කොවිඩ් වල ස්වභාවය වෙනස් කළ වෛරස ප්‍රභේද

කොවිඩ් වෛරසය පැමිණියේ චීනයේ වූහාන් වලින් වුවත් වූහාන් ෆිෂ් මාකට් එක කියන්නේ වෛරසය පැතිර ගිය එක තැනක් පමණක් බවට තමයි පසුව මත පළ වුණේ. ඒ චීන වෛරසයට වඩා දැන් කොරෝනා තවත් ප්‍රබල වෙලා. යුරෝපයෙන් වගේම ඇමරිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් නව ප්‍රභේද ඇවිත් තියෙනවා. ඉතින් මේ වෛරස පැතිරීම වේගවත් කරන සහ හැදෙන අයට මරණය වේගවත් කරන මේ ප්‍රභේද ගැන අපි දැනුවත් වෙමු.

 

 

1. ඇයි වෛරස වල ප්‍රභේද හැදෙන්නේ? 

වෛරස කියන්නේ සෛලයක් නෙමෙයි. ජීවී කොටසක් තවත් ජීවියෙකුට ආසාදනය වෙලා ඒ මගින් නැවතත් ජීවී කොටස් ව්‍යාප්ත වීමක් තමයි වෛරස වලින් සිදු වන්නේ. එවිට අපි වෛරසය තවත් අයෙකුට බෝ කළාට පස්සේ එයාගෙන් අනෙක් අයට බෝ වන්නේ එයාගේ ඇඟේ තිබෙන සෛල වල ජීවී කොටස් වලින්. ඒ විදිහට බොහෝ බොහෝ පිරිස් වල සිරුරේ සෛල වල ජීවී කොටස් වලින් වෛරසය ව්‍යාප්ත වෙද්දි එයට විවිධ ගතිගුණ ඇතිවන්නට පුළුවන්. මේ ප්‍රභේද බිහි වීමේදී ප්‍රභේද සිය දහස් ගණනින් බිහිවෙන්න පුළුවන්. ඒත් එයින් වැඩිපුර පැතිරෙන සහ රෝග ලක්ෂණ වැඩිකරන ප්‍රභේද වඩාත් ඉක්මනින් පැතිරිලා බොහෝ පිරිස් ලෙඩ කරනවා.

 

 

2. එන්නත් හරියයිද? 

දැනට හොයාගෙන තියෙන එන්නත් දැනට හොයාගෙන තියෙන කොවිඩ් -19 වෛරස ප්‍රභේද රැසකට හරියට වැඩ කරනවා. එන්නතකින් අපේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරලා අපිට කොවිඩ් හැදෙන එක නවත්වනවා. එතනදී කුමණ තාක්ෂණය අනුව වෛරසය හැදුනත් අපේ සිරුරේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ පරාසයක් ඇතිවෙන විදිහට තමයි මේ එන්නත් දියුණු වෙන්නේ. ඒ නිසා දැනට සාර්ථක වී ඇති එන්නත් මගින් නව කොවිඩ් 19 ප්‍රභේද වලිනුත් ආරක්ෂාව ලැබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරනවා.

 

 

3. එන්නත් වැඩිදියුණු කිරීම

මේ එන්නත් වලින් දැනට තිබෙන ප්‍රභේද වලින් ආරක්ෂාව ලැබෙන බවට දැඩි විශ්වාසයක් තිබුණත් ඉදිරිය සඳහා නිරන්තර යාවත්කාලීන වීම් විද්‍යාගාර වල සිදු වෙනවා. ඒ මගින් නිපදවා ඇති එන්නත් නව ප්‍රභේද සඳහා පුළුල් වශයෙන් පරීක්ෂා කිරීමත්, ඒ එන්නත් වල ප්‍රබලත්වය වෙනස් කිරීමේ කටයුතුත් සිද්ද වෙනවා. මෙහිදී වෛරසයේ ගෙනෝම වෙනස් වීම් ඒ ඒ ප්‍රභේද වලදි කොහොමද වෙන්නේ කියලා විද්‍යාඥයින් අන්තර්ජාලයේ පළ කරනවා.එවිට ලොව පුරා එන්නත් පර්යේෂකයින්ට ඒ දත්ත වලට අදාළව එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන පරීක්ෂණ කරන්නට හැකියාව ලැබෙනවා.

 

 

4. නව කොරෝනා ප්‍රභේද වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

කොරෝනා කවර ප්‍රභේදයක් ආවත් එය පැතිරෙන්නේ චීනයේ වූහාන් වලින් පටන් ගත්ත කොරෝනා ප්‍රභේදය පැතිරුණ ආකාරයට ආසන්න සමාන විධි වලින්. ඒ නිසා අත් සේදීම, දුරස්ථබව ආරක්ෂා කරගැනීම වගේම හැකි සෑම විටම සැනිටයිස් කරගැනීම වගේ කොරෝනා හොඳ පුරුදු පවත්වාගෙන යන එක වැදගත්. එසේම ඇස්ට්‍රාසෙනකා එන්නත් මගින් රුධිර කැටි ගැසීමේ ඉතාම කලාතුරකින් එන දෝෂයක් තිබිය හැකි වුවත් ඒවා ගැන නොතකා හැකි මුල්ම අවස්ථාවේදීම එන්නත විදගැනීමත් කළ යුතු වෙනවා. එවිට නව වෛරස ප්‍රභේද වලින් ඔබ ආරක්ෂා වනවා සේම ඔබගේ සමීපතමයින්ද ආරක්ෂා වෙනවා. 

