මීට සති කීපයකට කලින් අපි මේ ආටිකල් එකේ පළවෙනි කොටස ලිව්වා. නමුත් අපි ඒ ආටිකල් එකට ඇතුළත් කරලා තිබ්බේ ගී පද රචිකාවෝ හත් දෙනකුගේ නම් විතරයි. මේ නිසා අපේ පාඨකයෝ බොහෝ දෙනෙක් අපි ඒ ආටිකල් එකට ඇතුළත් කරලා තිබ්බේ නැති විශිෂ්ට ගී පද රචිකාවෝ කීප දෙනෙක්ගේම නම් සඳහන් කරලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ඔබෙන් ඒ ලැබුණු දිරි ගැන්වීම් සහ තොරතුරු මත (සමහර අයගෙ නම් ඇනුම් පද ) ඒ ආටිකල් එකට මේ විදිහට තවත් ඌනපූර්ණ ආටිකල් එකක ලියන්න.
හද සසල කළ ලාංකීය ගී පද රචිකාවෝ 1 කොටස මෙතනින් කියවන්න!
1. චන්ද්‍රා වයමන්
ගුවන් විදුලිය කියන්නේ බොහෝ කලාකරුවන්ට කලාවේ දොරගුළු විවර කරපු තැනක්. ගුවන් විදුලියේ නිවේදන කටයුතුවලට පැමිණි බොහෝ දෙනෙක් ගී පද රචකයෝ විදිහටත් සාර්ථක වුණා. මේකට එක හේතුවක් වෙන්න ඇත්තෙ ඒ දවස්වල නිවේදක වෘත්තියට ගනිද්දී සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව ප්‍රවීණත්වයක් තියෙන ශිල්පීන් පමණක් දායක කර ගැනීම වෙන්න පුළුවන්. පළවෙනි වතාවට ගී පද රචනයට පිවිසුණු ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට චන්ද්‍රා වයමන් මහත්මියව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම නිවේදිකාවක් විදිහටත් ඇය ඉදිරි පරම්පරාවක් පෝෂණය කරපු තැනැත්තියක්. දැන් අපි ඒ ඇය විසින් “කොහොමද වැඩේ” චිත්‍රපටය වෙනුවෙන් රචනා කරපු ගීතයකට සවන් දෙමු.
2. රත්නා ලංකා අබේවික්‍රම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහි වෙච්ච හඬ පෞරුෂවලට අභියෝග කරන්න පුළුවන් හඬවල් තවමත් බිහි වෙලා නොතිබීම ඒ හඬ පෞරුෂවල විශිෂ්ටත්වය පෙන්නන ප්‍රධාන සාක්කියක්. ඒ අතරෙන් රත්නා ලංකා අබේවික්‍රමගේ කටහඬ විශේෂයි. නමුත් ඊට සාපේක්ෂව රසිකයන් අතර ඇගේ ගී පද රචනා පිළිබඳව කතාබහක් ඇති වුණාද කියන එක ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි ඇගේ ඇතැම් ගීත රස විඳින්නේ ඒ ගී පද ඇගේ කියාවත් නොදැන. අපි දැන් රත්නා ලංකාගේ පද රචනයක් සුජාතා අත්තනායකගේ හඬින් අහමු.
3. මාලා වජිරා පෙරේරා
නිවේදිකාවක් විදිහට කලා ක්ෂේත්‍රයට ආපු මාලා වජිරා පෙරේරා ඉන් පසුව ගී පද රචිකාවක් විදිහට වගේම නවකතාකාරියක් විදිහටත් ජනතාවගේ ජනප්‍රසාදය දිනා ගත්තා. ත්‍යාගා එන්. එඩ්වඩ් විසින් ගායනා කරන “කාංචනා හිතන්න පොඩ්ඩක් කාංචනා”, අමරා රණතුංග විසින් ගායනා කරන “ඉකි බිඳ හඬනු එපා” වැනි ගීත ඇය විසින් රචනා කර තිබෙනවා. නමුත් මෑතකදී නම් අපිට ඇයව නව ගී පද රචනාවකින් මුණගැහුණේ නැහැ. දැන් අපි ඔබට අහන්න සලස්වන්නේ ඇය විසින් රචනා කරපු ජනප්‍රියම ගීතය කිව්වොත් වැරදි නැහැ.
4. මාලනී ජයරත්න
ටී. එම් ජයරත්න කියන ගායකයාගේ විවාහය ඔහුගේ ජීවිතයට වගේම සංගීත ජීවිතයටත් වාසනාව ගෙන ආවා. ඒකට හේතුව තමයි ඔහුගේ බිරිඳ වන මාලනී ජයරත්නට තමන්ගෙ සැමියා වෙනුවෙන් සුන්දර ගී පද රචනා රැසක් ලියා දීමට හැකි වීම. දවසක් අහම්බෙන් වගේ මාලනීගේ ගී පද රචනාවක් දැකලා ටී. එම් පුදුමයට පත් වෙනවා. ඔහු ඊට පස්සේ ඇගේ පද රචනා ගායනා කරන්න තීරණය කරනවා. මේ ටී.එම් විසින් ගායනා කරන මාලනී විසින් රචනා කරපු ජනප්‍රියතම ගීතයක්.
5. සුරම්‍යා මාපිටිය
සුරම්‍යා මාපිටිය ගී පද රචනා කරන්න පිවිසෙන්නේ රූපවාහිනියෙන්. ඒ වගේම ඇය වෙනස් විදිහේ වැඩක් කරපු ගී පද රචිකාවියක් විදිහටත් විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ ඇගේ ගී පද රචනා සියල්ලම එකතු කර “අළු පාට හැන්දෑව” නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම නිසා. මීට වසර ගණනාවකට පෙර, ඒ කියන්නේ අවුරුදු දහය පහළොවකට කලින් මේ ප්‍රසංගය විකාශය වුණත් ඒ ප්‍රසංගය ගැන අදටත් රසිකයන්ට මතක තියෙනවා. සමහර විට මේ ප්‍රසංගයට ඇය නම තියන්නත් ඇත්තේ ඇයගේ ගී පද රචනා අතරින් හද සසල කළ ගීතය ඒ ගීතය වෙන නිසා වෙන්න පුළුවන්. අපි දැන් ඒ ගීතයට සවන් දෙමු.
6. තිලකා රණසිංහ
ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක් වුණ තිලකා රණසිංහ විවාහ වුණේ ලංකාවේ තවත් ජනප්‍රිය ගායකයෙකු වුණු නාරද දිසාසේකර එක්ක. නමුත් ඒ විවාහය බිඳ වැටෙනවා. තිලකා රණසිංහ වෙනත් විවාහයක් ගැන නොසිතා පළමු විවාහයේ තමන්ගේ දරුවා වන සාරංග වෙනුවෙන් තමන්ගෙ කාලය සම්පූර්ණයෙන්ම වෙන් කරනවා. මේ නිසාම ඇය තමන්ගෙ හිතේ සාරංග ගැන තිබ්බ සෙනෙහස ගී පද වැලකට මුසු කරලා, තමන් විසින්ම ගායනා කරනවා. තමන්ගේ පදවැලක් තමන් විසින්ම ගායනා කරන ඒ දුර්ලභ ගීතය අපි දැන් රස විඳිමු.
7. ප්‍රීති රන්දෙණිය
චිත්‍රපටි නිළියක් විදිහට රඟපාන්න ආපු ප්‍රීති අන්තිමට සිනමා නළුවෙක් වුණු රවීන්ද්‍ර රන්දෙණිය සමග විවාහ වෙලා සිනමාවට සමු දුන්නා. මෑතකදී නම් ඇය “විජයබා කොල්ලය” චිත්‍රපටයට සම්බන්ධ වෙලා තිබ්බා. කොහොම වුණත් සිනමාවට සමුදීමෙන් පසුව ගී පද රචිකාවක් විදිහට වගේම සාහිත්‍ය නිර්මාණවේදිනියක් විදිහටත් ඇය ජනප්‍රිය වුණා. මේ ඇයගේ ජනප්‍රිය ගීතයක්.
එහෙම නම් ඉතින් මේ ලිපි දෙකටම ඇතුළු වුණේ නැති, තවත් ලිපියකින් අපි අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු යැයි සිතන ගී පද රචිකාවෝ ගැන කමෙන්ට් එකකින් කියන්න වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් ඔබ අමතක කරන්න එපා.
Leave a Reply