ලෝකයේ විශාලම ක්ෂණික ආහාර අවන්හල් ජාල

Fast foods නැත්තම් ක්ෂණික ආහාර කියන්නෙ අද කාලෙ මිනිස්සු අතරේ හරිම ප්‍රසිද්ධ වචනයක්. කාර්යබහුලකම නිසා ගෙදර කෑම හදන්න, ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැතිකම නිසාම මේ ක්ෂණික ආහාර කරළියට ආවට අද වෙද්දීනම් ඊට එහා ගියපු විවිධ හේතු වලට මිනිස්සු මේ ක්ෂණික ආහාර ගන්න, ඒ අවන්හල් වලට යන්න පුරුදු වෙලා ඉන්නවා. කාර්‍යබහුල නොවුනත් ගෙදර කෑමම කාල ඉඳලා හිටලා වෙනසකට, සමාජ තත්ත්වය පෙන්නන්න වගේ එක එක කාරණා ඒ ලිස්ට් එකට ඇතුළත්. 

කොහොම උනත් මේ හැම කාරණාවක් නිසාම ක්ෂණික ආහාර අවන්හල් කියන්නෙ දැන් හැම තැනකම හතු පිපෙනවා වගේ ආරම්භ වෙන ව්‍යාපාර වර්ගයක්. ඒත් පටන් ගත්ත වගේනම් නෙමෙයි කෑම බීම කියන්නෙ සාමාන්‍යයෙන් හැමෝවම සතුටු කරන්න හරිම අමාරු මාතෘකාවක්නේ. ඉතින් මේ පටන් ගන්න අවන්හල් දිගු කාලීනව පවත්වාගෙන යන්නනම් හොඳම දේවල් පාරිභෝගිකයට දෙන්න ඕන. ඒ විදිහට හොඳම දේ පාරිභෝගිකයින්ට පිළිගන්වල කාලයක් තිස්සෙ ක්ෂේත්‍රයේ රැඳී ඉඳපු අදටත් ලෝකයේ ඉහළින්ම තියෙන ක්ෂණික ආහාර සම්බන්ධ ව්‍යාපාර ගැන තමයි අද කතා කරන්න යන්නෙ. අවන්හල් කිව්වට මේවා අවන්හල් ජාල. ඒ කිව්වේ එක අවන්හලක් නෙමෙයි, ලෝකය පුරාම පැතිරුණ අවන්හල් සමූහයක්.

 

1. Subway

Subway කියන්නෙ ඇමරිකානු අවන්හල් ජාලයක්. මේකෙ මුලිකවම අලෙවි කරන්නෙ සබ්මැරීන් සැන්ඩ්විචස් සහ සැලඩ් වර්ග. ලෝකයේ ඉතා වේගයෙන්ම දියුණුවෙන අවන්හල් ජාල අතර ඉහළම තැනක් මේ subway ජලයට හිමිවෙනවා. 2019 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය වෙද්දි රටවල් 100ක් පුරා පැතිරුණ අවන්හල් 41,512 ක් මේ සබ්වේ ජාලය සතුව තියෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ කරන්නෙ 1965 වර්ෂයේදී එහි ආරම්භක හිමිකරු ෆ්‍රෙඩ් ඩිලූකා (Fred DeLuca) මිතුරෙකුගෙන් ණයට ගත්ත ඩොලර් 1,000 ක මුදලක් ආයෝජනය කරලයි. ව්‍යාපාරය මුලින්ම නම් කෙරෙන්නෙ Pete’s Super Submarine කියලයි. 1968 වසරේදි තමයි Subway කියන නමට මාරුවෙන්නේ. 2015 වර්ෂයේදි subway අවන්හල් ජාලය ලෝකයේ වේගයෙන්ම දියුණුවෙන franchise ව්‍යාපාර අතරින් පළමු තැනටත්, ලෝකව්‍යාප්ත ඉහළම franchise අතරින් තුන්වන තැනටත් පත්වෙනවා. 2010 වර්ෂයේ ඉඳලම ලෝකයේ විශාලම ක්ෂණික ආහාර අවන්හල් ජාලය කියන තැන තියෙන්නෙ මේ subway ජාලය. 2010 දෙවෙනි තැන තියෙන McDonald’s අවන්හල් ජාලයට වඩා අවන්හල් 1,012 ක් ඒ කියන්නෙ සමස්ථ අවන්හල් 33,749ක් මේ අවන්හල් ජාලය සතුව තිබිලා තියෙනවා. 

