බොන එක්ස්පර්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු ක්ලැසික් කොක්ටේල් 7ක්!

අපි හැමදාම කියන එකක් තමයි, බොනවා කියන්නේ බෝතලේකුයි සැන්ඩි බෝතලේකුයි මැදින් තියාගෙන කුදාර් වෙන්න ගහන එක නෙවේය කියන එක. බොන්න ඕන සිහි නැති වෙන ලෙවල් එකට මත් වෙන්න නෙවෙයි, බොන බීමක වුනත් රසක් විඳින්නත් පුලුවන් වෙන්න ඕන. ඒකට එක උදාහරණයක් තමයි කොක්ටේල් කියන්නේ. කොක්ටේල් වර්ග සාමාන්‍යයෙන් කුදාර් වෙන්න ගහන ඈයෝ අල්ලන්නෙවත් නෑ. මොකද කොක්ටේල් එකක් බිව්වා කියලා කණ් පාත්වෙන්න වදින්නෙ නැහැනේ. හැබැයි මත්පැන් වර්ග, වෙන වෙන අමුද්‍රව්‍ය, බීම වර්ග කීපයක් එකතුවෙලා හැදෙන කොක්ටේල් එකක් කියන්නේ ආට් එකක්. ඒ නිසා කොක්ටේල් එකක් රස විඳින්න නම් බීමේ ආට් එක තේරෙන කෙනෙක් වෙන්න ඕන.

දැන් බීමේ ආට් එක තේරෙන මනුස්සයෙක් නම් අනිවාර්‍යයෙන්ම දැනගෙන ඉන්න ඕන ක්ලැසික් කොක්ටේල් වර්ග කීපයක් තියෙනවා. අපි මේ කියන්න යන්නේ ආන්න ඒ ක්ලැසික් කොක්ටේල් වර්ග කීපයක් ගැන තමයි.

 

1. Martini

Image Source – georgetowner.com

පරණ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් බලලා තියෙන කෙනෙක්ට මාටිනි එක වරදින්න විදියක් නෑ. සමහරු සලකන්නේ මාටිනි කියන්නේ ලෝකේ තියෙන අති විශිෂ්ටම කොක්ටේල් එක කියලා තමයි. ඒ කාලේ ඉඳලම ‘ජෙන්ට්ල්මන්ස්’ ඩ්‍රින්ක් එකක් විදියට සැලකෙන මාටිනි එකක ඇත්තටම අඩංගු වෙන්නේ ජින් කොටස් දෙකහමාරකට ඩ්‍රයි වර්මූත් කොටස් එකක්. ඉන් පස්සේ නැවුම්ව ගලවා ගත්තු ලෙමන් ලෙලි කැබැල්ලක් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකට මිරිකලා අරගෙන ඒක ඇතුළටම දාගන්න පුලුවන්. හැබැයි මාටිනි එකක එන ක්ලැසික් සැරසිල්ල තමයි ටූත් පික් එකක ගහපු ඔලිව් ගෙඩි තුනක්. ඒක තමන්ගේ කැමැත්තේ විදියට. එතකොට ‘ඩර්ටි මාටිනි’ එකක් කියන්නේ ඔලිව් යුෂ බිඳිත්තක් දාපු මාටිනි එකක්.

 

2. Mojito

Image Source – bonappetit.com

ඕනම හාඩ්කෝර් ලිකර් ලෝලියෙක් වුනත්, රස්නේ දවසක දෙන මොහිතෝ එකකට එපා කියන්නෙ නැහැ. ඇත්තටම මොහිතෝ එකේ විවිධාකාර වෙනස් කම් සහිත මොහිතෝ වර්ග තියෙනවා දැන්. හැබැයි ක්ලැසික් මොහිතෝ එකක අඩංගු වෙන්නේ වයිට් රම්, උක් යුෂ, ලයිම් දෙහි යුෂ, සෝඩා වතුර සහ මින්ට්. දැන් නම් සීනි තමයි උක් යුෂ වෙනුවට දාන්නේ. මේ දාපු මින්ට් කොළ කොලින් ග්ලාස් එකක පතුලේ හොඳට තලාගෙන තමයි මොහිතෝ එක හදාගන්නේ. දැන් මේ මොහිතෝ එක ඕන නම් රම් නැතුව හදාගන්නත් පුලුවන්. එතකොට ඒක වර්ජින් මොහිතෝ. එහෙම නැතිනම් මේකට අන්නාසි, ස්ට්‍රෝබෙරි වගේ තමන් කැමති පළතුරු වර්ගයකුත් මිශ්‍ර කරගන්න පුලුවන්. එහෙම තමයි පයිනැපල් මොහිතෝ, ස්ට්‍රෝබෙරි මොහිතෝ වගේ ඩ්‍රින්ක්ස් හැදෙන්නේ.

