කොච්චර කාර්‍යබහුල උනත් ගෙදර අයට රසවත් වගේම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙන්න තමයි අපේ ගෘහණියන් හැමවෙලේම හිතන්නෙ කියල අපි දන්නව. ඉතින් එහෙම හිතන ලයිෆි එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට ඔයාලගෙ බත් පතෙන් වැඩි කොටසක් වහගන්න එළවළු හරියට තෝරගන්න පොඩි උදව්වක් වෙන්නයි මේ හදන්නෙ. ගෙදර ගේන එළවළු උයන්න ගත්තම ඒවයෙන් බාගයක්ම නරක් වෙලා ඉවත් කරන්න උනාම හිතට කොච්චර අමාරුයිද නේද? ඔන්න අද ඉඳන් අපි නිතරම ගන්න එළවළු කීපයක් හරියට තෝරගන්න ඔයාලට පුළුවන්. කියවලම බලන්නකො. මේ ලිපියෙම තව කොටසක් ඉදිරියේදිත් අපි අරන් එනව.
1. අලුත් කියන්නෙ හොඳයිද?
එළවළු වල අලුත් පාට පෙනුන පමණින්ම හැම එළවළුවම හොඳම තත්ත්වයෙන් නැහැ. කැපිච්ච පාරවල් ඇති සහ තුවාල වුන සහ තැළුණු එළවළු තෝරාගැනීමෙන් වලකින්න. ඒවා ඉක්මණින්ම නරක් වෙන්න බලනව. සතියටම එකවර එළවළු ගේන ඔබට මේක පාඩුවක්. හැබැයි එළවළු වල නැවුම් බව වගේම පෝෂණ ගුණයත් රැක ගන්න නම් සතියකට වඩා කල් තියාගන්න හිතන් එළවළු මිලදී ගන්න එපා.
2. පළා කොළ තෝරගන්නකොට මේවත් බලන්න
පළා වර්ග මිලදී ගන්නකොට කොළ මැලවිලා නැති හොඳ ප්‍රාණවත්ව ඇති පළා මිටි තෝරගන්න. තැනින් තැන කහ ගැහිච්ච කොළ සහ ප්‍රාණවත් ගතිය ගිලිහුණ කොළ නෙලා ගෙන ටික දවසක් ගත වුන ඒවායි. සලාද, පාස්ලි, කොත්තමල්ලි සහ සැල්දිරි වගේ මැල්ලුමට නොගන්න කොළ වර්ග මිලට ගන්න කොට නොතැලුන, කොළ පොඩි නොවුන කොළ තෝරල අරගන්න සැලකිලිමත් වෙන්න. මේ කොළ වර්ග ටිකක් හරි පොඩි උනොත් කොහොමත් වැඩි කාලයක් තියාගන්න අමාරුයි.
3. හොඳ රසට පිටි වට්ටක්කා තෝරගන්නෙ මෙහෙමයි
සමහර වෙලාවට අපි කඩෙන් මිලදී ගන්න වට්ටක්කා වල කිසිම පිටි ගතියක් නැහැ. කෙඳි ගතිය වැඩි සමහර වට්ටක්කා අපි දන්න මොන ශිල්පය දාල ඉව්වත් දිය රහයි. හාල් පොල් අඹරල ඉව්වත් වට්ටක්කා කෑලි වලට රස අල්ලන්නෙම නෑ. වට්ටක්කා ගෙඩියක්ම ගන්නව නම් වට්ටක්කා ගෙඩියෙ නැට්ටෙන් තමා අළුත් බව බලාගන්න පුළුවන්. මුලින්ම බලන්න වට්ටක්කා ගෙඩියෙ නැට්ට කැඩිල ගිහිල්ලද කියල. නැට්ට ගැලවිලා ගිහින් නම් හුඟක් වෙලාවට ඒ වට්ටක්කා ගෙඩිය ඇතුලෙන් නරක් වෙලා තියෙන්න පුළුවන්. හොලවලා බැලුවම ඇතුලෙන් වතුර ගතියට හෙලවෙන සද්දයක් ඇහෙනව නම් ඒ නරක් උන වට්ටක්කා ගෙඩියක්. කෑලි කපපු ලොකු වට්ටක්කා වල නම් මදය අපිට පේන නිසා නරක් වෙලාද නැද්ද කියල පේනවනෙ. මේ කපපු වට්ටක්ක වලිනුත් රස වගේම පිටි ගතිය වැඩි වට්ටක්කා හොඳ තද තැඹිලි පාටකින් යුක්තයි. ලා කහ පාට සුදට බර වට්ටක්කා, දළු කාලෙන් කඩපු වට්ටක්කා නිසා රස අඩුයි වගේම පිටි ගතියෙන් තොරයි. ඒ වගේම කපපු වට්ටක්ක පලුවෙ පොත්ත දිහා පැත්තෙන් බැලුවම තද කොළ පැහැයක් තියෙනවා නම් ඒ වට්ටක්ක රසින් ඉහළයි. වට්ටක්කා මසට සම්බන්ධ වෙන හරියෙදි පොත්ත ලා පාටයි නම් ඒ වට්ටක්කා දිය රහට බරයි.