 

2. McDonald’s

McDonald’s කිව්වමනම් ඉතින් ලංකාවේ කව්ද නොදන්නේ? ලංකාවේ මේ McDonald’s අවන්හල් ජාලයේ හිමිකාරීත්වය  දරන්නෙ Abans සමූහය. පළමු McDonald’s ශාඛාව ලංකාවේ ආරම්භ වෙන්නෙ 1998 වර්ෂයේදී. ලෝක ඉතිහාසය බැලුවොත් මේ අවන්හල් ජාලය 1940දි ආරම්භ කෙරුණු ඇමරිකානු අවන්හල් ජාලයක්. ලෝකයේ අදායම අතින් ගත්තොත් පළමු තැන ඉන්න අවන්හල් ජාලය තමයි මේ McDonald’s කියන්නෙ. 2018 වර්ෂය වෙනකොට රටවල් 100 ක අවන්හල් 37,855 කින් දෛනිකව පාරිභෝගිකයින් මිලියන 69කට මේ McDonald’s අවන්හල් වලින් කෑම සැපයෙනවා. මේ ආයතනයේ ආරම්භක හිමිකරුවන් වෙන්නෙ රිචර්ඩ් සහ මොරිස් මැක්ඩොනල්ඩ් (Richard and Maurice McDonald) කියන සහෝදරයින් දෙන්නා. ඔවුන්ගේ වාසගමින් තමයි අවන්හල ආරම්භ කෙරෙන්නෙ. 

 

3. Starbucks

Starbucks නම් අපිට වැඩිය හුරුපුරුදු නමක් නෙමෙයි. මේකත් ඇමරිකානු අවන්හල් ජාලයක්. මේක මුලිකවම coffeehouse නැත්තම් coffee shop එකක්. 2020 වර්ෂයේ මුල වෙනකොට මේ අවන්හල් ජාලය ලෝකය පුරා රටවල් 70 කට වැඩි ප්‍රමාණයක අවන්හල් 30,000 කට වැඩිය පවත්වාගෙන යනවා. Starbucks වල උණු සහ සිසිල් පාන වර්ග දෙවර්ගයම අලෙවි වෙනවා. ඒවගේම chips සහ crackers වගේ ස්නැක්ස් වර්ගත් අලෙවි කෙරෙනවා. මේ අවන්හල් ජාලය මුලින්ම ආරම්භ කෙරෙන්නෙ ජෙරී බෝල්ඩ්වින් (Jerry Baldwin) , සෙව් සීග්ල් (Zev Siegl) සහ ගෝර්ඩන් බොව්කර් (Gordon Bowker) කියන තුන්දෙනා විසින් 1971 වසරේදි. 

 

4. KFC

KFC කියන්නෙත් අපිට බොහොම හුරුපුරුදු, කොටින්ම ගෙදර වගේ තැනක්. මේ KFC කියන්නෙ ඇමරිකානු fast food restaurant chain එකක්. KFC අවන්හල් ජාලයේ නිර්මාතෘ වෙන්නෙ කර්නල් හාලන්ඩ් සැන්ඩර්ස් (Colonal Harland Sanders) කියන පුද්ගලයා. මුල්ම KFC අවන්හල ආරම්භ වෙන්නෙ 1929දි Kentucky කියන ප්‍රදේශයේ service station එකක් ළඟ. හැබැයි ඒ KFC නමින් නෙමෙයි. වෙනත් නමකින් පුංචි අවන්හලක් විදිහට. කාලයක් යද්දි මේ අවන්හලේ හදන චිකන් එක ප්‍රසිද්ධ වීමත් එක්ක තමා අවන්හල් ජාලය අද තියෙන තත්ත්වය දක්වා ටික ටික දියුණු වෙන්නෙ. KFC ජාලයේ වර්තමාන හිමිකාරීත්වය දරන්නෙ Yum! Brands කියන ආයතනය. KFC කියන්නෙ මේ වෙද්දී රටවල් 135ක් පුරා පැතිරුණ අවන්හල් 22,600කින් සමන්විත විශාල fast food restaurant chain එකක්.

 

5. Burger King  

Buregr King කියන්නෙ ලංකාවට ටිකක් අලුත් හැබැයි අලුත් කියන්නත් බැරි තරමටම ප්‍රසිද්ධ අවන්හල් ජාලයක්. ලංකාවට මේ අවන්හල් ජාලය හඳුන්වලා දෙන්නෙ 2013 වර්ෂයේදී. ලංකාවේ බර්ගර් කින්ග් ජාලයේ පාලනය සිදුවෙන්නෙ softlogic ආයතනයෙන්. අනිත් ඔක්කොමත් වගේ ඔන්න මේකත් ඇමරිකානු අවන්හල් ජාලයක්. මේ අවන්හල් ජාලය ආරම්භ වෙන්නෙ 1953 වර්ෂයේදී. 2018 වසර අවසාන වෙද්දී මේ අවන්හල් ජාලය සතුව රටවල් 100ක් පුරා අවන්හල් 17,796ක් තිබුණ බව තමයි සඳහන් වෙන්නෙ. මේ ආයතනය ආරම්භ කරපු මුල්ම හිමිකරුවෝ වෙන්නෙ කීත් ජේ. ක්‍රේමර් (Keith J. Kramer) සහ නෑදෑකමට ඔහුගේ බිරිඳගේ මාමා වෙන මැතිවු බර්න්ස් (Matthew Burns) කියන දෙන්නයි. 

 

6. Pizza Hut 

මේ Pizza Hut කියල කියන්නෙත් KFC ජාලයේ හිමිකම දරණ Yum! Brands කියන ආයතනය යටතේම තියෙන අවන්හල් ජාලයක්. Pizza Hut කියන්නේ ඇමරිකානු අවන්හල් ජාලයක්. දැනට ලෝකයේ තියෙන විශාලම පීසා විකුණන අවන්හල මේ පීසා හට් ජාලය තමයි. ලංකාවේ තත්ත්වය ගත්තොත් 1993දි තමයි ලංකාවේ පළමු Pizza Hut අවන්හල ආරම්භ වෙන්නෙ. ඒ වෙද්දි Pizza කියල කියන්නෙ ලංකාවෙ අපිට ඒ තරම් හුරු පුරුදු කෑමක් නෙමෙයි. කොහොමහරි 1993 දි ලංකාවේ ආරම්භ වුණ පළවෙනි Pizza Hut අවන්හල තමයි යුනියන් පෙදෙසේ ශාඛාව. ඒ වගේම මේ Pizza Hut තමයි ලංකාවේ වෙළඳාම පටන් ගත්ත පළවෙනිම අන්තර්ජාතික අවන්හල් ජාලය විදිහට ඉතිහාස ගතවෙලා තියෙන්නෙත්. කොහොමහරි ඉතිහාසය බැලුවොත් මේ අවන්හල් ජාලය මුලින්ම ආරම්භ කරන්නෙ ඩෑන් (Dan) සහ ෆ්‍රෑන්ක් කානි (Frank Carney) කියන සහෝදරයෝ දෙන්නා විසින් 1958 අවුරුද්දෙදි. 

 

7. Domino’s

Domino’s කියන්නෙත් අපිට හුරුපුරුදු නමක්නෙ. Pizza විකුණන මේ අවන්හල් ජාලය ලංකාවේ පළමු අවන්හල විවෘත කරන්නෙ 2011 වසරෙදි දෙහිවලදී. මේ Domino’s ජාලය 1961 දි ආරම්භ කෙරුණු ඇමරිකානු බහුජාතික අවන්හල් ජාලයක්. මේ ආයතනයෙත් මූලිකවම අලෙවි කෙරෙන්නෙ pizza. Pizza Hut එකට විතරක්ම දෙවෙනි වෙන මේ පීසා විකුණන අවන්හල් ජාලයත් මේ වෙනකොට ලෝකය පුරා විශාල රටවල් ගාණක තමන්ගේ අවන්හල් ආරම්භ කරලා තියෙනවා. ඉන්දියාවේ විතරක් මේ Domino’s අවන්හල් 1000කට වැඩියෙන් තියෙනවා. ඇමරිකාවට පස්සෙ වැඩිම Domino’s අවන්හල් ප්‍රමාණයක් තියෙන රට ඉන්දියාව කියල තමයි කියන්නෙ.

 

Starbucks ඇරුණහම මේ කියපු හැම අවන්හල් ජාලයක්ම ලංකාවේ දැනට ආරම්භ කරල තියෙනවා. ළඟදීම starbucks එකකුත් ආරම්භ කරයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *