රොබෝවරු කියන්නේ චිත්‍රපට සහ තාක්ෂණික දේ ගැන කියවෙන ටෙලිනාටක වල නිතරම කියවෙන දෙයක්. එත් ඇත්ත ජීවිතේ රොබෝ පාවිච්චිය හිතන තරම් ඉක්මනින් ආවේ නැහැ. රොබෝ තාක්ෂණය යොදාගෙන විවිධ වැඩ රාජකාරි කරගත්තත්, මිනිස්සුන්ගේ හැඩේට තියෙන මානවරූපී රොබෝලා එතරම්ම ජනතාව අතරට ගියේ නැහැ. යුරෝපය පුරා පැතිරුණු කෝවිඩ් වසංගතය නිසා ඒ රටවල සෞඛ්‍ය අංශ දැඩි තර්ජනයට මුහුණ දුන්නා. ඒ වගේම රෝගීන් වැඩි වීම නිසා සෞඛ්‍ය නිලධාරීන්, සේවකයින්, වෛද්‍යවරුන් හෙදියන් ආදීන් දැඩි ලෙස වෙහෙසට පත් වුණා. කොරෝනා රෝගීන්ට එකම ආකාරයේ ප්‍රතිකාර කිහිපයක් පමණක් තිබුණත් ඒ වැඩේට රොබෝලා දායක කරගන්න ඒ රටවලට බැරි වුණා. යම් යම් තාක්ෂණික උදව් තිබුණත් මානවරූපී රොබෝ සැදීම සහ ඒවායෙන් වැඩ ගැනීම කියන්නේ තාමත් තරමක් ඈතින් තියෙන දෙයක්.
1. මානවරූපී රොබෝ
රොබෝ තාක්ෂණය ගනිද්දි අද වාහන නිෂ්පාදනාගාරයක් ගතහොත් එහි ඇණ තද කරන්නේ, යකඩ කපන්නේ, නවන්නේ මනුස්ස අත් නෙමෙයි. ඒවාට රොබෝ තාක්ෂණයෙන් නොයෙකුත් ස්වයංක්‍රීය යන්ත්‍ර සකසා තියෙනවා. ඒවා අයිති වෙන්නෙත් රොබොටික් සහ ඔටෝමේෂන් තාක්ෂණයටම තමයි. මෙයින් මිනිසුන් හැඩයට රොබෝ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ සිනමාවේ. මොකද මිනිස්සු ගොඩක් ආසයි තමුන්ට සමාන රොබෝලාගේ වැඩ බලන්න. ඉතින් මානවරූපී, එහෙම නැතිනම් මිනිස්සු හැඩයේ රොබෝවරු බිහිකිරීම සැලකිය යුතු ඉතිහාසයක් තියෙන වැඩක්. මේ හරහා මිනිසුන් නිතර සේවා ලබාගන්නා පාරිභෝගික මධ්‍යස්ථානවල වගේම නිවෙස් ආශ්‍රිතවත් වැඩ රාජකාරි කරගන්නට පුළුවන්.
2. දියසෙන් හදන ඇරිමැක් සමාගම
කංචායුධ සහ නීරෝ ගේම් දෙක ටෙක් පැත්තේ අයට නම් මතක ඇති. ලංකාවේ නිමකරපු මේ ගේම් දෙක නිර්මාණය කළේ ඇරිමැක් සමාගම. ඒ වගේම ලංකාවේ අයි ටී ක්ෂේත්රයේ සමාගම් වලට අවශ්‍ය තාක්ෂණික විසඳුම් ලබාදෙන මූලික සමාගමක් විදිහට ඇරිමැක් සමාගම දායක වෙලා තියෙනවා. ඩයලොග් සමාගම සමග එකතු වෙලා එහි දියුණු කිරීම් සඳහා ඇප් ආදිය සැකසුවා වගේම තාක්ෂණික ව්‍යාපෘති ආදියටත් ඇරිමැක් සමාගම දායක වුණා. මේ ඇරිමැක් සමාගම හැමතිස්සේම අලුත් දේවල් සොයා යන සමාගමක්. ඔවුන් වසර දෙක තුනක් තිස්සේ මේ දියසෙන් රොබෝ ගැන පර්යේෂණ කටයුතු කරනවා.
3. දියසෙන් උපත
මේ දියසෙන් හදන්න චීනය සිංගප්පූරුව හා සම්බන්ධ සන්බොට් රොබෝට් සමාගමත් එක්ක ඇරිමැක් සමාගම සම්බන්ධ වුණා. දැනටත් ලංකාවට සහ මාලදිවයිනට සන්බොට් සමාගමේ රොබෝ නිමැවුම් සඳහා නියෝජිත විදිහට ඉන්නේ ඇරිමැක් සමාගම. මේ සමාගමේ රොබෝලා ආශ්‍රයෙන් නව රොබෝවක් තනන්නට මීට වසර කිහිපයක සිට ඇරිමැක් සමාගම උත්සාහ කළා. එහිදී ඔවුන් වසර ගණනාවක් කණ්ඩායම් හැඟීමෙන් කළ කැපවීමේ ප්‍රතිඵලය විදිහට මේ දියසෙන් උපත ලබා තියෙනවා කියලා තමයි දියසෙන් හදන ඇරිමැක් සමාගමේ ප්‍රධාන විධායක චමීර ජයසිංහ කියන්නේ.
4. දියසෙන් හි ස්වභාවය
දියසෙන් රොබෝ සාමාන්‍ය චීන ජපන් රොබෝලට වඩා තරමක් උසයි. අඩි හතර හමාරක් විතර උස දියසෙන්ට කකුල් නැහැ. රෝද හරහා තමයි ඔහු තැනින් තැනට යන්නේ. දේශීය බව ඔප්නැංවිලා පේන්න ගිනි දැල් වගේ වෙස් මුහුණක තිබෙන පරිදි විශාල කන් දෙකක් වැනි කොටසක් දියසෙන්ට සවිකරලා තියෙනවා. දියසෙන් රොබෝගේ මේ ස්වභාවය නිසා ඔහුව ලේසියෙන් කෙනෙක්ට දැකගන්න පුළුවන්. විශාල අංතට්ටුව වැනි ලංකාවේ නිමැවුම්කරුවන් සවිකරන ලද කොටස නිසා දියසෙන් අනෙක් අයගෙන් වෙන්කොට අඳුනාගන්නටත් පහසුයි.
5. දියසෙන් ගේ බලය
ඔහුව පාරිභෝගිකයින්ට සේවා සපයන ස්ථාන වල වෙහෙස නොබලා වැඩ කරන්න යොදාවන්න පුළුවන් කියලයි දියසෙන් නිර්මාතෘ කණ්ඩායම කියන්නේ. ඉන්ටෙල් සෝල්ට් ලේක් ප්‍රොසෙසර් එකක් තමයි දියසෙන් ඇතුළේ තියෙන්නේ. කැමරා සහ සංවේදක හරහා බාධක හඳුනාගන්නා දියසෙන් ආදාළ තැන් කරා ප්‍රවේශ වී සේවය සපයන්නට සමත් වෙනවා. ඒ වගේම දියසෙන්ට වොයිස් කමාන්ඩ් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන දේවල් අනුව අවශ්‍ය උපදෙස් සහ සේවාවන් ලබාදෙන්නට දියසෙන්ට පුළුවන්. ඉදිරියේදී බැංකු, මූල්‍ය ආයතන, ටෙලිකොම් සමාගම් ආදී කවුන්ටර තබාගත යුතු ස්ථානවල පාරිභෝගික වැඩකටයුතු දිවා රෑ නොබලා ඉටුකරදෙන්නට දියසෙන්ට හැකියාව ලැබෙයි කියලා දියසෙන්ගේ නිර්මාණකරුවන් විශ්වාස කරනවා.
6. නෙළුම් කුළුනට දියසෙන් සම්ප්‍රාප්තිය
නෙළුම් කුළුන කියන්නේ දකුණු ආසියාවේ බිහි වූ උසම කුළුනක්. මේ දර්ශනීය කුළුනේ වැඩ කටයුතු වලටත් පහුගිය දිනක දියසේන ගියා. ඒ ගියේ නෙළුම් කුළුනේ ඉදිකිරීම් නිරීක්ෂණය කරන්න නම් නෙමෙයි. නෙළුම් කුළුන විවෘත කළ පසු තියෙන්නේ අති නවීන අභ්‍යන්තර වටපිටාවක්. එහි තබා එයට සේවා ගන්නට එන අයට සේවාවේ යොදවන්නට පර්යේෂණ කටයුතු සිදුකරන්නට පහුගිය දිනවලට දියසෙන් නෙලුම් කුළුන තියෙන තැනටත් ගියා. ඒ ගිහින් ඒ පර්යේෂණ කටයුතු වල නිරත වෙන ආකාරය මාධ්‍ය වලත් පළ වුණා.
7. මෙච්චර මිනිස්සු ඉන්න රටේ ඇයි රොබෝ?
මිනිස් ශ්‍රමය මිල අධික ජපානය වගේ රටවල කෑම බීම වගේ දේවල් මිනිසුන්ට වෙන්ඩින් මැෂින් හරහා මිලදී ගන්නට පුළුවන්. මොකද වෙන්ඩින් මැෂින් වල සේවය කරන්න සේවකයෝ අවශ්‍ය වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේම ඒ සේවාවන් දවස පුරාම ලබාගන්නටත් පුළුවන්. මේ රොබෝවරුත් දවල්ය, රෑය, අළුයමය කියා වෙනසක් නැතුව දවසම වැඩකරන්නට සමත්. ඒ නිසා බැංකු සහ මූල්‍ය ආයතන ඒ ටී එම් වැනි තැන්වල පාරිභෝගිකයින්ට සහාය වීමට මේ රොබෝවරුන්ට පුළුවන්. රොබෝවරු කියන්නෙත් ඉදිරියට යම් මාකට් එකක් හැදෙන්නට නියමිත අංශයක්. ඒ හරහා ඉදිරියේදී රොබෝ වෙළඳපොලට යම් තල්ලුවක් දෙන්න ලංකාවෙන් මේ දියසෙන් වගේ රොබෝවරු බිහිවීම වැදගත් වෙනවා. අපේ රටේ සිසුන් දියසෙන් හරහා ප්‍රායෝගිකවම රොබෝලා ගැන දැනගෙන, ඒ වැඩිදියුණු කිරීම් කරන්න අවශ්‍ය දැනුමින් ඉක්මනින්ම සන්නද්ධ වේවි.
ලංකාවේ විවිධ නව නිමැවුම් කාලෙන් කාලයට එනවා. උදාහරණ විදිහට පසුගිය කාලේ ලංකාවේ කාර් රියක් නිපදවීම එක්ක ලංකාවම කාර් වැඩපළක් බවට පත් වෙයි කියලා පිරිසක් විශ්වාස කළා. ඒත් අද වනවිට එම කාර් රිය සහ එහි දියුණු කිරීම් ගැන හාවක් හූවක් නැහැ. ඒ කාර් රිය අපිට මිලදීගන්නට හැකි වෙන දිනය ගැනත් අදහසක් නැහැ. ඒ අනුව සමහර නිමැවුම් හුදෙක් නිමැවුම් විදිහටම වල පල්ලට යන ස්වභාවයක් ලංකාවේ තියෙනවා. මේ ඇරිමැක්ලගේ දියසේන රොබෝවත් එසේ නොවී, ප්‍රදර්ශනාගාර සෙල්ලම් බඩුවක් නොවී ඉදිරියට සැබැවින්ම නෙලුම් කුළුනට සහ වෙනත් තැන්වලට සේවාවන් සපයන දක්ෂ රොබෝවරයෙක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Reply