කජු කනවා වගේ ලේසියෙන්ම හදන්න පුළුවන් කජු රෙසිපි 5ක්

කජු කියන්නෙ ටිකක් මිල අධික කෑමක්. ගම් වල කජු වාරෙට නම් කජු ඕන තරම් තියෙනව. කොච්චර ගණන් උනත් කන්න ආස අය කජු නොගෙන ඉන්නෙ නම් නෑ. ඕන විදියකට කජු හදලා කන්න ඔන්න ගෙනාවා කජු රෙසිපි සෙට් එකක්ම. මේ උත්සව කාලේ වෙනස් විදියට හදලා කන්නකො එහෙනම්…

 

1. කජු කරිය (Cashew Curry)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අමු කජු 400g (වියළි කජු නම් රැයක් පොඟවාගන්න)
  2. ලියාගත් රතුළූණු ගෙඩි 10 ක්
  3. කපාගත් අමු මිරිස් කරල් 2ක්
  4. කුරුඳු පොතු කැබැල්ලක්
  5. කරදමුංගු 1
  6. කබලේ බැදගත් කරපිංචා ස්වල්පයක්
  7. උළුහාල් තේ හැඳි 1/2
  8. ගොරකා කෑලි 2
  9. රම්පේ කැබැල්ලක්
  10. අමු පහේ කුඩු තේ හැඳි 3
  11. කහ කුඩු තේ හැඳි 1/2
  12. මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  13. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  14. අබ තේ හැඳි 1/4
  15. දියකිරි කෝප්ප 2
  16. මිටිකිරි  කෝප්ප 3 ක්
  17. ලුණු ස්වල්පයක්
  18. පොල් තෙල් මේස හැඳි 2 ක්

 

  • කජු වලට ලුණු, අමු පහේ, කහ, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු දමා හොඳින් අත ගා පැයක් තබන්න. 
  • දැන් මැටි ඇතිලියක තෙල් ටික රත්වෙන්න තියල තෙල් රත් උනාම ඒකට උළුහාල්, කරපිංචා, රම්පේ, අබ, කුරුඳු පොතු හා කරදමුංගු කරල දාගෙන තෙම්පරාදු කරන්න.
  • ඒකට ලියාගත් රතුළූණු දමා විනාඩි 3ක් පමණ තෙම්පරාදු කරන්න. දැන් අමුමිරිස් දමා තවත් තත්පර 20ක් විතර තෙම්පරාදු කරන්න.  
  • පහේ දමා ගත් කජු ටික දැන් තෙලට දාන්න. හොඳින් මිශ්‍ර කර තෙලෙන් විනාඩි 10 ක් පමණ තෙම්පරාදු කරන්න.  
  • ගින්දර අඩු කර පියන වසා මද ගින්නෙන් විනාඩි 2ක් පිස ගෙන දිය කිරි එකතු කරන්න. ගින්දර වැඩි කර දිය කිරි හිඳෙන තුරු පිස ගෙන මිටි කිරි එකතු කරන්න. 
  • මිටිකිරි එක් කරාට පස්සෙ අඩු ගින්දරේ පියන වසා විනාඩි 30ක් විතර පිසින්න. වරින් වර හැඳි ගාන්න. අවශ්‍ය ගාණට හිඳුනම ලිපෙන් බාගන්න. 

 

2. රෝස්ටඩ් කජු (Roasted cashew nuts)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කජු කෝප්ප 1 ක්
  2. කඩල පිටි කෝප්ප  1/4 ක්
  3. හාල් පිටි මේස හැඳි 2 ක්
  4. කහ තේ හැඳි 1/2 ක්
  5. මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  6. චාට් මසලා තේ හැඳි 1/2
  7. ලුණු 

 

  • කජු, කඩල පිටි, හාල් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, චාට් මසාලා, ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. ඒකටම වතුර මේස හැඳි 2 ක් දමා නැවත හොඳින් මිශ්‍ර කරගන්න. 
  • හොඳින් රත් කරගත් තෙලට කජු එකින් එක දමාගෙන අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. 

