ඔය අත්සන කියන එකත් හරි අපූරු දෙයක්නේ. නැද්ද? සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ පින් අංකයක් වගේ, අපේ ජීවිතේ සෑහෙන්න නිල වැඩකටයුතු වලට, නෛතික කටයුතු වලට අපේ අනන්‍යතාවය හඳුනාගන්න පුළුවන් සුවිශේෂී දෙයක් විදියට පාවිච්චි වෙන්නේ අපේ අත්සන තමයි. දැන් අපි ගොඩක් දෙනෙක්ට ඔය අත්සනත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි, කෙනෙක්ට ලේසියෙන්ම අපේ අත්සන අනුකරණය කරලා හොර අත්සනක් ගහන්න බැරිද කියන එක. එතකොට ඔය හිතන තරම් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ නේද අත්සනකින් කියන එක. ඇත්තටම ඉතින්, අපි පුංචි කාලේ ඉස්කෝලේ කට් කරපු දවසකට ඇබ්සන්ට් නෝට් එකෙත් අම්මගේ හරි තාත්තගේ හරි හොර අත්සන ගැහුවා නං, හොඳ දක්ෂතාවයක් තියෙන හොර අත්සන් කාරයෙක්ට අපේ අත්සන අනුකරණය කරලා, අපේ බැංකුවේ තියෙන සල්ලි ටිකට විදින්න හරි, අපේ දේපොළ ටික ලියාගන්න හරි බැයිද? බැරි නෑ. ඔය ඒ වගේ නඩු හබත් ඕන තරම් තියෙන්නේ. හැබැයි තාමත් අත්සන කියන්නේ කෙනෙක්ට සුවිශේෂී, අනන්‍යතාවය හඳුන්වන කාරණයක් විදියට තමයි සැළකෙන්නේ. ඇත්තටම එහෙම ඕනම කෙනෙක්ට තව කෙනෙක්ගේ අත්සන අනුකරණය කරන්න අමාරුයි. ඒ කියන්නේ විශේෂ පරීක්ෂාවක් කළොත්, ඇත්ත අත්සනක සහ හොර අත්සනක වෙනස ලේසියෙන් අඳුනගන්න පුළුවන්.
හරි. එහෙමනම් හොර අත්සන් ගැන කතාව පැත්තකින් තියලා හරි අත්සන් ගැන කතාවට එමුකෝ!
1. මුලින්ම අත්සන ගහන්න ඉගෙන ගත්තු හැටි
සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ඉස්කෝලේ කාලේ ඔය එක එක දේවල් වලට ඇප්ලිකේෂන් දාන කාලේ එනකොටම අත්සනක් හදාගන්න වෙනවා. අත්සනක් හදාගන්න එකේ නෙවෙයි ඇත්තටම අමාරුව තියෙන්නේ, හදාගත්තු අත්සන හරියට පුරුදු වෙන එකේ. ඉතින් සමහර වෙලාවට අපිට පුංචි කාලෙදිම අත්සනක් හදාගත්තට පස්සේ, කොපි පොත් පිරෙනකල් අත්සන ගහන්න වෙනවා පුරුදු වෙන්න. හැබැයි ගොඩක් වෙලාවට ඔය ගොඩක් දෙනෙක් පුංචි කාලේ හදාගන්න අත්සන් අනුකරණය කරන්නත් ලේසියි. ගොඩක් වෙලාවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අන්න ඒ නිසා, අත්සනක් හදාගන්න දරුවෙක්ට අධීක්ෂණ සහාය ලබාදෙන එක තමයි අම්මලා තාත්තලාගේ සහ ගුරුභවතුන්ගේ වගකීම.
2. සිංහලෙන්ද? ඉංග්‍රිසියෙන්ද? දෙමළෙන්ද?
දැන් අවුරුදු දහයකට විස්සකට උඩදීත් තිබුණු, දැනුත් තියෙන අත්සන් සම්බන්ධ ස්ටැයිල් එකක් තමයි තමන් සිංහල නම් සිංහලෙන් අත්සන ගහන එක. ඕකම තමන් දෙමළ නම් දෙමළෙන් අත්සන් කරන එකෙත් තියෙනවා. හේතුව මේකයි. ලංකාවේ අපි මොන ජාතියේ වුනත්, අත්සන ගහන්න හුරු වෙන්නෙම ඉංග්‍රීසියෙන්නේ. ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් හැමෝම වගේ අත්සන් කරනකොට, සිංහලෙන් හරි දෙමළෙන් හරි අත්සන් කරන කෙනෙක්ගේ අත්සන පොඩ්ඩක් ස්පෙෂල් වෙනවනේ. ආන්න ඒකයි.
ඇත්තටම අත්සනට භාෂා වෙනසක් නෑ. හැබැයි කෙනෙක්ට තියෙන්න පුළුවන් එක අත්සනයි. ඒ කියන්නේ සිංහල ලේඛන වලට සිංහලෙන් අත්සනකුයි, ඉංග්‍රීසි ලේඛන වලට ඉංග්‍රීසියෙන් අත්සනකුයි තියෙන්න බෑ. ඇත්තටම කෙනෙක් බලුකිස්ථාන් භාෂාවෙන් අත්සන ගැහුවත්, ඒකට අභියෝග කරන්න බෑ නේද?
3. කෙටි අත්සනකුයි දිග අත්සනකුයි?
මෙන්න තවත් ජනප්‍රිය වැරදි භාවිතාවක්. ඒ තමයි තමන් භාවිතා කරන සාමාන්‍ය දීර්ඝ අත්සනට අමතරව, කෙටි අත්සනක් තියාගන්න එක. එතකොට ඔය කෙටි අත්සන භාවිතා කරන්නේ පිටු ගණනාවක ඩොකියුමන්ට් එකක එක එක පිටුවේ පිටසන් කරන්න, ඔෆිස් පොතේ අත්සන් කරන්න වගේ දේවලට වෙන්න පුළුවන්. හැබැයි නීතියේ හැටියට එක මනුස්සයෙක් භාවිතා කරන්න ඕන එක අත්සනයි. අත්සන් දෙකක් හෝ කීපයක් තියෙනවා කියන්නේ, නිල කටයුතු වලදී සහ නෛතික කටයුතු වලදී ගැටළු මතුවෙලා දිව්රුම් පෙත්සම් දෙන්න වෙනවා කියන එක. අන්න ඒ නිසා කෙටි අත්සන් සහ දිග අත්සන් කතන්දර නැතුව, එක අත්සනක් විතරක් පාවිච්චි කරන එක ඇඟට ගුණයි.
4. අත්සන් මාරු කරන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුංචිම කාලේ හරි හැටි අත්සනක් හදාගත්තේ නැති වුනහම, පස්සෙ කාලෙකදී වඩාත් කොලිටි අත්සනකට මාරු වෙන්න සමහරුන්ට සිද්ධ වෙනවා. හැබැයි මෙතන පොඩි කොස්සක් තියෙනවා. අපි තැපැල් අයිඩෙන්ටියේ ඉඳලා පළවෙනි බැංකු ගිණුමටයි අරකටයි මේකටයි ඉස්කෝලේ හදාගත්තු අත්සන ගහලා, දැන් වඩාත් ස්‍ටයිල් එකක් තියෙන අත්සනක් ඕන වුනා කියලා එක පාරටම ඒකට මාරු වෙන්න බැහැ. සාමාන්‍යයෙන් ඔයා මම වගේ සිවිල් පුරවැසියෙක්ට නම් අත්සන වෙනස් කළා කියලා දිව්රුම් පෙත්සමක් ගන්න වෙනවා. එතකොට අපේ අත්සන දැනට භාවිතා වෙන බැංකු, සේවා ස්ථාන වගේ හැම තැනකටම ඒ දිව්රුම් පෙත්සම දෙන්නත් වෙනවා. අන්න එතකොට අත්සන වෙනස් කරගන්න පුළුවන්.
හැබැයි රජයේ නිලධාරියෙක්ට තමන්ගේ අත්සන වෙනස් කරගන්න ඕන වුනොත්, උඩින් කියපු එකට වඩා බොහොම වෙහෙසකාරී ක්‍රමවේදයක් ඔස්සේ යන්න වෙනවා. ඒකට චක්‍රලේඛ පවා තියෙනවා.
5. එකම අත්සන කාලයක් යනකොට වෙනස් වෙනවනේ
මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. දැන් අපේ අත් අකුරු වුනත් ගොඩක් වෙලාවට කාලයත් එක්ක වෙනස් වෙනවනේ. එතකොට අත්සනක් වෙනස් නොවී තියෙයිද? නැහැනේ. සාමාන්‍යයෙන් අත්සනක් වුනත් කාලයත් එක්ක වෙනස් වෙනවා. හැබැයි සෑහෙන්න ලොකු වෙනසක් අත්සනේ වෙලා නැතිනම්, අත්සනේ වලංගු භාවය නැතිවෙන්නෙ නෑ.
ඒත් ලොකු වෙනසක් පේන විදියට අත්සන වෙනස් වෙලා නම් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. එකක් තමයි, අත්සන වෙනස් කිරීමක් කරන බවට ලේඛනයක් ලබාදෙන එක. සාමාන්‍යයෙන් අත්සන කාලයත් එක්ක වෙනස් වීම නිසා අලුතින් අපි ගහන අත්සන හඳුන්වා දෙන්න නම් දිව්රුම් පෙත්සම් දෙන්න කරන්න ඕන නෑ. ලියුමක් දුන්නොත් ඇති. හැබැයි මොකක් හරි ආයතනයකින් එහෙම බෑ කිවුවොත් දිව්රුම් පෙත්සම් දෙන්න වෙනවා.
ඕන නම් තමන්ගේ පරණ අත්සන දිහා බලාගෙන කාලෙන් කාලෙට තමන් දැන් ගහන අත්සන අප්ඩේට් කරගන්නත් පුළුවන්. ඇත්තටම අප්ඩේට් නෙවෙයි, මේක ඩවුන්ඩේට්. ඒ කියන්නේ දැන් වෙනස් වෙලා තියෙන අත්සන, පරණ අත්සන විදියට ගහන්න පුරුදු වෙන එක. මේක ලොකු අසීරුවක් නෙවෙයි.
6. කණ අත්සන
කණ අත්සන කියන්නේ කණෙන් ගහන අත්සනක් නෙවෙයි. අත්සන් කරනවා වෙනුවට තමන්ගේ ඇඟිලි සලකුණ තියන එකට තමයි කණ අත්සන කියන්නේ. ඇත්තටම මේ ඇඟිලි සලකුණ අත්සන වෙනුවට තියන්නේ අකුරු සාස්තරේ දන්නෙ නැති ඈයෝ කියලා තමයි සාමාන්‍ය පොදු විශ්වාසයේ තියෙන්නේ. මොකද, අකුරු ලියන්න දන්න මනුස්සයෙක් තමන්ට කියලා අත්සනක් හදාගන්නවනේ. හැබැයි ඒක කොහොම වෙතත්, සාමාන්‍ය අත්සනකට වඩා කණ අත්සනක් ආරක්ෂිතයි කියලා නම් බය නැතුව කියන්න පුළුවන්. මොකද අත්සන අනුකරණය කරන්න දක්ෂ හොර අත්සන් ශිල්පියෙක්ට පුළුවන් වුනත්, ඇඟිලි සලකුණ අනුකරණය කරන්න එහෙම බැහැනේ.
7. හොර අත්සන්
හොර අත්සන් කියන්නේ ඉතින් බොහොම ඉන්ටරෙස්ටින් මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපි කීපදෙනෙක්වත්, හොර අත්සන් ජීවිතේ එක පාරක් හරි ගහලා තියෙනවනේ. හැබැයි ඔය සීරියස් වංචා වලදී නෙවෙයි. ගෙදරින් ලියුමක් ගේන්න කියපු වෙලාවක, අම්මට කියලා ලියුම් ලියවගන්න ගියොත් කන්න වෙන අවස්ථාවකදී අම්මගේ අත්සන අපිම ගහලා ලියුම ලියාගෙන යනවා. සමහරු නම් ප්‍රින්සිපල්ගේ, සෙක්ෂනල් හෙඩ්ගේ අත්සන් පවා ගහන්න හුරුවෙලා ඉන්නවා.
ඊට පස්සේ ඉතින්න් කැම්පස් එකෙ පැමිණීම ලකුණු කරන්නත් ඔන්න හොර අත්සන් සීන් පාවිච්චි වෙනවා. එතකොට වැඩට ගියේ නැතුව වැඩට ගියා කියලා පොතේ අත්සන් කරන්නත්, හොර අත්සන් සීන් එක ඕන වෙනවා.
හැබැයි අපි කෙලින් කතා කළොත්, ව්‍යාජ අත්සන් සකස් කිරීම කියන්නේම බරපතල වරදක්. අර අම්මගේ තාත්තගේ අත්සන ගහන එක ගැන උඩින් කියලා තිබුණේ. ඒකත් බරපතල වරදක්. ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ අත්සන ව්‍යාජ අනුකරණයක් කරලා යොදාගන්න එකත් ඊට හපන් වරදක්. හැබැයි දැන් වැඩිහිටි කාලේ ඔය හොර අත්සන් කෙලි කරන්න ගියොත්, ඒක නඩු ගිහින් හිරේ යන්න සිද්ධ වෙන විදියේ වරදක්!
Leave a Reply