ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරන්න නම්, මේ ඔන්ලයින් ටූල්ස් වලින් එකක් පාවිච්චි කරලා බලන්න

ප්‍රසන්ටේෂන් කියන්නේ මොනවද කියලා දන්නවද? සාමාන්‍යයෙන් ඉතින් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉඳන්, ඔය රැකි රක්ෂා කරන අය දක්වා සෑහෙන්න දෙනෙක්ට “ප්‍රසන්ටේෂන්” කියන්නේ ආගන්තුක වචනයක් නෙවෙයි. තමන්ගේ අදහසක්, ව්‍යාපෘතියකට යෝජනාවක්, සම්පූර්ණ කරපු ප්‍රොජෙක්ට් එකක්, ඉගෙන ගත්තු දෙයක් වගේ සෑහෙන්න දේවල් තවත් කෙනෙක්ට හෝ පිරිසකට විස්තර කරන කොට, ඒකට සහායක් විදියට හදන ඉදිරිපත් කිරීමක් තමයි කොටින්ම කිවුවොත් ප්‍රසන්ටේෂන් එකක් විදියට හඳුන්වන්නේ. මේවා ස්ලයිඩ් දෙක තුනක ප්‍රසන්ටේෂන් වල ඉඳලා ස්ලයිඩ් බර ගාණක ඒවා දක්වා, සරල ප්‍රසන්ටේෂන් වල ඉඳලා සංකීර්ණ ප්‍රසන්ටේෂන් දක්වා විහිදෙනවා. හැබැයි ඒ කෝක කොහොම වුනත්, ගොඩක් අයට ප්‍රසන්ටේෂන් කියපු ගමන් ඔලුවට එන්නේ පවර් පොයින්ට්. ගොඩක් අය ඕනම ප්‍රසන්ටේෂන් එකකට කියන්නෙත් පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් කියලා. හරියට ඕනම ටයිප් කරපු ඩොකියුමන්ට් එකකට වර්ඩ් ඩොකියුමන්ට් එකක් කියනවා වගේ තමා!

 

හරි, මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජ් එක සල්ලි දීලා අරගෙන වගේම හොරටත් පාවිච්චි කරන ප්‍රමාණය බැලුවහම, ප්‍රසන්ටේෂන් වලට පවර් පොයින්ට්ම පාවිච්චි කිරීම ගැන ගැටළුවක් නෑ. හැබැයි වෙන ටූල්ස් ඇත්තෙම නැද්ද ප්‍රසන්ටේෂන් හදන්න? තියෙනවා. ආන්න ඒ විදියේ ටූල්ස් කීපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

 

1. Visme

Visme කියන්නේ ඩේටා ප්‍රසන්ටේෂන් සහ විෂුවලයිසේෂන් ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කෙනෙක්ට වුනත් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් ටූල් එකක්. මේකේ සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක පාවිච්චි වෙන ෆොන්ට් ස්ටයිල්ස්, දත්ත වගු, ප්‍රස්තාර, රූප සටහන් වගේ ගොඩක් දේවල් ස්ටොක් කරලා තියෙන නිසා, වැඩේ ලේසියි. හැබැයි ඉතින් මේකේ තියෙන සුපිරිම කොලිටි ස්ටොක් කරපු කන්ටෙන්ට් වලට ප්‍රවේශ වෙන්න නම් සල්ලි ගෙවලා ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් ගන්න වෙනවා. ඒත් Visme ෆ්‍රී වර්ෂන් එකෙන් වැඩක් ගොඩදාගන්න පුළුවන් සරලවම.

 

2. Google Slides

ෆ්‍රීම ෆ්‍රී ප්‍රසන්ටේෂන් ටූල්ස් ගැන කතා කළොත්, ගූග්ල් ස්ලයිඩ්ස් අමතක කරන්නම බෑ. ඇත්තටම Google Slides පාවිච්චි කරපු කෙනෙක්ට වැටහෙන දෙයක් තමයි, සම්පූර්ණයෙන්ම ෆ්‍රී භාවිතා කරන්න පුළුවන් Google Slides වලින් ඔය ගොඩක් සල්ලි ගෙවලා ගන්න ඕන ප්‍රීමියම් ප්‍රසන්ටේෂන් වෙබ් ටූල්ස් සහ සොෆ්ට්වෙයාර් වල තියෙනවා වගේ ප්‍රීමියම් ෆීචර්ස් එහෙමත් තියෙන බව. අනික කීප දෙනෙක්ට රියල් ටයිම් හවුල් වෙන්නත් පුළුවන් ප්‍රසන්ටේෂන් එක හදන්න Google Slides හරහා. ඕන නම් ඕෆ්ලයින් වැඩ කරන්න Google Slides හදාගන්නත් පුළුවන්.

 

3. Keynote

මේක නම් අදාළ වෙන්නේ සහ වඩා වටින්නේ වින්ඩෝස් එක්ක හරි ඔය ඕපන් සෝර්ස් උබුන්ටු වගේ මෙහෙයුම් පද්ධති එක්ක වැඩ කරන අයට ඇපල් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන, මැක් එකක් එහෙම පාවිච්චි කරන කට්ටියට. අන්න ඒ අයට Keynote කියන්නේ ඉතාම වටිනා ෆ්‍රී ඔන්ලයින් ප්‍රසන්ටේෂන් ටූල් එකක්. ඇත්තටම අර ඇපල් ප්‍රඩක්ට්ස් වල තියෙන දෘෂ්‍යමාන සෞන්දර්යය Keynote වලත් උපරිමේටම තියෙනවා. විශේෂයෙන්ම අයිපෑඩ් එකක එහෙම Keynote පාවිච්චියෙන් වැඩක් කරනවා නම්, අපිට නිකම්ම අතින් අවශ්‍ය දේවල් ලියලා, ඒවා ගාණට ෆොන්ට්ස් වලට හරවගන්න එහෙම පුළුවන්. එතකොට ඔය ඇනිමේෂන් එහෙමත් ප්‍රසන්ටේෂන් එකකට බොහොම ලස්සනට ඇතුළත් කරගන්න පුළුවන්.

 

4. Prezi Basic

මේකත් හොඳටම ගැලපෙන්නේ හදිසියේ සරල ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න වුවමනා කරන, හැබැයි ප්‍රසන්ටේෂන් හැදීම හෝ විෂුවලයිසේෂන් ගැන මෙලෝ අලබෝලයක් නොදන්න අයට. අන්න ඒ කට්ටියට Prezi ඔස්සේ හොඳ මට්ටමේ වැඩක් ගොඩදාගන්න පුළුවන්. විශේෂයෙන්ම Prezi වෙබ් අඩවියට ගියහම ඒකේ ටියුටෝරියල් එහෙමත් තියෙන නිසා වැඩේ තව ලේසියි. ඒ තරම් පිස්සු කොර වෙන ග්‍රැෆික්ස් නම් මේකෙන් ලැබෙන්නෙ නෑ කියන්න පුළුවන්, ඒත් වැඩේ සරලව ගොඩදාගන්න පුළුවන්. මීට අමතරව Prezi එක්ක හදන ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ් මාරු කරන්න මොබයිල් ප්‍රසන්ටේෂන් රිමෝට් පහසුකමත් තියෙනවා මේකේ.

 

5. Canva

Canva ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගොඩක් දෙනෙක්ට. හදිසියට ෆේස්බුක් පෝස්ට් එකක්, පෝස්ටර් එකක් හදාගන්න විතරක් නෙවෙයි, බුක්ලට් එකක් වගේ දෙයක් හදාගන්න වුනත් Canva කියන්නේ සුපිරි චොයිස් එකක්. මොකද, නොමිලේ ලබාගන්න පුළුවන් මෙම්බර්ෂිප් එක යටතේ වුණත් ඉතාම දර්ශනීය ටෙම්ප්ලේට් සෑහෙන්න ප්‍රමාණයක් විවිධ කැටගරීස් යටතේ තිබීමත්, හොඳ නිර්මාණශීලීත්වයක් තියෙන කෙනෙක්ට Canva ඔස්සේ ඉතාම ඉහළ ආකාරයේ නිර්මාණ කරන්න පුළුවන් ටූල්ස් තිබීමත්, Canva ඔස්සේ කරන වැඩ වල හොඳ ප්‍රොෆෙෂනල් කොලිටි එකක් තිබීමත් තමයි ඒකට හේතුව. ඉතින් Canva වලින් ස්ලයිඩ්ෂෝ නැතිනම් ප්‍රසන්ටේෂන් හදන්න පුළුවන් නම්? ඔව්, ඒවලටත් ඔය උඩින් කියපු ඔක්කොම ඇප්ලයි වෙනවා! අන්න ඒ නිසා තමයි ප්‍රසන්ටේෂන්ස් හදන්න පුළුවන් ඔන්ලයින් ටූල්ස් වල විනර් කෙනෙක් විදියට අපි Canva ලිස්ට් එකට ගත්තේ.

 

6. LibreOffice Impress

එක කාලයක් තිබුණා -ඒ කියන්නේ ගූග්ල් වලින් ඔෆිස් පැකේජ් එකට සටනක් දෙන ෆ්‍රී නිෂ්පාදන හඳුන්වා දෙන්නත් කලින්- මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් වලට දෙන්න සල්ලිත් නැති, හොරට ඔව්වා පාවිච්චි කරන්න කැමතිත් නැති අය නිදහස් සහ විවෘත මෘදුකාංග ලෝකේ ඔෆිස් වලට සමාන නිෂ්පාදන හොයපු. ආන්න ඒ කාලේ හිටපු ජයග්‍රාහකයෙක් තමයි LibreOffice කියන්නේ. හැබැයි පහුකාලීනව තරගකාරීත්වයත් එක්ක ගූග්ල් ඩොක්ස්, ගූග්ල් ස්ලයිඩ්ස් වගේ ඔෆිස් පැකේජ් එකට සටනක් දෙන්න නොමිලේ භාවිතා කළ හැකි වෙබ් ටූල්ස් පැමිණීමත් එක්ක LibreOffice පැකේජ් එකට තිබුණු අවධානය සාපේක්ෂව අඩු වුනත්, LibreOffice අද වෙනකොටත් බොහොම ස්ථාවර ගමනක් ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම දැන් තියෙන LibreOffice පැකේජ් එක සම්පූර්ණයෙන්ම නොමිලේ වුනත්, ගොඩක් ප්‍රීමියම් සොෆ්ට්වෙයාර් වල තියෙන පහසුකම් පවා ලබාදෙනවා. ආන්න ඒ LibreOffice පැකේජ් එකේ ප්‍රසන්ටේෂන් සහ ස්ලයිඩ් ෂෝ හදන්න තියෙන මෘදුකාංගය තමයි LibreOffice Impress කියන්නේ. ඕන නම් මොබයිල් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් Impress Clicker සොෆ්ට්වෙයාර් එකකුත් තියෙනවා.

 

ඇයි LibreOffice Impress මාර වෙන්නේ? එකක් තමයි මේකේ ස්ටොක් කරලා තියෙන අන්තර්ගතයන් වල තියෙන කොලිටිය. ඉතාම වෘත්තීය මට්ටමේ ප්‍රසන්ටේෂන් එකකට අවශ්‍ය කරන ස්ටයිල්ස්, රූප සටහන්, දත්ත වගු, රූප, වගේ මෙකී නොකී හැම දෙයක්ම එක්ක ඉෆෙක්ට්ස් සහ ඇනිමේෂන් පවා LibreOffice Impress වල තියෙනවා. නිර්මාණශීලීත්වය ඇති කෙනෙක්ට LibreOffice Impress එක්ක යන්න පුළුවන් දුර සීමා රහිත වෙනකොට, ප්‍රසන්ටේෂන් ජීවිතේට හදලා නැති කෙනෙක්ට වුනත් සුළු කාලයකින් හොඳ ප්‍රසන්ටේෂන් එකක් මේ ඔස්සේ හදාගන්න පුළුවන්.

 

7. Ludus

Ludus කියන්නෙත් ඉතා හොඳ අනාගතයක් පෙන්නන, නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී වර්ෂන් එකකුත් තියෙන ප්‍රසන්ටේෂන් ටූල් එකක් කිවුවොත් නිවැරදියි. විශේෂයෙන්ම Ludus නිර්මාණය කරලා තියෙන්නේ සාම්ප්‍රදායික ප්‍රසන්ටේෂන් වලට වඩා, වර්තමාන ඩිජිටල් ලෝකයේ තියෙන ගොඩක් සේවාවන්ගෙන් අන්තර්ගතයන් Ludus ප්‍රසන්ටේෂන් තුළට ඇතුළත් කිරීමත් අදහස් කරගෙන. අන්න ඒ නිසා අනික් ප්‍රසන්ටේෂන් ටූල්ස් වලට වඩා ලේසියෙන් YouTube, Vimeo, DropBox, GIPHY වගේ වෙබ් සේවා වල තියෙන අන්තර්ගතයන් Ludus ප්‍රසන්ටේෂන් එකක් ඇතුළට දාගන්න පුළුවන්.  ඒ වගේම තවත් සහයෝගී හවුල්කරුවන් එක්ක ප්‍රසන්ටේෂන් එකක් හදනවා නම්, Ludus ඉඩ දෙනවා වෙන වෙනම ෂෙයාර්ඩ් චැනල්ස් හදාගෙන වැඩේ ෆ්ලෝ එක කළමනාකරණය කරගන්නත්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *