සුම්බා ඩාන්සින් කළොත් කෙට්‍ටු වෙන්න පුලුවන්ද? මේ සුම්බා ගැන නොදන්න කරුණු 7ක්

zumba dancing in srilanka

සුම්බා කියලා අපි ලේසියට කිවුවට ඇත්තටම ඒක Zumba. ඉසෙඩ් අකුරක් එක්කයි කියවෙන්නේ. දැන් කාලේ අපි දන්න කියන ගොඩක් අය කෙට්‍ටු වෙන එකත්, ඩාන්සින් ඉගෙන ගන්න එකත් දෙකම එකට කරගන්න කියලා යනවනේ සුම්බා නැ‍ටුම් පංති හොයාගෙන. අයියලාටත් වඩා අක්කිලාට තමයි මේ සුම්බා පිස්සුව තදේට තියෙන්නේ. හැබැයි ඇත්තටම සුම්බා ඩාන්ස් වලින් කෙට්‍ටු වෙන්න පුලුවන්ද? සුම්බා වලින් ඩාන්ස් කරන්න පුලුවන් වෙනවද? ආන්න ඒ ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ!

 

1. මොනවද මේ සුම්බා?

zumba dancing in srilanka

Source – 24life.com

ඇල්බෙර්තෝ පෙරේස්… ඇල්බෙර්තෝ කියන්නේ කොළොම්බියානු ජාතික නර්තන ශිල්පියෙක් සහ නර්තන රචකයෙක්. මෙන්න මෙයාගේ නම තමයි සුම්බා වල පියා විදියට මතක තියාගන්න ඕනෑ. ඇල්බෙර්තෝ තමයි සුම්බා කියන නර්තනය හා බැඳුණු ශාරීරික යෝග්‍යතා ව්‍යායාම වැඩසටහන නිර්මාණය කරපු කෙනා. ඔව්, සුම්බා පටන් ගත්තේ ලතින් ඇමරිකාවෙන් තමයි!

ඇත්තටම සුම්බා පටන් ගත්තේ 1990 ආසන්නයේදී වුනත්, සුම්බා වලට මෙරෙන්ගේ, සල්සා, කුම්බියා, සම්බා වගේ ලතින් නර්තන ආකාරයන්ගේ ආභාෂය තියෙනවා. මේ විදියේ ලතින් ඌරුවේ නර්තන හැඩතල එක්ක නිර්මාණය වෙන සුම්බා කියන්නේ නර්තනයක් නෙවෙයි කියලා ආයෙමත් කියන්න ඕනෑමයි. සුම්බා කියන්නේ ශාරීරික යෝග්‍යතා ව්‍යායාම වැඩසටහනක්.

ඇත්තටම සුම්බා කියන්නේ මේ වෙනකොට ජාත්‍යන්තර ව්‍යාපාරයක්. සුම්බා කියන වෙළෙඳ නාමයේ හිමිකාරීත්වය තියෙන්නේ Zumba Fitness, LLC සමාගමට!

 

2. පළමුවෙනි සුම්බා පංතිය

zumba dancing in srilanka

Source – giphy.com

අපි කිවුවනේ සුම්බා ආරම්භ කළේ ඇල්බෙර්තෝ හෙවත් බේ‍තෝ පෙරේස් කියලා. ඇල්බෙර්තෝ ඇත්තටම හැදී වැඩුනේ දුප්පත් පවුලක. පුංචි කාලේ ඉඳන් නර්තනයට ආස කලත් ඇල්බෙර්තෝට ඩාන්සින් පංති යන්න පුලුවන් කමක් තිබුණේ නෑ. ඉතින් ඇල්බෙර්තෝ කලේ තනියෙන් ඉගෙන ගන්න එක. කොහොම හරි අවුරුදු 19 වෙනකොට ඇල්බෙර්තෝ කොළොම්බියානු ජාතික ලම්බාඩා තරඟය ජයග්‍රහණය කරනවා. එතැන ඉඳන් වෘත්තිමය නර්තන ශිල්පියෙක් වෙන්න ඇල්බෙර්තෝට ඉඩ ප්‍රස්තාව හිමිවෙනවා.

සුම්බා ලෝකයට ආපු හැටි කියනවා නම්, ඒකත් රසවත් කතාවක්. එක පාරක් ඇල්බෙර්තෝ කරපු එරොබික්ස් ක්ලාස් එකකදී එරොබික්ස් මියුසික් ගේන්න ඇල්බෙර්තෝට අමතක වෙනවා. ඒ නිසා ඇල්බෙර්තෝ තමන්ගේ මියුසික් කලෙක්ෂන් එකෙන් ලතින් මියුසික් එකක් වාදනය කරනවා. ඒ ගමන්ම ලතින් නර්තන ඉරියව් එක්ක එරොබික්ස් පංතිය කරනවා. ඒක තමයි පළමුවෙනි සුම්බා පංතිය!

 

3. සුම්බා කොහොමද ලෝකේ අඳුනාගත්තේ?

zumba dancing in srilanka

Source – zumbacontracosta.com

ඇල්බෙර්තෝ පෙරේස් ඉන් පස්සේ යනවා ඇමරිකා. ගිහින් උත්සාහ කරනවා මේ නව ශරීර සුවතා නර්තන වැඩසටහන එහේ ජිම් වල මැනේජර්ලට අඳුන්වලා දෙන්න. හැබැයි ඒ වගේ ඇමරිකා සංචාර හතරක් ගිහිල්ලත් සාර්ථකත්වයක් ලැබෙන්නේ නෑ. හැබැයි 1999 දී මියාමි වල ඉන්න එක ජිම් මැනේජර් කෙනෙක් පෙරේස්ට කියනවා එයාට පුද්ගලිකවම මේ සුම්බා නර්තන ව්‍යායාම උගන්වන්න කියලා. පෙරේස් එයාට සුම්බා පංතියක් කරනවා. ඉක්මනටම මේ තනි පුද්ගල සුම්බා පංතිය නැතිවෙලා බොහෝමයක් දෙනා සුම්බා ඉගෙන ගන්න ඇල්බෙර්තෝ පෙරේස් ගාවට එන්න පටන් ගන්නවා.

මීට පස්සේ තමයි සුම්බා කියන නම නියම වෙළෙඳ නාමයක් විදියට ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ. ඒකට ඇල්බෙර්තෝ පෙරේස්ට තව ඇල්බෙර්තෝලා දෙන්නෙක් එකතු වෙනවා. එක්කෙනෙක් ඇල්බෙර්තෝ පෙර්ල්මාන්, අනිකා ඇල්බෙර්තෝ අහියෝන්. මේ අය එකතුවෙලා නිර්මාණය කරන සුම්බා වෙළෙඳ නාමය යටතේ 2015 වෙනකොට රටවල් 186 ක සුම්බා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිලියන 14 ක් ඉගෙනුම ලබනවා.

 

4. සුම්බා කිවුවහම ලතින් ඇමරිකන් විතරද?

zumba dancing in srilanka

Source – pinterest.com

අපි මුලදිත් කිවුවනේ සුම්බා ශරීර සුවතා ව්‍යායාම නර්තන ආකාරය පාදක කරගන්නේ ලතින් ඇමරිකානු නර්තන රටාවන් සහ ලතින් ඇමරිකානු සංගීතය කියලා. හැබැයි ඉක්මනින්ම සුම්බා වලට සාම්ප්‍රදායික ලතින් ඇමරිකානු නර්තන ව්‍යායාම ඇරෙන්න තව හිප් හොප්, රෙගෙටන්, පොප් වගේ නව ලෝකයේ නර්තන රටාවනුත් එකතු වෙනවා. ඇත්තටම ලෝකේ මේ වෙනකොට ඉන්න ගොඩක් සුම්බා උපදේශකවරු තමන්ගේ සුම්බා ව්‍යායාම වලට විවිධ අංගෝපාංග එකතුකරනවා, තවත් නවීකරණය කරනවා දැකගන්න පුලුවන්.
 


ඒකට හොඳම උදාහරණයක් තියෙනවා කොළඹ. ඒ තමයි බොලිවුඩ් ‍ෆිට්නස් විත් ජේ. මේ සුම්බා ක්ලාස් එකේ කරන්නේ ලතින් ඇමරිකානු නර්තන රටාවන් එක්ක යන සුම්බා නෙවෙයි. බොලිවුඩ් හින්දි ගීත එක්ක යන, බොලිවුඩ් හින්දි චිත්‍රපට වල නර්තන ආකාර එකතුවුණු අපූරු සුම්බා නර්තන ව්‍යායාම රටාවන් තමයි. ඇත්තටම ලතින් ඇමරිකානු ඩාන්ස් වලට වඩා අපිට බොලිවුඩ් ඩාන්ස් හුරුයිනේ. ඒ නිසා ගොඩක් දෙනෙක් මේ අපූරු සුම්බා ‍ෆියුෂන් එකට කැමති වෙන්න පුලුවන්.

 

5. සුම්බා වලින් ඇත්තටම කෙට්‍ටු වෙන්න පුලුවන්ද?

zumba dancing in srilanka

Source – giphy.com

මෙන්න මේක තමයි හැමෝම අහන ප්‍රශ්නය. සුම්බා පංති ගිහිල්ලා තඩි බඩවල් මට්‍ටු කරන්න පුලුවන්ද කියන එක. උත්තරේ මේකයි. ඔව්, පුලුවන්. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයට වඩා ස්ථුලතාවයෙන් වැඩි මනුස්සයෙක් වෙනදා වගේම පැලෙන්න කාලා, සතියට දවසක් දෙකක් සුම්බා පංති ගිහින් තුන්මුනින් දාඩිය දාගෙන නැ‍ටුවා කියලා ඇඟ අඩුකරගන්න බැහැ.

සුම්බා කියන්නේ සාමාන්‍ය ඇවිදීම වගේ ක්‍රියාකාරකමකට වඩා තීව්‍ර විදියට කැලරි දහනය කරන ව්‍යායාම වැඩසටහනක් කියන එක වැරදි නැහැ. හැබැයි ඒක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. සෑහෙන්න ස්ථුල කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර පාලනයක් කළ යුතුමයි. ආහාර පාලනයකින් තොරව කෙට්‍ටු වෙන්න බැහැ. හැබැයි ඒකත් එක්ක සතියකට අඩු තරමින් දවස් තුනක් හරි, අඩු තරමින් එක දවසකට මිනිත්තු තිහ ගාණේ වත් සුම්බා නර්තන ව්‍යායාමයන්ගේ යෙදුණොත්, අන්න හිතාගන්න බැරි විදියට ඇඟ අඩු කරගන්න පුලුවන්. ඇඟ අඩු කරගන්න විතරක් නෙවෙයි, ඇඟ ලස්සනට හදාගන්න සහ තමන්ගේ ශරීර සුවතාවය – ඒ කිව්වේ ‍ෆිට්නස්- වැඩි කරගන්නත් පුලුවන්.

ඒ කියන්නේ කෙට්‍ටු අය සුම්බා කරන්න එපාද? අනිවාර්යයෙන්ම සුම්බා වලට ආස නම් සුම්බා පංතියකට යන්න. අපි කලිනුත් කිවුව විදියට මේක ඇඟ අඩුකරවන ව්‍යායාම වැඩසටහනක් විතරක් නෙවෙයි. ශරීර යෝග්‍යතාවය ඇතිකරවීම තමයි සුම්බා වල ප්‍රධාන ඉලක්කය. අන්න ඒ නිසා ‍ෆිට් එකේ ඉන්න කැමති මහත කෙට්‍ටු ඕනෑම කෙනෙකුට සුම්බා කැපයි!

 

6. නිතර ඇහෙන සුම්බා මිත්‍යා විශ්වාස

zumba dancing in srilanka

Source – pinterest.com

පළවෙනිම මිත්‍යා විශ්වාසය තමයි සුම්බා පංතියකට ගියහම ඇඟ අඩුකරගන්න පුලුවන් කියන එක. බොරුනෙ නංගි. පංති ගියාට ඇඟ අඩුවෙන්නෙ නෑ. සුම්බා පංතියට ගිහින් කැපවීමෙන් ඒ ව්‍යායාම ටික කළොත් තමයි ඇඟ අඩුවෙන්නේ. සුම්බා නර්තන ව්‍යායාම ඒ නියමාකාර තීව්‍රතාවයෙන් කළොත් තමයි නියම ප්‍රතිඵල තියෙන්නේ. හොරට සුම්බා කරන අයගේ ඇඟ අඩුවෙන එක සුම්මා තමයි!

දෙවෙනි මිත්‍යා විශ්වාසය තමයි සුම්බා වලින් ශරීර ශක්තිය වර්ධනය කරගන්න පුලුවන් කියන එක. ඒක වෙන්නෙත් නෑ. සුම්බා වලින් වෙන්නේ ශරීර යෝග්‍යතාවය වර්ධනය කිරීම. ඒ කියන්නේ ශරීරයේ අමතර මේද දහනය, දරාගැනීම වැඩි කිරීම වගේ දේවල්. හැබැයි ඒකත් එක්ක ඇ‍ඟේ ශක්තිය, මස්පිඬු වර්ධනය වගේ දේවල් අවශ්‍ය නම්, තවත් ජිම් එකකට හරි පංතියකට හරි යන්න වෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් ජිම් යන කෙනෙක්ට වුනත් ඒකත් එක්ක සුම්බා ව්‍යායාම නර්තනයන් කරන එක සෑහෙන්න ප්‍රතිඵලදායකයි කියන්න පුලුවන්.

 

7. ලංකාවේ සුම්බා ඩාන්සින්ග් කරන තැන්

zumba dancing in srilanka

Source – topmed.co.za

දැන් සුම්බා ඩාන්සින් ගැන අදහසක් තියෙනවනේ. සුම්බා ඉතිහාසයත් දන්නවනේ. සුම්බා වලින් කෙට්‍ටුවෙන්නේ කොහොමද කියලත් දන්නවනේ. ඊළඟට දැනගන්න ඕනෑ ලංකාවේ හොඳ සුම්බා පංති තියෙන්නේ කොහෙද කියලා තමයි. ඒකට අපි ලංකාවේ සුම්බා පංති තියෙන තැන් ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. හැබැයි ඉතින් අපි මේ හැම තැනකටම ගිහින් නැති නිසා කොයි තරම් හොඳද, කොයි තරම් නරකද කියලා නම් කියන්න බැහැ. ඒක තමන් කථා බහ කරලා, දවසක් දෙකක් ගිහිල්ලා තීරණය කරන්න ඕන දෙයක්.

 

Zumba Sri Lanka

අමතන්න – 0777530799

Bollywood Fitness With Jay

මැසේජ් කරන්න – ෆේස්බුක් හරහා

Resh Dance & Zumba Studio

අමතන්න – 0777005677

Workout With Hiruni (Zumba)

අමතන්න – 0777444662

 

මීට අමතරව තව ඔය ගොඩක් ඉහළ මට්ටමින් සේවාව ලබාදෙන කාය වර්ධන/ශරීර සුවතා ආයතන වලත් ගොඩක් වෙලාවට සුම්බා ක්ලාස් එකක් තියෙනවා.

ආටිකල් එක අන්තිමටත් අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. සුම්බා ඩාන්සින් ක්ලාස් එකකට ගියාට පාඩු නෑ. ශරීර සුවතාවය කියන්නේ සල්ලි වලින් ලබාගන්න බැරිතරමට ජීවිතයට වටිනා දෙයක්. ඒ විතරක්ද, ඩාන්සින් මූව්ස් ඉගෙන ගන්නත් ලැබෙනවනේ!

 
Cover Image Source – whatsuplife.in
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *