කම්මැලි වෙලාවට, හදිස්සි වෙලාවට ඉක්මණින්ම හදාගන්න පුළුවන් බත් වර්ග 5ක්

ලංකාවෙ අපිට මොනා කෑවත් බත් ටිකක් බඩට දාගත්තෙ නැත්නම් හිතෙන්නෙම හරියට කෑවෙ නෑ කියලමයි. ඒත් සමහර දවස් වලට බත් ටිකක් උයාගන්නවත් වෙලාවක් නැති තරම් වැඩ රාජකාරි. එහෙම නැත්නම් ගෙදරට හදිස්සියෙන් එන අමුත්තෙක්ට කෑම ටිකක් දෙන්න උනොත් විශේෂ දේවල් හද හද ඉන්නත් වෙලා නෑ. එහෙම දඩිබිඩි කලබල වෙලාවලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් බත් වර්ග ටිකක් තමයි මේ අරගෙන ආවෙ.

 

1. කිච්ඩි රයිස්

මේක ඉන්දියන් බතක්. පරිප්පු වලින් වගේම මුං ඇට, කව්පි වගේ ධාන්‍ය එකතු කරලත් හදාගන්නව. වැඩි දෙයක් උය උය ඉන්න වෙලාවක් නැති දවසකට කියාපු බත් එකක් මේ.  බිත්තරයක් හරි සොසේජ් එකක් හරි බැදගත්තම හොඳටම ඇති මේ බත් එක කන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හාල් කප් 2
  2. පරිප්පු කප් 1
  3. හීනියට කපාගත් කැරට්, බෝංචි, ගෝවා
  4. කපාගත් ළූණු
  5. තලාගත් සුදුළූණු
  6. රම්පෙ, කරපිංචා
  7. සූදුරු තේ හැඳි 1/2
  8. අබ තේ හැඳි 1/4
  9. කරදමුංගු කරල් 4,5
  10. කරාබු නැටි 6
  11. බේලීෆ් එකක් (අවශ්‍යම නෑ)
  12. ගරම් මසාලා තේ හැඳි 1/2
  13. කහ චුට්ටක්
  14. කපාගත් වියලි මිරිස් කරල් තුනක්
  15. රස අනුව ලුණු
  16. ගී හෝ තෙල්
  • හාල් සහ පරිප්පු වෙන වෙනම හෝ එකට හොඳින් සෝදාගෙන එක භාජනේකට දාල කලවම් කරගන්න.  සාමාන්‍යයෙන් බත ඉදෙන්න අවශ්‍ය ගාණටම වතුර තියල ලුණු පොඩ්ඩක් එකතු කරන් බත පිසගන්න.
  • වෙනම භාජනේක තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ඇට ටික එකතු කරන් පුපුරනකොටම වියලි මිරිස්, සූදුරු, කරදමුංගු, කරාබුනැටි, බේලීෆ්, ළූණු සහ රම්පෙ කරපිංචා එකතු කරගන්න.
  • සුවඳ එන ගාණට තෙම්පරාදු වෙනකොට ඒකට සුදුළූණු සහ කපාගත් එළවළු ටික එකතු කරගන්න. මේකටම ගරම් මසාලා සහ කහ එකතු කරන් එළවළු ටික එක්ක රස අනුව ලුණු පොඩ්ඩක් එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • අවසානයට පිසගත් බත් සහ පරිප්පු මිශ්‍රණය එකතු කරගෙන කලවම් කරගන්න.

 

2. කම්මැලි කහබත

කලබල වෙලාවක ඉක්මණින්ම සුවඳට රසට කහබතක් හදන විදිය තමා මේ. මේ කහබත හදන හරිම ක්‍රමය නෙවෙයි කියලත් මතක් කරනව ඔන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හාල් කප් 2
  2. කහ තේ හැඳි 1/4
  3. කරදමුංගු 4
  4. කරාබුනැටි 6
  5. කුරුඳු පොතු පොඩි කෑල්ලක්
  6. රම්පෙ කෑල්ලක්
  7. බටර් පුරවල මේස හැන්දක්
  8. ලුණු
  9. පොල්තෙල් තේ හැන්දක්
  • හාල් හොඳට සෝදගෙන බටර් හැර අනෙක් සේරම එකතු කරගෙන බත් එක පිසගන්න.
    බත ඉදුනට පස්සෙ උණුවෙන්ම තියෙද්දි බටර් ටික එකතු කරගෙන හොඳට කූරු ගාගන්න. රසවත් සුවඳවත් කහබතක් ලෑස්තියි.

 

3. කරවල තෙම්පරාදු බත්

මේක නම් ඔය දවල් උයපු පරිප්පු ටිකක් කරවල තෙල් දැමුමක් වගේ ඉතුරු නම් රෑට කන්න හදාගන්න පුළුවන් රස බත් එකක්. නැත්නම් මේ කියන විදියට ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කට්ට කරවල හෝ තලපත් කරවල කෑලි කීපයක්
  2. හාල් කප් 1
  3. පරිප්පු කප් 1/2
  4. ළූණු
  5. සුදුළූණු
  6. කරපිංචා
  7. බිත්තරයක්
  8. කහ
  9. අමු පහේ චුට්ටක්
  10. කෑලි මිරිස් සැර අනුව
  11. අබ
  12. ලුණු
  • හාල් කප් එකටම පරිප්පුත් එකතු කරන් හොඳින් සෝදල ලුණු පොඩ්ඩකුත් එකතු කරගෙන බත පිසගන්න.
  • කරවල ටික හොඳින් සෝදල උණුවතුර ටිකක දාල විනාඩි දහයක් විතර වහල තියන්න.
    තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට පොඩියට කඩාගත්ත කරවල ටික එකතු කරගෙන ඒකටම කරපිංචා ටිකත් එකතු කරන් හොඳට බැදගන්න.
  • මේකට අබ, ළූණු, සුදුළූණු එක් කරගෙන තෙම්පරාදු කරන් ඒකටම බිත්තරය කඩා එක් කරගෙන ස්ක්‍රැම්බල් කරගන්න. අමුපහේ, කෑලි මිරිස්, කහ පොඩ්ඩක් එකතු කරන් හොඳින් තෙම්පරාදු කරගෙන අවසානයට පිසගත් බත් සහ පරිප්පු මිශ්‍රණය එකතු කරගන්න.

 

4. ලේසියෙන්ම එළවළු බත්

මේක එළවළු බතක් මිසක් ෆ්‍රයිඩ් රයිස් එකක් නෙවෙයි. එළවළු බත හදන හරිම ක්‍රමයත් නෙවෙයි. ඉක්මණට කලබලේට හදාගන්න පහසු බත් එකක්. ඉස්කෝලෙ යන පොඩ්ඩො ඉන්න අම්මලට නම් මේ බත් එක වටීවි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හාල් කප් 2
  2. සිහින්ව කපාගත් කැරට්, බෝංචි, ලීක්ස්
  3. කරදමුංගු කරල් 4
  4. කරාබුනැටි 6
  5. කුරුඳු පොතු කෑල්ලක්
  6. රම්පෙ
  7. බටර් මේස හැඳි 1 1/2
  8. ලුණු
  9. ගම්මිරිස් ඇට කීපයක්
  • හාල් හොඳින් සෝදා එළවළු සහ බටර් හැර අනෙක් සියල්ල එක් කර සාමාන්‍ය ආකාරයට පිසගන්න.
  • බත් එක ඉදුණු විගසම එකට මිශ්‍ර කරගත් එළවළු සමඟ බටර් එක් කර බත හොඳින් කූරු ගා මිශ්‍ර කරගෙන රස්නෙන්ම වහල තියන්න.
  • එළවළු සිහින්ව කපල නිසා බතේ රස්නෙන්ම තැම්බෙනව. මේ බත් එක හරිම රසයි වගේම සුවඳයි.

 

5. වන්පොට් චිකන් මසාලා රයිස්

අමුත්තෙක්ට දෙන්න වගේම ජාති තුන හතරක් උයන්න වෙලාවක් නැති දවසක ලේසියෙන්ම හදන්න පුළුවන් බත් එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හාල් කප් 3
  2. කපාගත් චිකන් 500g
  3. තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැන්දක්
  4. කුරුඳු පොතු අඟල් දෙකක්
  5. කරදමුංගු 5
  6. කරාබුනැටි 6
  7. බේ ලීෆ් එකක්
  8. කරපිංචා කොළ ටිකක්
  9. කපාගත් අමුමිරිස් කරල් 2
  10. ගරම් මසාලා තේ හැඳි 1/2
  11. මිරිස් කුඩු තේ හැඳි 1/2
  12. කහ තේ හැඳි 1/4
  13. කොත්තමල්ලි කොළ මිටක්
  14. ප්ලේන් යෝගට් හෝ මී කිරි මේස හැන්දක්
  15. රස අනුව ලුණු
  • හොඳින් සෝදාගත් හාල් වලට චිකන් සහ අනෙක් සියළුම දේවල් එක් කරගෙන සාමාන්‍යයෙන් බත් ඉදෙන්නට තියන ප්‍රමාණයට වඩා බාගයක් වැඩියෙන් වතුර එක් කරගෙන බත පිසගන්න.
  • ඉදුණු පසු හොඳින් බත මිශ්‍ර කරගන්න. කැමති නම් බත පිසුණු පසු බැදගත් කජු ටිකක් සහ බැදගත් ළූණු ටිකක් එක් කරගන්න.