කෑම කියන්නේ සෑහෙන මිහිරි සබ්ජෙක්ට් එකක් නොවැ. කෑම කන්න වගේම ඒ ගැන කතා කරන්නත් දේවල් ගොඩක් තියනවා. පොල් සම්බලෙන් එහාට කෑමක් ගැන හිතන්නේ නැති අයට නම් නෙවේ මේ කතාව. ඇත්තටම රටක සංස්කෘතිය ගැන කතා කරනකොට කොහෙන් හරි නසරානි කෑමක් එතනට රිංගනවමයි. ඒ විදියට රටක් ගැන කියපු පමණින්ම මතක් වෙන කෑම කීපයක් ගැනයි මේ ලියවිල්ල.
1. ටාකෝස් – මෙක්සිකෝව

Image Source – pixabay.com
ටාකෝස් ගැන රටක් විදියට සෑහෙන මෙව්වා එකකින් කතා කරන්න පටන් අරගෙන දැන් ටික කාලයක් වෙනෝ. එහෙම වුණේ කොළඹට ආපු අලුත් හෝටලේ නිසයි. මෙක්සිකෝව කිව්වම ඔලුවට අලි තොප්පියක් දාගෙන ආතල් එකේ ඉන්න බුවාලා බුවීලා මතක් වෙනවා වගේම ටාකෝ ගැනත් මතක් වෙනවා. මෙක්සිකෝවේ කඩචෝරුවක් විදියට ජන්ම ලාභය ලබලා, අද ලෝකේ පුරාම උන්මාදයක් බවට පත් වෙච්චි ටාකෝ වෙනුවෙන් ජාතික ටාකෝ දිනේ කියලා එහෙකුත් මෙක්සිකෝවේ තියනවා. ඇමරිකාවත් මේ දිනය සමරනවා. ටාකෝ කියන්නේ සරලවම ටොර්ටිලා එහෙකට දාපු පිරවුමක්. සාම්ප්‍රදායික ටාකෝවල සැර ගතියෙන් යුතු පිරවුමක් තිබ්බට මොකෝ දැන් දැන් පැණිරහ එව්වත් දානවා.
2. සුෂී – ජපානය

Image Source – pixabay.com
ඒ කිව්වේ අමු මාළු එක්ක බත්, හෙන ගෝත්‍රික ගතියක් දැනුනට මොකෝ ලංකාවේ ජපන් අවන්හල්වලට ගොඩ වැදිලා මොණර කොළ එලියට බස්සලා කන්න තරම් සුෂී ඉදිරියෙන් ඉන්නවා. සුෂී එක්කම අයියා මලෝ වගේ බැඳීමක් තියාන ඉන්න අනෙක් කෑම වර්ගය තමයි සෂිමි. එතන බත් නැහැ අමු මාළු විතරයි. අමුයි කිව්වම මූදෙන් අල්ලපු ගමන් ප්ලේට් එකට වගේ අප්‍රසන්න නැහැ. දුම් ගහපු සැමන් මාළු, වසාබි, විනාකිරි මුසු බත සාමාන්‍ය ජීවිතයේ ජපන් ගෙදරක එක් කෑම වේලක්. සුෂී රෝල් එකක් ඇතුළට ඉස්සෝ, අලිපේර, කැරට් වගේ අයිටමුත් දානවා.
3. නාසි ගෝරෙන්ග් – ඉන්දුනීසියාව

Image Source – pixabay.com
අපි නාසි ගුරාන් කියලා අමු සිංහලට හරවාගෙන ඉන්න, කොහෙන් ආවද කියලා දන්නේ නැතත් අපේ කෑමක් කරගෙන අහවර, ලංකාවේ අවන්හල්වල නොවරදින කෑමක් තමයි මේ. නාසි කියන්නේ බත්වලට. ගෝරෙන්ග් කියන්නේ බැදපු කියන අර්ථය. එතකොට මේ කතා කරන්නේ ඉන්දුනීසියාවේ ෆ්‍රයිඩ් රයිස් ගැන. මස් වර්ග, ඉස්සෝ, දැල්ලෝ, එළවලු, සෝයා සෝස් යහමින් දාලා සාදාගන්නා මේ කෑම, චයිනීස් ෆ්‍රයිඩ් රයිස් දිහා බලාන හදාගත්තු කෑමක් කියලයි කියන්නේ. ඉන්දුනීසියාවේ යටත්විජිත කාලයේ තමයි ජනප්‍රිය ආහාරයක් විදියට ලෝක ප්‍රසිද්ධ වෙන්නේ.
4. පිරෝගි – පෝලන්තය

Image Source – pixabay.com
පිරෝගි ලංකාවේ පැටිසක් වගේම තමයි. අල, බිම්මල්, මස් වර්ග, චීස් වගේ දේවල් අන්තර්ගත කරලා තිරිඟු පිටිවලින් හදාගත්තු පිරෝගී පැටිස්වලින් වෙනස් වෙන්නේ මේක ඩම්ප්ලින්ග් එකක් වගේ ඉස්සෙල්ලාම තම්බාගන්න නිසයි. පිරෝගී හඳුන්වන්නේ පෝලන්තයේ වඩාත් ජනප්‍රියම ආහාර වර්ගය විදියටයි. දහතුන්වන සියවසේ ඉඳන් පෝලන්තය පිරෝගී හදනවා. ලෝකය පුරා පිරෝගී උන්මාදයක් තිබුණත්, නියම පිරෝගී රසය ලැබෙන්නේ පෝලන්තයෙන් විතරයි.
5. පිට්සා – ඉතාලිය

Image Source – pixabay.com
ඉතාලිය නානාප්‍රකාර කෑමවල ලොකු අප්පොච්චි. ඒ අතරින් පිට්සාවලට තියෙන ලෝක ඉල්ලුම එක්ක අනික් කෑමවලට හැරෙන්නවත් බෑ. ඉතාලියෙන් බැහැර රටක උනත් අවන්හලක දී හොයන්නේම ඉතාලි රෙසිපි වෙනස් නොකර හදන ඉතාලි පිට්සා තමයි. ලෝක ප්‍රසිද්ධ පිට්සා මාගරීටා ඒ නම ලබලා තියෙන්නෙත් ඉතාලියේ උම්බර්තෝ රජතුමාගේ මෙහෙසිය වන මාගරීටා රැජිනගේ නාමයෙන්. දර පෝරණුවලින් පිට්සා හදන සම්ප්රදාය දැන් දැන් අඩු වුණත්, ඉතාලි ගතිය ගන්න දර පෝරණුවක් ඕනිමයි.
6. රැටටුයිල් – ප්‍රංශය

Image Source – pixabay.com
මේ නම අහලා පුරුද්දක් ඇති නම් ඒ මේ නමින්ම ආපු චිත්‍රපටය නිසයි. ඒත් ප්‍රංශයට අනන්‍ය මේ නම ම ඇති ආහාර වර්ගයකුත් තියන බව දැනගෙන හිටියද? මේක එක්තරා විදියකට එළවලු ස්ටූ එකක්. රැටටුයිල් වර්ගත් බොහොමයක් වෙච්චි. ඩිස්නි චිත්‍රපටියේ තද ඩයල් එකක් පිනවන්න හදන්නෙත් එක වර්ගයක රැටටුයිල් එකක් තමයි. සුකිනි, වම්බටු, අල, බෙල්පෙපර් වගේ දේවල් මේ සඳහා යොදාගන්නවා.
7. කිම්චි – කොරියාව

Image Source – pixabay.com
කොරියානු චිත්‍රපට උන්මාදයෙන් පෙළෙන අයට නම් අමුතු කෑමක් නෙවේ. කිම්චි මොන තරම් ඒ අයගෙ ජීවිතයට සම්බන්ධ ද කිවුවොත්, චිත්‍රපටයක අවස්ථා කීපයකදීම නළුවයි නිළියයි කිම්චි කනවා දකින්න පුළුවන්. කිම්චි කියන්නේ ගෝවා ආශ්රයෙන් හදාගන්නා කෑමක්. ක්‍රම හැටහුටහමාරකට හදාගන්නත් පුළුවනි. සයිඩ් ඩිෂ් එකක් විදියට යොදාගන්නවා හරි හරියට. කොරියාවේ උප ප්‍රධාන ආහාරය විදියටයි සැලකෙන්නේ.
Cover Image Source – pixabay.com
Leave a Reply