල් වෙන්න තියන්න. සෙට් වුණාම දිග කොටු වලට කපා ගන්න. 

 

4. පීනට් බටර් අයිස් ක්‍රීම් (Peanut Butter Ice Cream)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හෙවි ක්‍රීම් කෝප්ප 2
  2. මිල්ක්මේඩ් 400g
  3. පීනට් බටර් කෝප්ප 1
  4. බැදගත් රටකජු කෝප්ප 1/2

 

  • බෝල් එකකට හෙවි ක්‍රීම් දාලා පෙණ නගින තුරු බීට් කරගන්න. ඒකටම මිල්ක්මේඩ් හා පීනට් බටර් දමා නැවත ස්ලෝ ස්පීඩ් බීට් කරගන්න. 
  • බීට් කරාට පස්සෙ ඒකට රටකජු වලින් ටිකක් එක් කරන්න. හැන්දකින් හොඳින් මික්ස් කරන්න.
  • දැන් ඒ මිශ්‍රණය වෙනත් ට්‍රේ එකකට දා ගන්න, ඒකට උඩින් තව රටකජු ටිකක් ඉසා ගන්න. ඒ බෝල් එක හෝ ට්‍රේ එක ක්ලින්ග් රැප් හෝ ලන්ච් ශීට් එකකින් වහලා පැය 6ක් විතර ෆ්‍රීසර් එකේ සෙට් වෙන්න තියන්න.

 

5. පීනට් බටර් ෆ්‍රෙන්ච් ටෝස්ට් රෝල්ස් (Peanut butter french toast rolls) 

අවශ්‍ය ද්‍රව්‍ය  

 

  1. පාන් පෙති කිහිපයක් 
  2. පීනට් බටර්
  3. බටර්
  4. බිත්තර 2
  5. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4
  6. අයිසින් සීනි

 

  • රෝලින් පින් එකක් අරන් පාන් පෙත්ත හොඳින් තුනී කරගන්න. තුනී කරගත් පාන් මත පීනට් බටර් ගාගෙන රෝල් කරගන්න.
  • බිත්තරයට කිරි එකතු කරල හොඳින් ගසාගන්න. 
  • බටර් ටිකක් පෑන් එකක රත් වෙන්න තියල හදාගත්ත පාන් රෝල් එක බිත්තර මිශ්‍රණයේ පොඟවගෙන පෑන් එකට දාල හොඳින් වටේම බැදගන්න.
  • අයිසින් සීනි ටිකක් උඩින් ඉහල පිළිගන්වන්න. 

 

6. පීනට් බටර් කුකීස් (Peanut Butter Cookies)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පීනට් බටර් කෝප්ප 2
  2. සීනි කෝප්ප 2
  3. බිත්තර 2
  4. වැනිලා තේ හැඳි  2
  5. බේකින් පවුඩර් තේ හැඳි  2

 

  • පීනට් බටර්, සීනි, බිත්තර, වැනිලා, බේකින් පවුඩර් දාලා හොඳින් අනා ගන්න. 
  • මේකෙන් පොඩි බෝල හදාගෙන බේකින් ශීට් එකක් දාගත්ත ට්‍රේ එකක් මත තියලා, ගෑරප්පුවකින් තද කරල පැතලි කරගන්න.
  • සෙල්සියස් 170° ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක දාලා විනාඩි 20 ක් බේක් කරගන්න. 

 

7. චොකලට් පීනට් බටර් ස්ලයිසස් (Chocolate Peanut Butter Slices)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඔරියෝ බිස්කට් 300g
  2. දියකරගත් බටර් 150g
  3. රටකජු 50g
  4. පීනට් බටර් 150g
  5. ඩාර්ක් චොකලට් 400g
  6. තික් ක්‍රීම් 150 ml

 

  • මුලින්ම ඔරියෝ බිස්කට් බ්ලේන්ඩර් එකට දාගෙන හොඳට කුඩු කරගන්න. ඒකටම බටර් දාගෙන නැවත හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේ මිශ්‍රණය හොඳට තෙත ගතියට තියෙන්න ඕනා. මිශ්‍රණය වියළියි වගේ නම් තව බටර් ටිකක් දාලා බ්ලෙන්ඩ් කරන්න. 
  • මේක ට්‍රේ එකකට දාගෙන පැතලි හැන්දකින් තුනී කර ගෙන සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න. 
  • ක්‍රීම් එක හා ඩාර්ක් චොකලට් මයික්‍රොවේව් අවන් එකට දාගෙන හෝ ඩබල් බොයිල් කරලා දියකරගන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
  • දැන් ෆ්‍රිජ් එකට දාගත් ඔරියෝ බිස්කට් මිශ්‍රණය අරන් එකට උඩින් පීනට් බටර් තට්ටුවක් තවරා ගන්න. ඒකට උඩින් චොකලට් මිශ්‍රණය දාගන්න. දැන් ඒකටත් උඩින් කුඩාවට කපා ගත් රටකජු ඉස ගන්න. නැවත පැය 5ක් විතර ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *