හොඳ අත්සනක් නිර්මාණය කරගන්නේ කොහොමද? මෙන්න උපදෙස්!

එක් එක් මනුස්සයෙක් විදියට ගත්තොත් අපිටම කියලා අනන්‍ය වෙන දේවල් අතරින් එකක් තමයි අපේ අත්සන කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක්ට එක අත්සනක් තියෙන්න බැරි තරම්. ඒ කියන්නේ හොර අත්සන් ගහන අය ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක් පාවිච්චි කරන අත්සන. අන්න ඒ සුවිශේෂී භාවය හින්දම තමයි අපේ ජීවිතේ නිල වැඩකටයුතු වලට, නෛතික දේවල් වලට සාක්ෂියක් විදියට අපේ අත්සන පාවිච්චි වෙන්නේ. අපි ඒ අත්සන ගහලා කියන්නේ ඒ ලේඛනයේ තියෙන දේට තමන් එකඟ වෙනවා සහ ඒ එකඟ වෙන පුද්ගලයා තමන්මයි කියන එක තමා. අපි මීට කලිනුත් lifie.lk එකේ අත්සන ගැන තොරතුරු කතා කරලා තියෙනවා.

හරි, කොහොම වුනත් අපි අත්සනක් මුලින්ම ගහන්නේ ඉස්කෝලෙ යන කාලෙදිනේ. එතකොට ඉතින් මෝඩ පහේ අත්සන් හදාගත්තත්, වැඩිහිටි වෙනකොට වත් වඩාත් හොඳ, වඩාත් අනන්‍යතාවයක් පෙන්වන, සමහර වෙලාවට වඩාත් ආකර්ෂණීය අත්සනක් නිර්මාණය කරගන්න ඕන. මොකද, ඔය කෙනෙක්ගේ අත්සන වුනත් ඒ කෙනාව නියෝජනය කරන අනන්‍යතාවයක්නේ. අන්න ඒ නිසා අත්සනේ වුනත් හොඳ කොලිටියක් තියෙන්න ඕන.

ඉතින් එහෙම හොඳ කොලිටියක් තියෙන, ප්‍රායෝගික අත්සනක් නිර්මාණය කරගන්න උපදෙස් කීපයක් තමයි මේ.

 

1. මොන බාසාවෙන්ද?

සාමාන්‍යයෙන් ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ වැඩි දෙනෙක් අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන් තමයි. හැබැයි ඇත්තටම එහෙම ඉංග්‍රීසියෙන්ම අත්සන් කරන්න ඕන කියලා දෙයක් නෑ. ඇත්තටම අත්සනකට භාෂාවක් නෑ. තමන් හීබෘ භාෂාවෙන් අත්සන ගැහුවත්, ඒක තමන්ගේ අත්සන නම් වැලිඩ්. හැබැයි ඉතින් අත්සනක් නිර්මාණය කරගන්න කලින් තීරණය කරන්න ඕන මොකද්ද තමන් අත්සන නිර්මාණය කරන්න කැමති භාෂාව කියලා. සිංහලෙන් වුනත්, දෙමළෙන් වුනත් වෙන භාෂාවකින් වුනත් කමක් නෑ. ඒක තමන්ගේ අනන්‍යතාවයත් එක්ක ගැලපෙන්න තමයි ඕන. උදාහරණයක් විදියට අපි හිතමු සිංහල භාෂා ලේඛකයෙක් කියලා. එතකොට සිංහලෙන් අත්සනක් තියෙන එක වඩා වටිනවා. නැද්ද? 

 

2. මොන නමද?

ඊලඟට හිතන්න ඕන තමන්ගේ නමේ මොන කොටසද, සම්පූර්ණ නමමද අත්සනට ගන්නේ කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ අයගේ සම්පූර්ණ නම සෑහෙන්න දිගයිනේ. එතකොට සද්ද විද්ද රාජපක්ස පලග පතිර අඹ කුමාර රංජනි ලියෝ‌න් සිල්වෙස්ටර් අල්පො‌න්සු කියල අස්සනක් ගහන්න බැහැනේ. ඒ නිසා අත්සනට එන්න ඕන කොටස හිතන්න ඕන. ලියෝන් අල්පොන්සු කියල ගන්න පුළුවන්. එල්. අපොන්සු කියලා ගන්න පුළුවන්. එල්.එස්.අපොන්සු කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමන්ට පුළුවන් අත්සනට එන්න ඕන නමේ කෑල්ල තීරණය කරන්න.

 

3. සරල බෑ

මෙන්න මේක ඉතාම වැදගත්. අත්සනක් අනවශ්‍ය විදියට සංකීර්ණ වුණහම මොකද වෙන්නේ කියන එක අපි පහළින් කියලා තියෙනවා. හැබැයි ඒ වගේම අත්සනක් අනවශ්‍ය විදියට සරල වෙන එක හරියන්නෙත් නෑ. ඔය සමහරු ඉන්නවා අත්සන කියලා කරන්නේ තමන්ගේ මුල් නම ඔහේ ලියනවා. ඉතින් ඕක තමන්ටම අනන්‍ය වෙන්නෙත් නෑ, ඒ වගේම ආරක්ෂිත වෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ඔහේ ලියන සරල අත්සනක් සාර්ථක අත්සනක් වෙන්නෙ නෑ කියලා හිතේ තියාගන්න ඕන.

 

4. වැල් අකුරු

අත්සන් ගහනවනම් අනිවාර්යෙන් වැල් අකුරු ලියන්න පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕන කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඇත්තටම ඉස්කෝලෙ යනකොට පුංචි කාලෙදිම වැල් අකුරු ලියන්න උගන්නනවා. ඒ පාඩම ඉගෙන ගත්තු නැති අයට වැල් අකුරු ලියන්න සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් තියෙන අභ්‍යාස කරවන පොතක් අරන්, ඒකේ වැල් අකුරු අනුකරණය කරලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. 

දැන් අත්සනට ආවොත්, වැල් අකුරු වලින් අත්සන ලියන එක අවශ්‍ය වෙන්නේ, අත්සන කියන්නේ සාමාන්‍යයෙන් එක පෑන් ඉරකින් හෝ දෙකකින් ලියන දෙයක් හින්දා තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අත්සනක් ගහන කොට පෑන උස්සන්නේ නැතුව එක ඉරෙන්ම ඉවර කරන එක තමයි වෙන්නේ. අන්න ඒකෙන් තමයි අත්සනක සුවිශේෂී ගතිය එන්නේ. අන්න ඒකට ඉතින් වැල් අකුරු පුහුණුව අනිවාර්යයි.

 

5. නිර්මාණශීලී වෙන්න ඕන

මෙන්න මේක තමයි ඊලඟ පාට් එක. අත්සන නිර්මාණශීලී වෙන එක. මෙතනදී මුලින්ම හිතලා බලන්න තමන්ට ඕන මොනවගේ අත්සනක්ද කියලා. ඒ කියන්නේ පහළ සිට ඉහළට යන අත්සනක්ද,  පොඩියට පටන් අරගෙන ලොකුවට ඉවර වෙන අත්සනක්ද, තඩි අකුරු වලින් පටන් අරගෙන ක්‍රමයෙන් හීනි වෙලා යන අත්සනක්ද කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ අස්සනට යටින් ඉරක් ඕනෙද, වක්‍රයක් ඕනෙද වගේ දේවලුත් හිතන්න පුළුවන්. අත්සනක් ගහනකොට හොඳට මතක තියාගන්න ඕන, අත්සනක් කියන්නේ හැමෝටම තමන්ගේ නම කියවන්න පුළුවන් වෙන්න ලියන දෙයක් නෙවෙයි කියන එක. අත්සන සම්පූර්ණයෙන්ම දොස්තර බේත් තුණ්ඩුවක් වගේ වුණත් කමක් නෑ. ඒක තමන්ට අනන්‍ය සහ සුවිශේෂී වෙන්න තමයි ඕන. අන්න ඒ නිසා, ඔය සමහර අකුරු වෙනස් විදියට ලියන්න එහෙම ඕන වුනත් ගැටළුවක් නෑ. කරලා බලන්න.

ඒ වගේම සමහරුන්ට තමන්ගේ අනන්‍යතාවයට ගැලපෙන විදියේ සංකේත පවා අත්සන ඇතුළට එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි දන්න සංගීත සර් කෙනෙක් හිටියා මාතලාව කියලා. එයා සිංහලෙන් අත්සන ගහන්නේ. එතකොට ම යන්න ලියන්නේ අර බටහිර සංගීතයේ තියෙන ක්ලෙෆ් (Clef) එකේ හැටියට තමයි. ඕන නම් රයිටර් කෙනෙක්ට තමන්ගේ අත්සන හරහට කටු පෑනක් ඉරි කෑලි දෙක තුනකින් ගහන්න පුළුවන්. කිසි ගැටළුවක් නෑ. හැබැයි අත්සන අනවශ්‍ය විදියට සංකීර්ණ කරගන්න එපා. එච්චරයි!

 

6. මොන අකුරුද හයිලයිට් වෙන්න ඕනේ?

සාමාන්‍යයෙන් අත්සනක් ගහනකොට ඒකේ රටාව අනුව එක අකුරක් හෝ අකුරු කීපයක් හයිලයිට් වෙලා පේනවා දැකලා තියෙනවද. රොබට් අත්සන් කළොත් ආර් අකුර ලොකුවට ලියයි. පසන් අමරසූරිය ප අකුරයි අ අකුරයි ලොකුවට ලියලා, අනික් ඔක්කොම වැල් අකුරු වලින් කුඩාවට ලියයි. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන හේතුව වෙන්නේ, අත්සනේ සමස්ත පෙනුමටත්, හැඩයටත් මේ හයිලයිට් කරන අකුරු බලපාන එක තමා. මේ හයිලයිට් වෙන අකුරු ගැන හිතනකොට හැම තිස්සෙම නම පටන් ගන්න අකුරම හයිලයිට් වෙන්න ඕන නෑ. මැද අකුරක් වුනත්, අග අකුරක් වුනත් අවුලක් නෑ. මේකත් හිතන්න ඕන ඔය උඩින් කියපු නිර්මාණශීලී සීන් එකත් එක්ක තමයි.

 

7. මුලින් එක්ස්පෙරිමන්ට් කීපයක් කරලා බලමු

දැන් පැන්න ගමන් සුපිරි අත්සනක් නිර්මාණය කරන්න අපි චාරුලේඛයට අධිපති දෙයියොද, නෑනේ. අන්න ඒ නිසා, විවිධ විදියට තමන්ට හිතට සෙට් වෙන අත්සන් කීපයක් ගහලා බලන්න වෙනවා. එක එක විදියට, එක එක අකුරු ලොකු පොඩි කරමින්, එක එක අකුරු හයිලයිට් කරමින් අපිට එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්. මෙහෙම එක්ස්පෙරිමන්ට් කළාට පස්සේ පුළුවන් ඒ අතරින් තමන්ට හොඳටම සෙට්‍ වෙන අත්සන තෝරගන්න. තමන්ට ඒ ගැන අදහසක් ගන්න අමාරු නම්, ඔය අත්සන් ගහනවා වගේ වැඩකට එක්ස්පර්ට් කෙනෙක් සෙට් කරගෙන තමන්ගේ අවශ්‍යතාවයන් ඔය උඩ කියපු කරුණු වල විදියට ඉදිරිපත් කරලා අත්සන් එක්ස්පෙරිමන්ට් කීපයක් හදාගන්න පුළුවන්. අන්න ඊට පස්සේ එයින් තමන් කැමති එකක් තමන්ගේ විදියට හදාගන්න පුළුවන්.

 

8. තමන්ටත් ගහන්න බැරි සංකීර්ණ අත්සන් එපා

මේක අපි උඩිනුත් මතක් කළා. අත්සනක් ඕනවට වඩා සරල වුනොත් කචල් වගේම තමයි, අත්සනක් ඕනවට වඩා සංකීර්ණ වුනොත් ඒත් කචල්. විශේෂයෙන්ම තමන්ටවත් අත්සනේ රටාව මතක හිටින්නේ නැති විදියට අත්සන සංකීර්ණ වුනොත් කොහොමද? ඊටත් හපන් අත්සන කියන්නේ තත්පර දෙකෙන් ගහන්න පුළුවන් එකක් වෙන්න ඕන. එහෙම නැතුව චිත්‍ර අඳිනවා වගේ අත්සන් අඳින්න බෑ. ඉතින් තව කෙනෙක්ට හොරට අනුකරණය කරන්න බැරි ඒත් තමන්ට පහසුවෙන් ගහන්න පුළුවන් සංකීර්ණ අත්සනක් හදාගන්න එක කිසි අවුලක් නෑ. ඕනවට වඩා වැඩේ සංකීර්ණ කරගන්න යන්න එපා. එච්චරයි! 

 

9. ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ඇන්ඩ් ප්‍රැක්ටිස්

ඔන්න අත්සන හදාගත්තා. දැන් අන්තිම කතන්දරේ වෙන්නේ හදාගත්තු අත්සන ඇඟට පත්තියම් කරගන්න එක. ආන්න ඒකට පුතෝ හිස් පොතක් හරි හිස් කොළයක් හරි අරගෙන අත්සන ප්‍රැක්ටිස් කරන්න වෙනවා. එක පාරක් දෙපාරක් තුන්පාරක් දහපාරක් නෙවෙයි, අත්සන ඇස් පියාගෙන වුනත්, නොකල්පනාවෙන් වුනත් ගහන්න පුළුවන් විදියට දෙසිය පාරක් හරි ප්‍රැක්ටිස් කරන්න වෙනවා. දැන් අත්සන පොඩ්ඩක් අතට හුරු වුනාට පස්සේ ඉතින් අවුලක් නෑ. මොකද, ඊට පස්සේ හැමදාම අත්සන ගහන්න ඔටෝම ප්‍රැක්ටිස් එකක් ලැබෙනවනේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *