සංචාරයට ප්‍රසිද්ධ ලෝකයේ ලස්සනම දූපත් – දෙවැනි කොටස

ඔබට මතක ඇති මේ මාතෘකාව යටතේම මීට කාලයකට කලින් අපි ලිපියක් ඔබ වෙතට ගෙන ආවා. ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර මත අපි හිතුවා මේ විදිහට එම ලිපියේ දිගුවක් ඔබ වෙතට ගෙන එන්න.

 

සංචාරයට ප්‍රසිද්ධ ලෝකයේ ලස්සනම දූපත් 8ක්

 

 

 

 

1. බෝරා බෝරා (Bora Bora)

ප්‍රංශ පොලිනීසියාවට අයත් එක් දූපතක් වන මෙය පැසිෆික් සාගරයේ සුඛෝපභෝගී ගමනාන්තයක් වනවා. ප්‍රංශ සභ්‍යත්වය සහ දේශීය සභ්‍යත්වය මුසු වීමෙන් අද්විතීය සභ්‍යත්වයක් මෙම දූපත් ආශ්‍රිතව ගොඩනැගී තිබෙනවා. මෙහි තිබෙන සුන්දර වෙරළ තීරයට අමතරව මේ දූපතටම ආවේණික ආහාරවලටද සංචාරකයන් බෙහෙවින් ප්‍රිය කරනවා. 

 

2. පලවාන් (Palawan)

පලවාන් යනු පිලිපීනය සතු පාරාදීසයයි. වෛවර්ණ දුර්ලභ මසුන්ගෙන් පිරුණු කොරල් පර වලින් සැදුණු එහි මුහුදු තීරය ලෝකයේ කිමිදීමට සුදුසු මුහුදු අතරින් ඉහළම ස්ථානයේ පසුවනවා. එසේම මෙම දූපත ආශ්‍රිතව පිහිටා තිබෙන හුණුගල් උද්‍යානය විශේෂ සංචාරක ආකර්ෂණයට ලක් වනවා. ඊට හේතුව වන්නේ ඊට යටින් භූගත ගංගාවක් ගලා යෑමයි. තවත් විශේෂත්වයක් වන්නේ මෙම දූපත ආශ්‍රිත මුහුද කෙතරම් පිරිසිදු සහ සුන්දරද කියනවා නම් හුණු ගලින් සැදුණු ගිරි ශිඛරයක් මත නැගුණු අයෙකුට මුහුදේ සැරිසරන මසුන්ගේ දර්ශනය පවා නරඹන්න පුළුවන්. 

 

 

3. කුක් දුපත් (The Cook Islands)

ඇතැම් සංචාරක සටහන් වලට අනුව පැසිපික් සාගරයේ පවතින සුන්දරතම දූපත් සමූහය වන්නේ කුක් දූපත් සමූහයයි. දූපත් 15 කින් මෙම සමූහය සමන්විත වන අතර මෙම ප්‍රදේශයේ අධිකාරී බලය නවසීලන්තය සතු වෙනවා. කෙසේ නමුත් මේ වන විට මෙම දූපත් වැසියන් බොහෝ දුරට ස්වාධීනව කටයුතු කරනවා. නිවී ගිය ගිනි කඳු ශිඛර, මුහුද ආශ්‍රිතව පවතින කළපු පද්ධතිය, පොල්රුප්පාවලින් හැදුණු වෙරළ තීරය ආදියටත් වඩා මෙම දූපත්වාසීන් තුළ පවතින ආගන්තුක සත්කාරය මෙම  ප්‍රදේශය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ප්‍රමුඛතම හේතුවක් වී තිබෙන බව සඳහන් වෙනවා. 

 

 

4. ඩැල්මේෂන් දූපත් (The Dalmatian Islands)

ආද්‍රියාතික මුහුදේ පිහිටා තිබෙන මේ දූපත් ක්‍රොඒෂියා රාජ්‍යයට අයත් වනවා. මෙම දූපත් වල ඇති එක් විශේෂත්වයක් වන්නේ ස්වභාවික සෞන්දර්යය පමණක් නොව මෙම දූපත්වලට දැවැන්ත ඉතිහාසයක් ද තිබීමයි. ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද පල්ලි, කාර් රථ ධාවනය තහනම් වූ පැරණි නගර සහ කුඩා ධීවර වරායන් නැරඹීම සඳහා මෙහි සංචාරකයන් පොදි ගැසෙනවා. එසේම එක් දූපතක පවතින මිරිදිය විල් ද ප්‍රබල සංචාරක ආකර්ෂණයක් වනවා.

 

 

5. ෆීජී (Fiji)

දකුණු දිග ශාන්තිකර කළාපයේ පිහිටා තිබෙන මෙම දූපත් රාජ්‍යය දූපත් 300 කින් පමණ සමන්විත වනවා. ඇතැම් සංචාරකයන් මේ දූපත් අතරින් සුන්දරතම දූපතෙහි නිවාඩුව ගත කිරීම පිළිබඳව උභතෝකෝටිකයකට සෑම වර්ෂයකදීම පත්වන බව කියවෙනවා. එසේම අනෙකුත් සංචාරක ගමනාන්ත වලට වඩා පවුල් පිටින් සංචාරය කිරීමට සුදුසු ගමනාන්තයක් ලෙස මෙම රාජ්‍යය සැළකෙනවා. විශේෂයෙන්ම ෆීජී රාජ්‍යයේ  ජනතාව දරුවන්ට දැඩි ලෙස ආදරය කරන පිරිසක් වීම ඊට එක හේතුවක්. 

 

6. ශාන්ත ලුසියා (St. Lucia)

කැරිබියන් දූපත් සමූහයේ ප්‍රබල  සංචාරක ආකර්ෂණයක් වන ශාන්ත ලුසියා දූපත් අනිකුත් කැරිබියන් දූපත් වලට වඩා සුවිශේෂී ස්වභාවයක් ගන්නවා. ඒ අනෙකුත් කැරිබියන් දූපත්වල ප්‍රධාන වශයෙන්ම මුහුද ආශ්‍රිතව ගොඩනැගුණු සංචාරක ව්‍යාපාරයක් පැවතුණත් ශාන්ත ලුසියා දූපතේ අභ්‍යන්තරය වෙරළට වඩා අතිශයින් චමත්කාර ජනක වන නිසයි. ගිනිකඳු පිපිරීම්වලින් ශේෂ වුණු ලක්ෂණ සහිත ස්වභාවික පරිසරය එහි ආකර්ෂණීය බව තවත් වැඩි දියුණු කරනවා.

 

7. කැප්රි (Capri)

දකුණු දිග ඉතාලියේ පිහිටා තිබෙන, ස්වභාවික සෞන්දර්යයෙන් අනූන මෙම දූපත අතීතයේදී සැළකුණේ යුරෝපයේ ප්‍රභූවරුන්ගේ පාරාදීසයක් ලෙසයි. බොහෝ ප්‍රභූවරුන් සිය අනන්‍යතාවය සඟවමින් කැප්රි වෙත පැමිණ සිය නිවාඩු කාලය ගත කිරීමට එකල පෙළඹී තිබෙනවා. කෙසේ වෙතත් වර්තමානය වන විට කැප්රි දිවයින ලොව පුරා සංචාරකයන් සඳහා විවෘතව පවතිනවා. එසේම වාර්ෂිකව විවිධ කලා උත්සව සහ ප්‍රසංග මෙම දූපත ආශ්‍රිතව පවත්වනවා. එහි වෙරළ තීරය මෙන්ම හුණු ගලින් සැදුණු ගුහා පද්ධතියත් ගවේෂණය කිරීමට සංචාරකයන් වැඩි වශයෙන් ප්‍රිය කරනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *