හැමදාම කන රොටිය එපාවෙලා නම් ඔන්න අපි තව අළුත් රොටී වර්ග ටිකක් කියලා දෙන්නයි හදන්නෙ. හදන්නත් ලේසී වෙනස් රසවලින් හදාගන්න පුලුවන් මේ රොටී උදේ කෑමට හෝ රෑ කෑමට සුදුසුයි. මේවට හරියන චිකන් හෝ පනීර් කරියක් එක්ක එහෙනම් මේ රසම රස රොටී ටික හදලා බලන්න.
01. Akki Roti
අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල්පිටි කෝප්ප 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/2
චොප්කරගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1/2
ගාගත් පොල් කෝප්ප 1/2
සූදුරු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
හාල්පිටි වලට තෙල් හැර අනික් සියල්ලම දාලා කලවම් කරගන්න. දැන් මේකට වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. කෙසෙල් කොලයකට තෙල් ටිකක් ගාලා ඩෝ එකෙන් ටිකක් අරන් තුනී කරගන්න. ඊළඟට මේක අනික්පැත්ත හරවලා පෑන් එකට දාලා ටිකකින් කෙසෙල් කොලේ ගලවගන්න. හොඳට තෙල් ගාගන්න. අඩු ගින්දරේ දෙපැත්ත පුළුස්සාගන්න.
02. Rumali roti
අවශ්‍ය ද්‍රව්‍ය :-
ආටා කෝප්ප 2
පාන්පිටි කෝප්ප 1/2
ලුණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
කිරි කෝප්ප 1
පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න.මේකට කිරි ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. ඊළඟට මේකට තෙල් මේසහැඳි 2ක් දාලා අනාගන්න. ඩෝ එක හදලා උඩින් තව තෙල් ටිකක් ගාලා සර්වියට් එකකින් වහලා පැය 4ක් තියන්න. දැන් හොදටම සොෆ්ට් ඩෝ එකක් හදාගන්න පුලුවන්. මේක තව ටිකක් නීඩ් කරලා බෝල හදලා පිටි ඉසගත් ලෑල්ලක් උඩ හොඳට තුනීකරගන්න. ලොකු පෑන් එකක් අරන් පිට පැත්තෙ අඩිය සෝදලා ලිපෙ තියාගන්න. ටිකක් රත් උනාම පෑන් එක අනික්පැත්ත හරවලා උඩට වතුර ටිකක් ඉසගන්න. ඊළඟට තුනීකරගත් රොටිය අරන් පරාටා ගහනවා වගේ අතින් ඇද ඇද කරකවන්න. ඊළඟට මේක පෑන් එක මතුපිටින් එලලා පුළුස්සාගන්න. එයා බබ්ල්ස් මතු වෙනකොට අනික්පැත්ත හරවලා පොඩ්ඩක් අතින් තද කරලාපුළුස්සාගන්න. ඊළඟට මේක හතරට නවන්න.
03. Tandoori roti
අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පිටි කෝප්ප 1
ලුණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න. වතුර ටික ටික දාලා ඩෝ එකක් හදාගන්න. දැන් මේ ඩෝ එකට තෙල් ටිකක් වක්කරගන්න. වහලා විනාඩි 30ක් තියන්න. දැන් මේක ආයේ හොඳට නීඩ් කරලා පොඩි බෝල හදාගන්න.මේ බෝලවල පාන්පිටි හොඳට තවරලා තුනී කරගන්න. හොඳටම තුනී කරලා එක පැත්තක වතුර ගාගන්න. දැන් වතුර ගාගත් පැත්ත යටට හිටින්න මේක පෑන් එකට දාලා පුළුස්සාගන්න. ටිකකින් පෑන් එක අනික්පැත්ත හරවලා රොටියෙ උඩ කොටස කෙලින්ම ගින්දරට අල්ලන්න. දැන් රොටියෙන් එයා බබ්ල්ස් උඩට එනවා පෙනෙයි. ඊළඟට මේක ලිපෙන් බාලා බටර් ගාලා කෑලි කපාගන්න.
04. Rava roti
අවශ්‍ය ද්‍රව්‍ය :-
රුලං කෝප්ප 3
වතුර කෝප්ප 2
කර්ඩ් කෝප්ප 1
චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/2
චොප්කරගත් ළූණු ගෙඩි 2
ගාගත් පොල් කෝප්ප 1
චොප්කරගත් අමුමිරිස් කරල් 2
ලුණු ස්වල්පයක්
බෝල් එකකට රුලං, කර්ඩ් හා වතුර දාලා කලවම් කරගන්න. මේක විනාඩි 30ක් වහලා තියන්න. ඊළඟට මේකට චොප්කරගත්කොත්තමල්ලි කොළ, ළූණු, ගාගත් පොල්, චොප්කරගත් අමුමිරිස් හා ලුණු රස අනුව දාලා හොඳට කලවම් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් ගාලා බැටර් එක දාලා පෑන් එකේම තුනී කරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
05. Missi Roti
අවශ්‍ය ද්‍රව්‍ය :-
ආටා පිටි කෝප්ප 1 1/2
කඩල පිටි කෝප්ප 3/4
කහකුඩු තේහැඳි 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු
ඔරිගානෝ තේහැඳි 1
ඉඟුරු සුදුළූණු පේස්ට් තේහැඳි 1/2
චොප්කරගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් ළූණු ගෙඩි 2
චොප්කරගත් කොත්තමල්ලි කොළ මේසහැඳි 2
තෙල් ස්වල්පයක්
බෝල් එකකට තෙල් හැර අනික් සියල්ලම දාලා වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. මේකට තෙල් ටිකක් දාලා තව ටිකක් නීඩ් කරලා බෝල හදාගන්න. දැන් පිටි ඉසගත් සර්ෆේස් එකක් උඩ බෝල තියලා තුනී කරගන්න. දැන් මේක දෙපැත්තෙම තෙල් තවරගෙන පුළුස්සගන්න.
Leave a Reply