 

3. කජු මසාලා (Cashew Masala)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කජු 300g                    
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
  3. සුදුළූණු බික් 3
  4. ඉඟුරු තේ හැඳි 1
  5. අමු මිරිස් කරල් 2
  6. ලියාගත් ළූණු ගෙඩි 1 
  7. කපාගත් තක්කාලි ගෙඩි 2
  8. ගී තේ හැඳි 1
  9. කුරුඳු කොළයක්
  10. කුරුඳු පොතු කෑල්ලක්
  11. කරදමුංගු 1
  12. රතු මිරිස් කරල් 2
  13. මිරිස්කුඩු තේ හැඳි 2
  14. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  15. සූදුරු කුඩු තේ හැඳි 1/2
  16. ගරම් මසාලා තේ හැඳි 1
  17. කහකුඩු තේ හැඳි 1/2
  18. ලුණු

 

  • කිරි ටික ලිපේ තියලා රත් කරගන්න.  ලිපෙන් බාලා මේකට කජු 50gක් වගේ පෙඟෙන්න දාගන්න. 
  • ඉඟුරු, සුදුළූණු, අමුමිරිස් සහ වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරගන්න. ළූණු ගෙඩිය වෙනම හොඳින් බ්ලෙන්ඩ් කරන්න. තක්කාලි ටිකත් වෙනම බ්ලෙන්ඩ් කරන්න. ඊළඟට කිරිවල පොඟවාගත් කජු කිරි සමගම හොඳින් බ්ලෙන්ඩ් කරන්න.  
  • පෑන් එකට ගී ඔයිල් දාලා ඉතිරි කජු ටික බැදගන්න. ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම කුරුඳු කොළය, කුරුඳු පොතු කරදමුංගු, වියළි මිරිස් දාලා බැදගන්න. 
  • මේකට අමුමිරිස් හා ඉඟුරු පේස්ට් එක දාගන්න. ඒකට බ්ලෙන්ඩ් කරගත් ළූණු දමා විනාඩි 3ක් විතර හොඳින් මිශ්‍ර කරන්න.  
  • දැන් තක්කාලි මිශ්‍රණය ද දමා හොඳින් තෙම්පරාදු කරන්න. තක්කලි වලින් තෙල් වෙන්වෙලා එන කොට ඒකට කුළුබඩු සියල්ලම දාලා විනාඩි 5 ක් තෙම්පරාදු කරගන්න. 
  • දැන් බ්ලෙන්ඩ් කරගත් කිරි හා කජු මිශ්‍රණය දමා කලවම් කරන්න. ඒකට රස අනුව ලුණු එක් කර හොඳින් කලවම් කරගන්න. 
  • ඉන්පසුව පියන වසා විනාඩි 10 ක් ලිප තබන්න. අන්තිමට රෝස්ට් කරගත් කජු ටික දාලා උතුරවගන්න. 

 

4. හනී රෝස්ටඩ් කජු (Honey Roasted Cashew)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කජු 250g
  2. බටර් තේ හැඳි 1
  3. මී පැණි තේ හැඳි 2 
  4. කුරුඳු කුඩු 1/4
  5. සීනි මේස හැඳි 1
  • අවන් එක සෙල්සියස් 170° ට ප්‍රීහීට් කරගන්න. 
  • බටර් ටික පෑන් එකට දමා රත් කරගෙන මී පැණි තේ හැඳි 2ක් එක්කර කුරුඳු කුඩු දාලා හොඳින් කලවම් කරන්න. ඒකට කජු දමා මිශ්‍ර කරන්න.  
  • ප්‍රීහීට් කරගත්ත අවන් එකට දාල විනාඩි 18 – 20 ක් පමණ බේක් කරගන්න. 
  • අවන් එකෙන් අරගෙන සීනි හා කුරුඳු කුඩු වල දවටගන්න. 

 

5. කජු බර්ෆි (Cashew Burfi)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කජු කෝප්ප 2 ක්
  2. සීනි කෝප්ප 1 ක්
  3. වතුර කෝප්ප 1/2
  4. ගී තේ හැඳි 1 ක්
  5. කුරුඳු කුඩු තේ හැඳි 1/4

 

  • කජු කෝප්ප 2ක් හොඳට පවුඩර් වෙනකම් ග්‍රයින්ඩ් කරගන්න. කජු පිටි ටික හොඳින් හලා ගන්න.  
  • පසුව වෙනම පෑන් එකක සීනි හා වතුර කෝප්ප 1/2 දමා උණු කර, මධ්‍යම ප්‍රමාණෙට ගින්දරේ උණු කරලා ෂුගර් සිරප් එක සාදා ගන්න. 
  • ඒකට කුඩු කර ගත් කජු ටික දමා හොඳින් කලවම් කරන්න. අඩු ගින්දරේ හැඳිගාන්න. 
  • මිශ්‍රණය සොෆ්ට් වේගෙන එද්දි එයට ගී හා කුරුඳු කුඩු දමා හොඳින් කලවම් කරන්න.  
  • ලිපෙන් බාලා සොෆ්ට් ඩෝ එකක් වගේ අනාගන්න. මේක බටර් ගාගත් ට්‍රේ එකක අතුරා, කැමති උසකට තුනී කරලා, කෑලි කපාගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *