දැන් ඔය ගංජා තියෙනවනේ. ඉතින් ගංජා කියලා නම කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ හඳට යන රොකට්. ඒ කිව්වේ ගංජා ඔතලා බිව්වහම දැනෙන්නේ කොහොමද කියන එක තමයි. ඇත්ත, ලංකාවේ ගොඩක්ම ගංජා වලින් ගන්න ප්‍රයෝජනේ ඔතලා බොන එක තමයි. හැබැයි ලංකාවේ ගංජා ඔතලා බොන එක විතරක් නෙවෙයි, ඔතලා බොන අභිලාශයෙන් වැවීම, ප්‍රවාහනය, ලඟ තබා ගැනීම, බෙදාහැරීම වගේ හැම දේමත් නීතියෙන් තහනම් කියලා අමතක කරන්න එපා.
හරි. ඔය ගංජා වලට සෑහෙන්න දීර්ඝ අතීතයක් තියෙනවනේ. සංස්කෘත වලින් ත්‍රෛලෝක විජයපත්‍ර කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම මත් වෙන්න ගොඩක් වෙලාවට පාවිච්චි වුණාට, ගංජා පැළෑටිය හරිම අපූරු එකක්. මත් වෙන කෑල්ල විතරක් නෙවෙයි තියෙන්නේ, වෙන ප්‍රයෝජන සෑහෙන්න තියෙනවා. දැන් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරියෝ එහෙමත් කියනවනේ ගංජා වවලා, අපනයනය කරලා විදේශ විනිමය හොයමු කියලත්. අන්න ඒ නිසා, අපිත් හිතුවා ගංජා වල ඔතලා බොන එක ඇරෙන්න තියෙන නීතිවිරෝධී නොවෙන ප්‍රයෝජන මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
1. ඖෂධ ගංජා
ඇත්තටම මෙඩිකල් මරිහුවානා කියලා වෙන රටවලත් හඳුන්වන ගංජා වල ඖෂධීය ගුණ තියෙනවා. ලංකාවේ ආයුර්වේද වෙදකමේත් ගංජා එකතු කරපු බේත් හේත් පාවිච්චි වෙනවා. ඒ නිසාම තමයි ඔය ආයූර්වේද වෛද්‍යවරුන්ට සීමිතව ගංජා තබාගන්න අවසර දීලා තියෙන්නේ. දැන් ඔය ගංජා පැළෑටියේ එකිනෙකට වෙනස් රසායනික සීයකට වඩා තියෙනවලුනේ. කැනබිනොයිඩ්ස් කියලා හැඳින්වෙන්නේ එව්වා තමයි. මේවැයින් Delta-9-tetrahydrocannabinol (THC) සහ cannabidiol (CBD) තම ප්‍රධාන වෙන්නේ. ඇමරිකාවේ දුර්ලභ මීමැස්මොර තත්ත්වයන්ට ප්‍රතිකාර විදියට ඖෂධ නිෂ්පාදනයටත් ඖෂධීය ගංජා වලට අවසර ලැබිලා තියෙනවා. ඒ ඇරෙන්න සමහර විශේෂඥයෝ මත පළ කරනවා ඇල්සයිමර්, කැන්සර්, ග්ලූකෝමා සහ තවත් බොහෝමයක් ලෙඩ වලට ඖෂධ නිෂ්පාදනය කරන්නත් ඖෂධීය ගංජා පාවිච්චි කරන්න හැකි වෙයි කියලා.
2. උයන්න දාන ගංජා
මේක නම් ඉස්සර අපේ ආච්චිල සීයලා එහෙමත් කියනවා අපිට ඇහිලා තියෙනවා. ගංජා කොළ කෑම උයනකොට ඖෂධීය පැළෑටියක් විදියට භාවිතා කරනවා කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, මස් උයනකොට මස් හොද්දට ගංජා කොළ ටිකක් එකතු කරන පුරුද්දක් ඉස්සර තිබිලා තියෙනවා. ගංජා ටිකක් දැම්මහම මස් හොඳට මෙළෙකට උයන්න පුළුවන් කියලා අපි අහල තියෙනවනේ. ඒ ඇරෙන්න ඔය කංසා බටර් වගේ නිෂ්පාදන ගැන එහෙමත් අපිට අහන්න ලැබෙනවා. එතකොට ඔය හෙළ වෙදකම වගේම, හෙළ ආහාර පාන ගැන කතා කරන, ඒ ගැන දන්න අය එහෙමත් කියනවා, කෑමට ගංජා කොළයක් දෙකක් එකතු කරගන්න එක හරියට ඔය කොත්තමල්ලි කොළ, සැල්දිරි කොළ, බේසිල් කොළ වගේ ඖෂධීය පැළෑටි කෑම උයන්න එකතු කරනවා වගේම රස, සුවඳ වැඩි කරන ක්‍රමයක් කියලා. ඒ වගේම ගුණත් තියෙනවා කියලා!!
3. ගංජා බියුටි
විශ්වාස කළත් නොකළත්, ඔය රූපලාවණ්‍ය නිෂ්පාදන වලටත් ගංජා පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ලංකාවේ නැතත් වෙන රටවල තියෙනවා. ඇත්තටම ගංජා ශාකයෙන් නිස්සාරණය කරගන්න කැනබිඩෝල් තෙල් තමයි ඒවලට භාවිතා කරන්නේ. දැන් ගංජා වලට ශරීරයේ වේදනාවන් එහෙම නැති කරන්න පුළුවන් ගුණයක් තියෙනවා කියලා කියනවනේ. එතකොට අන්න ඒ වගේ ඖෂධීය ගුණයන් සම්බන්ධයෙන් වගේම, සමේ රැකවරණය සලසන්නත් ගංජා වලට පුළුවන් කියලා විශ්වාස කෙරෙනවා. අන්න ඒ හින්දා තමයි කැනඩිඩෝල් බියුටි කල්චර් නිෂ්පාදන, කැනබිඩෝල් ෆේස් කෙයාර්, ස්කින් කෙයාර් නිෂ්පාදන හැදෙන්නේ. හැබැයි මේවා තනිකරම ගංජා කොළ අඹරලා ඇඟේ ගාන ක්‍රීම් හදනවා වගේ සීන් නෙවෙයි. කැනබීස් ඇතුළත් කරපු බියුටි කල්චර් නිෂ්පාදන විදියට අපිට මෙව්වා අඳුනගන්න පුළුවන්.
4. ගංජා ඩ්‍රින්ක්ස්
දැන් ඔය වෛද්‍යවරු ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි, ඇත්තටම ගංජා දීර්ඝකාලීන පාවිච්චියෙන් අවුල් ඇතිවෙන්නෙත්, ඇබ්බැහිකාරකයක් වෙන්නෙත් ඒක ඔතලා දුම විදියට බොන කොට කියන එක. හැබැයි එහෙම නැතුව කෑම එක්ක කෑවට, බිව්වට අවුලක් වෙන්නෙ නෑ. ඉතින් ඔය කතන්දරෙත් එක්ක, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල එහෙම ගංජා නැතිනම් කැනබීස් වලින් හදපු බීම වර්ග පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න පටන් ගැනුනා. තනිකරම ගංජා දියකරපු ඩ්‍රින්ක්ස් නෙවෙයි, ගංජාත් ඇතුළත් කරලා හදපු බීම වර්ග. නිකමට හිතන්නකෝ කැනබීස් කෝලා, කැනබීස් පන්ච් වගේ බීම කියලා. ඒ වගේම, මේ ගංජා දාලා හදන්නේ ඇල්කොහොල් අඩංගු බීම, ඒ කියන්නේ කොක්ටේල්ස් නෙවෙයි. කොහොම වුණත්, ඇමරිකාවෙත් ගංජා තාම නීතිගත නැති නිසාම ගංජා ඩ්‍රින්ක්ස් රැල්ලක් විදියට නැගලා ගිහින් නෑ. හැබැයි එහෙම ප්‍රඩක්ට්ස් තියෙනවා කියලා ඔළුවෙ තියාගෙන ඉන්ඩ!
5. බල්ලන්ට ගංජා
දැන් අපි ගංජා ගහනවා මදිවට බල්ලොන්ටත් ගංජා ගස්සවන්නද යන්නේ කියලද හිතුවේ? ඇත්තටම මේවත් ඉතින් ගංජා නීතිගත රටවල් වල තියෙන සීන් එකක්. කොලරාඩෝ වල එහෙම මේවා තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඇත්තටම මොනවද බල්ලොන්ට දෙන ගංජා? අර ඩෝග් ට්‍රීට්ස් කියන්නේ? ඒ කියන්නේ බල්ලන්ට දෙන, උන් ආසාවෙන් කන පොඩි පොඩි කෑලි බෑලි කෑම ජාති. ආන්න එව්වා හදන්න තමයි මේ ගංජා පාවිච්චි කරනවා කියන්නේ. හැබැයි ඉතින් අහන්න ලැබෙන විදියට මේ ඩෝග් ට්‍රීට්ස් වලට ගංජා ඇතුළත් කරනවා කියන්නේ බොහොම සුළු වශයෙන්. ආයෙ බල්ලොත් මත් වෙලා පිස්සු කෙළින්න ගත්තොත් තව දෙයක්. ඊට අමතරව, ඕනෑවට වඩා THC බල්ලෝ වගේ සත්තුන්ට අහිතකර වෙන්නත් පුළුවන්! අන්න ඒ නිසා.
6. ගංජා ගමීස්
ගමීස් කියන්නේ මොනවද කියලා දැන් අහන්න එපා. අර කන්න පුළුවන්, පැණි රස, හප හප ඉන්න පුළුවන් ගම් වර්ග තියෙන්නේ? ඒ කියන්නේ චුයින්ගම් වගේම නෙවෙයි. හැබැයි ඒ වගේ හප හප ඉඳලා කන්න පුළුවන් ගම්. ගමී බෙයාර්ස් කිව්වහම සමහරු දන්නවා මේ කියන්නේ මොනවද කියලා. ඉතින් කතන්දරේ වෙන්නේ, ඒ විදියේ ගමීස් වර්ගත් ගංජා දාලා හදන්න සමහර කොම්පැණීස් පටන් අරගෙන කියන එක. එතනදිත් ඉතින් ගංජා නීතිගත වුණු රටවල් වල තමයි මේවා තියෙන්නේ කියන එක කියන්න වෙනවා. ඉතින් ඔය ගංජා ගමීස් හප හප හිටියම හඳට යන්න පුළුවන්ද? එහෙමම පුළුවන්ද කියන්න නං දන්නෙ නෑ. කාලම තමයි බලන්න වෙන්නේ!
7. ගංජා චොකලට්
චොකලට් වලට කවුද ඉතින් අකමැති. එතකොට ගංජා දාපු චොකලට් වලට? ඒවලට නං චොකලට් කන්නෙ නැති උන්දැලත් කැමති වෙයි, හා නැද්ද? කොහොමහරි කතන්දරේ මේකයි. දැන් ඔය හෑෂ් බ්‍රවුනීස්, පොට් කුකීස්, වීඩ් බ්‍රවුනීස් වගේ නම් වලින් හැඳින්වෙන, ගංජා දාපු කෑම එහෙම නං කිසිසේත්ම ආගන්තුක කෑම නෙවෙයි ලෝකෙට. එතකොට ගංජා චොකලට්? වයි නොට්?? විශේෂයෙන්ම ගංජා නීතිගත කරලා තියෙන රටවල් වල ගංජා අඩංගු චොකලට් හදන්නත් පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. මේ චොකලට් වලත් THC තියෙනවා. එතකොට පොඩි මත් ගතියක් එන්නත් බැරි නැතුව ඇති සමහර විට. හැබැයි ගංජා නීතිගත රටවල් වල ඒක ගැටළුවකුත් නැහැනේ!
ඉතින් මොකෝ කියන්නේ? ගංජා වලින් වෙනස් වෙනස් නිෂ්පාදන හදලා පිටරට යවන්න පටන් ගමුද? හැබැයි පොලිසියෙන් ගෙදරට ආවොත් අපි නෑ!
Leave a Reply