4. තිත්ත උනත් ගුණයෙන් පිරි කරවිල
කොයි කරවිලත් තිත්තයි. වෙළඳපළේ තියෙන ලා කොළ පාට කරවිල එක නම් තිත්ත රසයෙන් ටිකක් අඩුයි තද කොළ පාට කරවිල වර්ගයට වඩා. කරවිල වල තිත්තකමේ තමා ගුණ තියෙනව කියන්නෙ. ලපටි කරවිල තරමක් තිත්ත ගතිය අඩුයි. මේ කියන්නෙ හොඳ තත්ත්වයේ කරවිල ගෙඩියක් තෝරගන්න හැටි. කරවිල ගෙඩියේ නැට්ට පැත්තට විරුද්ධ පැත්ත සුදු පැහැ නම්, නැට්ට පැත්තෙන් කරවිල ගෙඩිය කහ පාට වේගෙන එනව නම් ඒ කරවිල ගෙඩිය ඇතුලෙන් ඉදීගෙන එනව. කොළ පාට කරවිල ගෙඩියක උනත් නැට්ට පැත්තෙන් පොඩි ගැටිති කැල්ලක් කඩල බැලුවම ලා කහ පාට නම් ඒක ඇතුලෙන් ඉදිලා. තැනින් තැන කළු පොඩි පැල්ලම් තියෙන, තැලුම් ලකුණු තියෙන කරවිල පරණ සහ නරක්වීමට ලක් වීගෙන එන කරවිලයි. හොඳට සරුවට හැදුන කරවිල වල රැලි ගතිය තරමක් අඩුයි වගේම විශාල දිග රැලි තියෙනවා. තද ගතියෙන් අතට දැනෙන, නැට්ට වියළි හෝ ලා දුඹුරු පැහැ වෙලා නැති කරවිල ගෙඩි හැම විටම තෝරාගන්න. ඒ වගේම කරවිල ගෙඩිය දිගට නැතුව නැවිලා වගේ තියෙනවා නම් ඒ කරවිල ඇතුලෙ පණුවන් ඉන්න ඉඩ වැඩියි.
5. මල් ගෝවා/ කෝලි ෆ්ලවර් තෝරගන්නෙ මෙහෙමයි
සමහර කාල වලදි මේ එළවළුව මිලට ගන්න හිතෙන්නෙ නැති තරම් ගාණ වැඩියි. තවත් කාලෙකට දැකලම එපා වෙන තරම් වෙළඳපළේ බහුලව තියෙනව. දැන් දැන් ඩයට් කරන උදවියගෙ ප්‍රියතම එළවළුවක් බවට කෝලි ෆ්ලවර් පත් වෙලා. හදන්න ගෙනාවට සමහර වෙලාවට මේ මල් ගෝවා මැද නරක් වෙලා කළු ගැහිල අහක දාන්න වෙන වෙලාවල් නැතුවාම නෙවෙයි. මේ නිසා මල් ගෝවා ගන්න සමහරු පැකිලෙනව. මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ගත්තොත් අහක නොදා මල් ගෝව කන්න පුළුවන්.
ගෝවා මල ගුලියක් වගේ එකට නැතුව විසිරුණ ගතියයි නම්, මල් කොටස් ඈත් වෙලා නම් ඒක පරණ ගෝවා මලක්. හොඳ ගෝවා මලක් ගුලි වුන, පිරුණු ස්වභාවයකින් තමා තියෙන්නෙ. තැන තැන කහ හෝ අළු පාට වුන පුස් පැල්ලම් සහිත නම් ඒ පරණ වුන ගෝවා මලක්. ගෝවා මලේ නට්ට පැත්ත හරවා බැලුවම නටුව කොටසේ මැද කලු වෙලා නම්, ඇඟිල්ලෙන් තද කළ විට ඇතුලට එබෙනවා නම් ඒ ගෝවා මලේ මැද නරක් වෙලා. නට්ට පැත්තෙන් ඉඹල බැලුවම ගඳක් එනවා නම් ඒත් නරක් වුන එකක්. නට්ට වටේ තියෙන කොළ ටික කහ වෙලා මැලවිලා නම් හෝ තැලිලා නරක් වෙලා නම් ඒකත් පරණ වෙච්ච ගෝවා මලක්.
6. වම්බටු
ගෙදරක දානයක්, පාටියක් වගේ විශේෂ වෙලාවක නැතුවම බැරි රසවත් වගේම ගුණවත් එළවළුවක්. ඒත් ඉතින් වම්බටු කිලෝ එකක් ගෙනාවම ග්‍රෑම් 250ක් වත් පණුවො කාලා විසි කරන්න වෙන අවස්ථා වැඩියි. ඒත් වම්බටු ගනිද්දි ඒ වම්බටු ගොඩේ පණුවො විදපු වම්බටු තියෙන එක එක අතකට සුභ ලකුණක්. ඕනවට වඩා වසවිස රසායන පාවිච්චි කරල නැහැ කියල අපිට හිතට සැනසුම් සුසුමක් ගන්න ඒක එක හේතුවක්. හැබැයි වම්බටු තෝරලා ගන්න කොට පණුවො විදපු නැති, නැට්ට හොඳ කොළ පාටින් තියෙන, වියළුනු නැති නැට්ටක් තියෙන වම්බටු තෝරගන්න. අතට ගත්තම එබෙන්නෙ නැති, රැලි වැටිලා නැති, පිරුණු වම්බටු ගෙඩි නැවුම් ඒවායි. පරණ වුන වම්බටු වල නැට්ට දුඹුරු පැහැ වෙලා රැලි වැටිල තියෙනව වගේම තැනින් තැන දුඹුරු පැහැ ලප තියෙනව. එහෙම ඒව මිලදී ගන්න එපා. කරවිල වල වගේම වකුටු උන වම්බටු වල පණුවො ඉන්න තියෙන ඉඩ වැඩියි.
7. බණ්ඩක්කා තෝරගන්නකොට අගිස්ස කැඩුවම ඇතිද?
අපි හැමෝම බණ්ඩක්කා තෝරන්න දන්නම ක්‍රමේ තමා අගිස්ස චුට්ටක් කඩල බලන එක. ටකස් සද්දයක් එක්ක ලේසියෙන්ම කැඩෙනව නම් ඒ ලපටි බණ්ඩක්කා. එහෙම කැඩෙන්නෙ නැතුව නිකම්ම නැවිල යන්නෙ මෝරපු බණ්ඩක්කා. ඒත් අපි නොහිතන දේ තමයි බණ්ඩක්කා ලපටි උනත් ඇතුලෙන් නරක් වෙලා, ඇට කළු වෙලා, පණුවො කාල තියෙන්න පුළුවන්. එහෙම බණ්ඩක්කා පිටින් බැලු බැල්මට තෝර ගන්න අමාරුයි. වක් වෙලා නැවිල තියෙන බණ්ඩක්කා වල ඇතුලෙ පණුවො ඉන්න පුළුවන්කම වැඩියි. ඇද වෙලා, වකුටු වෙලා නැති කෙලින් කරල් තෝරාගන්න. තැන තැන කළු තිත් බහුල නම් ඒවගෙත් පණුවන් ඉන්න පුළුවන්. බණ්ඩක්කා ගෙනාව දවසෙම හදන්නෙ නැත්නම් දෙහි වලින් ඈත් කරල ගබඩා කරන්න. දෙහි එක්ක ගැටුනොත් මෝරන්න බලනව.
Leave a Reply