 

 

5. වෛරස ප්‍රභේද කිහිපයක්

දැනට තිබෙන ප්‍රභේද කිහිපයක් වන අතර එයින් නවතම ඉන්දියානු ප්‍රභේදය වඩාත් අහිතකර බවක් කියවෙනවා. මුල් කාලේ ආපු ප්‍රභේද කිහිපයක් පහත දැක්වෙනවා.

 

බ්‍රිතාන්‍ය වර්ගය වන B.1.1.7 – මෙම වර්ගය එංගලන්තයෙන් ආරම්භ වූ අතර එය එංගලන්තයේ පැතිරීම වේගවත් කළා. මෙය මරණ අවදානම වැඩි කරන වෛරස ප්‍රභේදයක්. මෙය එංගලන්තයේ පමණක් ලක්ෂ දෙකකට අධික ආසාදිතයින් වාර්තා කළ අතර දැනට රටවල් 50කට වඩා වාර්තා වෙලා තියෙනවා.

 

දකුණු අප්‍රිකානු වර්ගය B.1.351 – මෙය වඩාත් ඉක්මනින් පැතිරෙන ප්‍රභේදයක්. මෙය ඇන්ටිබොඩි හෙවත් ප්‍රතිදේහ හැදීම අඩපණ කරන විශේෂයක්. මේ වර්ගය රටවල් 20කට පැතිර ගොස් තියෙනවා.

 

ජපාන, බ්‍රසීල වර්ගය P.1 මේ වර්ගයත් ප්‍රතිදේහ තිබුණත් බෝවෙන්න පුළුවන් වෛරස වර්ගයක් වෙනවා. බ්‍රසීල වර්ගය මුල් කාලීන වාර්තා අනුව පැතිර ගොස් තිබුණේ රටවල් 10කට වැඩි ප්‍රමාණයකට පමණයි.

 

ඇමරිකා කැලිෆෝනියා වර්ගය B.1.429 – වඩා ඉක්මනින් පැතිරෙන මෙය කොරෝනා එන්නත් වලින් මැඩපැවැත්වෙනවා.

 

ඉන්දීය වර්ගය B.1.617.2 – මෙය සාපේක්ෂව වෙනස් ප්‍රබල වෛරස වර්ගයක්. මෙය ලංකාවෙන් වගේම රටවල් කිහිපයකින් වාර්තා වෙලා තියෙනවා. මැයි මුල පටන් ගත් වාර්තාගත ඉන්දියානු කොරෝනා රැල්ලේදි මුලින්ම බල පැවැත්වුණේ එංගලන්තේ කොවිඩ් වර්ගය. ඒත් ඉන්දියාවේ තිබෙන මේ වෛරස ප්‍රභේදය ඊටත් වඩා බලගතු වෙන්න පුළුවන් කියලා මත පළවෙලා තියෙනවා. තාක්ෂණිකව ඩබල් මියුටන්ට් ලෙස හඳුන්වන මේ ඉන්දියානු ප්‍රභේදය වඩාත් ඉක්මනින් පැතිරෙන්නට හැකියාව ඇති වර්ගයක් ලෙසත් සැළකෙනවා.

 

 

6. වෛරස වර්ග නිසා වෙනස් වුණු වෛරස ගැන වූ මත

මුල් කාලයේ චීන කොරෝනා වර්ගය පැතිරෙන විට වැඩිපුරම එයට ගොදුරු වූයේ වැඩිහිටියන්. ඒත් දැන් දැන් එන වෛරස ප්‍රභේද මගින් වයස බලපෑමක් නැතිව සෑම වයසකම අයට අමාරු වෙන්නට පුළුවන්. ඒ වගේම කොරෝනා යුරෝපයට එල්ල වී වසරකට අධික කාලයක් ඉන්දියානුවන් සහ දකුණු ආසියාතිකයන් සැනසුම් සුසුම් හෙළුවේ කොරෝනා ඔවුන්ට වැළඳෙන ප්‍රමාණය අඩු යැයි සිතමින්. ඉන්දියාවේ 2021 පෙබරවාරි, මාර්තු වල ආසාදිතයින් 20000කට අඩුවෙන් තමයි වාර්තා වුණේ දවසකට. ඒත් එම වාර්තා උඩු යටිකුරු කරන්නට කොරෝනා එක්සත් රාජධානි වර්ගයට හැකි වුණා.

 

මාස්ක් දාන එක, අත හෝදන එක දැන් දැන් අපිට එපාවේගෙනත් එනවා. ඒ තරමට සැනිටයිසර්, අත් සේදීම් සහ මාස්ක් පැළඳීම් කරන්න වෙන වාර ගාණ වැඩියි. ඒත් අපිට එපා වුණා කියලා නවත්වන්න බැරි පුරුදු තියෙනවා. උදාහරණ විදිහට අපිට ඇඳුම් එපා වුණා කියලා නිර්වස්ත්‍රයෙන් පාරේ යන්නට බැහැ. ඒ වගේ කෙරෝනා එන්නත් එන්නට තව මාස කිහිපයක් ගත වෙන්නට පුළුවන්. ඒ කාලය තුළ අපිට ආරක්ෂා වෙන්නට තිබෙන සියළුම වැඩ ටික ඒ පිළිවෙලට සිදුකර අපිත් අපේ සමීපතමයනුත් ආරක්ෂා කරගන්නට පෙළගැසෙමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *