ලංකාවේ අපිට වාසනාවකට වගේ මුහුද වෙරලත් කඳුකරයත් පෑ කිහිපයකින්ම සලකුනු කරගත හැකි ලෙස පිහිටා තිබෙනවා. කන්දක් නගින්නට යන විට ඔහේ පොලේ යන්න වගේ ගියොත් අපිව අමාරුවේ වැටෙන්න ඉඩකඩ තිබෙනවා. කන්දක් නගින්න යන්න පෙර අපි යම් තරමකින් සූදානම් වෙලා ගියොත් කන්ද තරණය කරගන්නට අපහසු වුවත් අපිට කරදරයකින් තොරව නැවත එන්නට හැකි වේවි. ඒ වගේ කන්දක් නගින්න සෙට් වෙනවා නම් අපි සන්නද්ධ විය යුතු දේවල් ගැන ටිකක් දැනකියාගනිමු.
1. ට්‍රෙකින් බූට්ස්
කඳු කියන්නේ සමතලා බිමට වඩා ඇවිදින්න අපහසු තැනක් කියා අමුතුවෙන් කියන්නට ඕනා නැහැ. අප රටේ නම් වැසි කලට මඩ තත්වයන් නිසා කඳු නැගීමේදි ලිස්සා යන්නට හැකියි. ඇතැම් කඳු නැගිමේදි දොල පාරවල් ගස් ගල් මුල් උඩ්න වැටී ඇති පාරවල් වලද යන්නට සිදු වෙනවා. සෙරෙප්පු දෙකක් දාගෙන වුවත් කන්දක් නගින්නට හැකි වුවත් කකුලට සම්පූර්ණ ආවරණයක් තිබෙන කට්ට ලෑල්ලටම නොගෙවුනු ට්‍රෙකින් වලටම හදපු බූට් දෙකක් තිබුණොත් එය අපේ ගමනට ශක්තියක් වේවි. පාවහන් හෝ ට්‍රෙකින් සපත්තු ගන්නා විට කෝට් පළඳිනවා වැනි තරමක් විශාල සපත්තු ගැනීම අවදානම්. මන්ද එවිට එය ලිස්සා ගොස් ඔබ අනතුරට භාජනය විය හැකි නිසා.
2. හිම කබා සහ බ්ලැන්කට් -ශීතලෙන් ආරක්ෂා වීම
කන්ද ඉහලට යන්න යන්න සීතල වැඩියි. ඇතැම් තැනක උදෑසන තිබෙන සීතල දරාගන්නට අපහසුයි. එම ශීතලෙන් ආරක්ෂා වෙන්න ශීතල කබා වගේම රෑට නවතිනවා නම් බ්ලැන්කට් ස්ලීපින් බෑග්ස් වැනි දේත් රැගෙන යෑම කළ යුතුයි. යම් විදියකින් සීතල විඳගැනීමත් ගමනේ අරමුණ වුනත් මුහුදු මට්ටමේ වාසය කරන අයට කඳුකරයට එකවරම පිවිසෙන විට ඒ සීතල දරාගැනීමට අපහසු වන අවස්ථාත් තිබෙනවා.
3. පැක් කරගැනිම
අද කාලයේ දි නම් විශාල බඩු බාහිරාදිය ලීටර 40ක් පමණ රැගෙන යා හැකි විශාල බැක්පැක් තිබෙනවා. ඒ තරම් විශාල තොගයක් පැක් කරගත හැකි වුවත් තද ආනතියක් සහිත කන්දකදී පිටේ තිබෙන බර අඩුවෙන තරමට නගින්න ලේසියි. අපිට අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය තිබෙනවා. ඒ වගේම එතරම්ම අවශ්‍ය නොවන බඩු ත් තිබෙනවා. බඩු ලැයිස්තුවක් සකස් කරගෙන අවශ්‍ය ම බඩු පමණක් පැක් කරගෙන යෑම වැදගත්. එසේම ඇඳුම් පැලදුම් සහ අනෙකුත් උපාංග තෝරාගන්නා විට තරමක් බර අඩු රැගෙන යන්නට පහසු ආකාරයෙන් ගතහොත් කන්ද නගිනකොට අපේ කකුල් දෙක වාගේම බැක් පැක් එක නිසා කොන්ද රිදෙන එක ටිකක් නවත්වාගන්නට හැකි වේවි.
4. කෑම බීම – ජලය සපයාගැනිම, ආහාර රැගෙන යෑම
ලංකාවේදී නම් ඕනාම කන්දක මුදුනට නැංග විට ඈතින් නිවසක් දර්ශනය වීමේ වාසනාව තිබෙනවා. ඒත් කන්දකදී ඈත බලන විට පහසුවෙන් පෙනුනාට ඒ තැන්වලට ලඟා වන්නට නම් වට වන්දනාවක මෙන් අපි ආ මගින් ම හෝ වෙනත් මගකින් බැසිය යුතුයි. කන්දක් උඩ ගෙවල් හදාගෙන ඉමු කියා බොලඳ පෙම්වතුන් කීමට කිව්වත් ඇත්තටම ශ්‍රී පාදය වැනි ජනප්‍රියතම කන්දක් හැරුනු කොට අනෙක් තැන්වලදී ආහාරපාන මගදී සපයාගන්නට හැකියාවක් නැහැ. රාත්‍රී කෑම්ප් කරන්නට හෝ ගිහින් එන්නට යනවා නම් ඒ කාලයට සහ තරමක් වැඩිපුර ආහාර ජලය සහ අවශ්‍ය බීම වර්ග රැගෙන යෑම කළ යුතුම දෙයක්. යම් ලෙසකින් මාර්ගය සොයාගන්නට බැරිව අතරමං වීමක් හෝ වර්ෂාව වැනි හදිසි තත්වයක් ආවොත් අඩුතරමේ පැය 12ක අමතර කාලයකටවත් සැපයුම් අප සතුව තබාගැනීම වැදගත්.
5. පාරවල් දැනගැනීම – ඩිරෙක්ෂන් ජී පි එස් ගයිඩ්ස්ලා
ගූගල් මැප් එකෙන් ෆෝන් එකේ සිට හෝ පරිගණකයේ සිට බලන විට ඉතාම අඩු දුරවල් පෙන්වන්නේ කඳු වලට. එහෙත් සත්‍ය වශයෙන්ම කන්ද නගින්නට ගිය විට තමයි අපිට ප්‍රශ්ණ එන්නේ. ජී පී එස් උපකරණ සහ ලොකෙටර ආදිය හෝ පාර දන්නා අයෙකු නොමැතිව පාරවල් නොමැති කඳු තරණය කරන්ට යෑම අනතුරු දායකයි. එසේත් නොමැති නම් අඩුතරමේ මාලිමාවක් හෝ අපි සතුව තිබීම වැදගත්. මන්ද ලංකාව කියන්නේ පුංචි රටක්. තේ රබර් වැවීම නිසා අපේ කඳුකරයත් පුංචියි. අපි යම් විදියකින් අතරමං වුනොත් එකම දිශාවකට කිලෝමීටර 7-8ක් ගිය තැන වගා බිමක් හෝ ජනාවාසයක් සොයාගැනීම අපහසු වන්නේ නැහැ. ඒත් ඒ දිශාව හඳුනාගන්න අපිට අඩුම තරමේ ඒ පහසුව නිවැරදිව ඇති ස්මාට්ෆෝනයක් හෝ තිබෙන්නට ඕනා.
6. නැගීමට අවශ්‍ය කරන උපාංග -කඹ සහ ඇමිණුම් ආදිය..
සුප්‍රකට මිමුරේ ලකේගල තරණය කරන්නට කඹ අවශ්‍යයි. කලින් කණ්ඩායම් වලට කඹයක් අවශ්‍ය නොවුනත් සුලු නායයෑම් කඩාවැටීම් වැනි වෙනසක් ඇතිවී තිබුනොත් අපිට නැගගන්නට අපාසු විය හැකි නිසා කඹයක් අප සතුව තිබෙන එක වැදගත්. තදබල ආනතිය ඇති ස්ථාන තරණය කරන්නට ඇතැමුන්ට අපහසුයි. එවිට කඹයක් මගින් මිතුරන්ට උදව් කරන්නට අපිට හැකියාව ලැබෙනවා.
7. කූඩැල්ලන් සහ මදුරුවන්ගෙන් ආරක්ෂා වීම
වැසි කාලයට නම් ලංකාවේ මොන කන්ද නැග්ගත් කූඩැල්ලන්ගෙන් නම් ගැලවිමක් නැහැ. කූඩැල්ලන් ඉන්නවා උන්ගෙන් ගැලවෙන්න ක්‍රමත් තිබෙනවා, සබන් , ලුණු වතුර, පැඟිරි තෙල් එසේ කූඩැල්ලන්ගෙන් ගැලවෙන්න අපිට පාවිච්චි කරන්න පුලුවන් දේවල් කිහිපයක්. එසේම ඇතැම් කඳුවැටි වල එක් එක් කාලයට මැසි මදුරු කරදර ආදියද ඇතිවෙනවා නයිට් කෑම්ප් වගේ ඉන්න අදහසක් තිබේනම් මැසි මදුරුවන් ගැනත් සිතා බලන්නට ඕනා.
8. සූදානම සහ සෞඛ්‍ය තත්වය
බොහොමයක් කඳු තිබෙන්නේ වනාන්තරය සමග බද්ධව. වනාන්තරයේ සර්පයන් උරගයින් මකුළුවන් වැනි විසකුරු සතුන් සිටිනවා. එවැනි සතෙක් දෂ්ට කිරීමට හෝ වන සිව්පාවෙකු විසින් සංචාරයේ යෙදෙන්නන් ඉලක්ක කිරීම ඉතාම කලාතුරකින් සිදු විය හැකි දෙයක්. එහෙත් එවැනි වෙලාවක පාවිච්චියට ගන්නට කුඩා හෝ ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන යෑම කඳු නගින විට අමතක නොකළ යුතු දෙයක්. අපි හැමෝටම හැම දේම බැහැ. වැඩිපුර ව්‍යායාම නැතිව කාර්යාලයට යෑම නැවත නිවසට පැමිණීම වැනි දිනපතා කාර්යයන් පමනක් සිදුකරන කම්මැලි සිරුරකට එකවර කිලෝමීටර හත අටක් කන්දක් බඩගාන්න යෑම කරන්න අමාරු දෙයක්. ඒ සඳහා යම් පුහුණුවක් සහ ශරීර යෝග්‍යතාවයක් අවශ්‍යයි.
කන්දක් නැගීම කියන්නේ කවර ආකාරයකින් සූදානම් වී ගියත් යම් අවදානමක් තිබෙන කාර්යයක්. ඒත් පෙර සූදානමකින් ගියොත් අපිට අවදානම අවම කරන්නට අවස්ථාව ලැබෙනවා.
Cover Image Source – visitgreenland.com
Leave a Reply