 

3. Margarita

Image Source – bonappetit.com

ඉතිහාසගත තවත් කොක්ටේල් එකක් තමයි මාගරිටා කියන්නේ! සාමාන්‍යයෙන් ක්ලැසික් මාගරීටා එකක අඩංගු වෙන්නේ ටිකීලා, ඔරේන්ජ් ලිකර් සහ ලයිම් ජූස් තමයි. ඒ වගේම විවිධාකාරයේ වීදුරු වල මාගරීටා පිළිගන්වනවා. හැබැයි මාගරීටා එකක් පටස් ගාලා අඳුනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වීදුරුවේ උඩ දාරය වටේට තියෙන ලුණු රවුම. මාගරීටා එකක් හදන්නේ සාමාන්‍යයෙන් හොඳ වර්ගයේ ටිකීලා කොටස් 7 ක්, කොන්ට්‍රාවු කියලා හඳුන්වන ඔරේන්ජ් රස ට්‍රිපල් සෙක් ලිකර් කොටස් 4 ක් සහ නැවුම්ව මිරිකා ගත් ලයිම් දෙහි යුෂ කොටස් 3 ක් එකතු කරලා තමයි. මේ ඔක්කොම ෂේකර් එකක අයිස් එක්ක ෂේක් කරලා අරගෙන හදාගන්න කොක්ටේල් එක, ලුණු රවුමක් රිම් එකේ තියෙන වීදුරුවට දාලා, දෙහි පෙත්තකින් සරසා ගන්නවා. දන්නවනේ ටිකීලා කොහොමත් බොන්නේ ලුණු සහ දෙහි එක්ක කියලා.

 

4. Pina Colada

Image Source – thespruceeats.com

පිඤ්ඤාකොලාදා කියන්නේ තවත් ඓතිහාසික කොක්ටේල් එකක්. අහන්න ලැබෙනා විදියට 1800 ගණන් වල පුඑර්තෝ රිකෝ මුහුදු කොල්ලකාරයෙක් වුණු රොබෙර්තෝ කොෆ්‍රේසි තමන්ගේ නාවික කණ්ඩායමේ මොරාල් එක නංවන්න හදලා දීපු ඩ්‍රින්ක් එකක්ලු මේක. හැබැයි ඉතින් මේකෙන් මොරාල් එක නගිනවද, එහෙම නැතිනම් නැවේ තට්‍ටුවේ වාඩියක් දාගෙන මුහුද දිහා බලාගෙන සැපේ ඉන්න හිතෙනවද කියන එක ප්‍රශ්නයක්. අපි එහෙම කියන්නේ පිඤ්ඤාකොලාදා කියන්නේ බොහොම මිහිරි රසක් සහ නැවුම් බවක් ගෙනදෙන කොක්ටේල් එකක් නිසා. එහෙම නැතුව තදබල ඇල්කොහොල් පන්ච් එකක් ලබාදෙන කොක්ටේල් එකක් නොවෙන නිසා. හැබැයි ඉතින් කටවහරේ එන විදියට රොබෙර්තෝ හදපු ඩ්‍රින්ක් එක පිඤ්ඤකොලාදාම කියන්න බැහැ. ඒකේ අඩංගු වෙන්නේ පොල්, අන්නාසි සහ වයිට් රම් වුනත්, රොබෙර්තෝ මැරුණත් එක්කම ඒ රෙසිපියත් අභාවයට ගියා කියලයි කියවෙන්නේ.

කොහොම වුනත් වර්තමානයේ පිඤ්ඤකොලාදා හදන්නේ වයිට් රම් කොටසකට, පොල් ක්‍රීම් කොටසක් සහ අන්නාසි යුෂ කොටස් තුනක් දාලා තමයි. මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකක අයිස් එක්ක ක්‍රෂ් කරලා, නැතිනම් අයිස් එක්ක ෂේක් කරලා හදන පිඤ්ඤකොලාදා එක දිව්‍යලෝක රහයි!

 

5. Manhattan

Image Source – punchdrink.com

නිව්යෝර්ක් නගරයේ කෝරලයන්ගේ නම් වලින් නම් කරපු කොක්ටේල් වලින් ප්‍රසිද්ධම එකක් වෙන මැන්හැට්න් සාමාන්‍යයෙන් පන්ච් එකක් ලබාදෙන කොක්ටේල් එකක්. සාම්ප්‍රදායිකව නම් රයි විස්කි වලින් මැන්හැට්න් හැදුවත්, මේ වෙනකොට බර්බන් වලින් හරි කැනේඩියන් විස්කි වලින් හරි ටෙනසි විස්කි වලින් එහෙමත් මැන්හැට්න් හදනවා. මැන්හැට්න් කොක්ටේල් එකේ අඩංගු වෙන්නේ විස්කි, වර්මූත් සහ තිත්ත රස පොඩ්ඩක් තමයි. විස්කි කොටස් දෙකකට ස්වීට් රෙඩ් වර්මූත් කොටස් එකක් දාලා, ඒකට අන්ගුස්තුරා බිටර්ස් බිඳිති විස්සක විතර ප්‍රමාණය දාලා තමයි මැන්හැට්න් හදන්නේ. ගොඩක් වෙලාවට ඇමරිකන් විස්කි වලට ආගන්තුකයෙක්ට මුලින්ම පටන් ගන්න පුලුවන් මැන්හැට්න් කොක්ටේල් එකෙන්!

 

6. Old Fashioned

Image Source – freshoffthegrid.com

නිකම්ම ඕල්ඩ් ෆැෂන්ඩ් කියලා කිව්වට, ඇත්තටම මේ විස්කි එකේ නම ඕල්ඩ් ෆැෂන්ඩ් විස්කි කොක්ටේල්! කීමට කියන්නේ ඕල්ඩ් ෆැෂන්ඩ් කොක්ටේල් එක ගැන නොදන්න හාදයෙක් කොක්ටේල් බීලා වැඩක් නෑ කියලා තමයි. මේකටත් පරණ ක්‍රමේට හදනවා නම් හරියන්නේ රයි විස්කි තමයි. හැබැයි බර්බන් වුනත්, වෙනත් විස්කි වර්ගයක් වුනත් ගැටළුවක් නෑ. විස්කි අවුන්ස දෙකකට අන්ගුස්තුරා බිටර්ස් ඩෑෂස් දෙකක්, ඒ කියන්නේ බිංදු විස්සක් විතරක්  දාලා තමයි මේක හදන්නේ. සාමාන්‍යයෙන් ඕල්ඩ් ෆැෂන්ඩ් ග්ලාස් එකකට සීනි කැටයක් දාලා, ඒකට අන්ගුස්තුරා දාලා, අර මඩ්ලර් කියලා කියන පුංචි මෝල්ගහ වගේ අයිටම් එකකින් හොඳට කොටාගන්න ඕන. දැන් ඒකට විශාල අයිස් කැටයක් එකතු කරලා, තලාගත්තු සීනි සහ තිත්ත මතට විස්කි එකතු කරලා, හැන්දකින් හොඳින් කලවම් කරගන්න ඕන. ඕනම නම් ඕකට දොඩම් පෙත්තක් දාලා සරසගත්තත් කාරි නෑ!

 

7. Gin & Tonic

Image Source – foodandwine.com

ජින් ඇන්ඩ් ටොනික් කියපු ගමන් අපේ ඔලුවට එන්නේ මාරම ඊසි කොක්ටේල් එකක්නේ. හැබැයි එක්ස්පර්ට් බාර්ටෙන්ඩර්ලා කියන විදියට ඇත්තටම ජින් ඇන්ඩ් ටොනික් වැඩේ හරියටම කරගන්න එක ලේසි නෑ. හරියටම පොතේ හැටියට රෙසිපිය බලාගෙන හැදුවත් ජින් සහ ටොනික් රස බැලන්ස් කරගන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනෑලු. කොහොම වුනත් ක්ලැසික් ජින් ඇන්ඩ් ටොනික් හදාගන්නේ අයිස් පුරවපු හයිබෝල් ග්ලාස් එකකට ජින් සහ ටොනික් වතුර කොටස් එක බැගින් දාගෙන තමයි. ඇල්කොහොල් රස අඩුවෙන් ඕන නම් ජින් කොටසට ටොනික් කොටස් තුනක් දාගන්නත් පුලුවන්. ඊට පස්සේ ලයිම් දෙහි පෙති කෑල්ලකින් සරසා ගන්න පුලුවන්. මේක ඕන නම් හදාගන්න පුලුවන් ජින් අවුන්ස දෙකකට, ලයිම් ජූස් අවුන්ස බාගෙකට පොඩ්ඩක් වැඩියෙන් දාලා, ඉන් පස්සේ හයිබෝල් ග්ලාස් එක පිරෙනකල් ටොනික් වතුර දාලා.

තව ක්ලැසික් කොක්ටේල් වර්ග තියෙනවා. හැබැයි නිතර හොයාගන්න පුලුවන් කොක්ටේල් වර්ග හතක් දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක්නේ. කොහොම වුනත් මතකයිනේ අපේ අවවාදය: කණ සාක්කුවට වැටෙන තුරු, නොගසන්න. කොක්ටේල් වුනත් ලිමිට් පැනලා බිව්වොත් වාහනේ සුක්කානමට හෝ බයිසිකලේ හැන්ඩ්ල් එකට අත නොතබන්න. වගකීමෙන් පානය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *