අලුත උපන් බබා​ගේ නින්ද ගැන කරුණු දැනගනිමු

ඔන්න අලුත උපන් බබෙක් ඉන්න අම්මලා, තාත්තලා නම් දන්නව මේ කතා කරන්න යන කාරණේ කොයි තරම්නම් වැදගත්ද කියල. අලුත් බබෙක් කියන්නෙ පවුලකට අලුතෙන් එකතු වෙන සතුටු කන්දක්. අලුත් බබෙක් එකතුවුණ කාල සීමාව ඉතින් පවුලේ හැමෝම, විශේෂයෙන්ම අළුත් අම්මයි තාත්තයි අතිශය ප්‍රීතියෙන් ගත කරන කාලයක්. හැබැයි ඒ වගේම තමයි ඉතින් ආයේ මුළු ජීවිතේටම නොකරපු තරම් නිදිමරන්න වෙන කාලයක්. අලුත උපන් පුංචි බබාලගෙ නින්ද කියන්නෙ වෙනස්ම මාතෘකාවක්. අන්න ඒ නිසා තමයි අපි හිතුවෙ අලුත් බබාලට, අම්මලාට, තාත්තලාට හැමෝටම පහසුවක් වෙන්න මේ බබාගෙ නින්ද කියන කාරණේ හසුරුවන විදිහ ගැන ටිකක් කතා කරන්න. 

 

 

1. පැරණි මත

 

කොයි දේටත් කලින්, නින්ද විතරක් නෙමෙයි, පුංචි බබෙක් සම්බන්ධ කොයි කාරණාවෙදිත් ඉස්සෙල්ලම කරන්න ඕන දෙයක් තමයි මේක. අලුත් බබෙක් ඉන්න යුවළකට වැඩියෙන්ම ලැබෙන දේවල් තමයි මේ අනික් අයගේ උපදෙස්, අවවාද කියන්නෙ. විශේෂයෙන්ම පරණ අම්මල, තාත්තලා, ආච්චිලා, සීයලාගෙන්. ඒ පැරැන්නෝ කාලාන්තරයක් දරපු මත, ඒ කාලෙ දරුවන්ට කරපු දේවල් උනාට අද කාලෙට ඒ හුඟක් දේවල් ගැලපෙන්නෙ නැහැ. එහෙම පරණ දේවල්ම කර කර ඉන්න ඕන නම් මිනිස්සු අලුත් අලුත් සොයාගැනීම් කර කර ඉස්සරහට යන්න ඕන නෑනෙ. අලුතෙන් හොයාගන්න හුඟක් දේවල් වලින් වෙන්නෙ ජීවිතේ පහසු වෙන එක, අනතුරු ලෙඩ රෝග අවම වෙන එක. ඒ නිසා පුළුවන් තරම් වෛද්‍යවරු දෙන උපදෙස්ම පිළිපදින්න. බබා රෑට අඬන්නේ කිරි නැති නිසා, බබාට ඩයපර්ස් අන්දන්න හොඳ නෑ වගේ අනවශ්‍ය මත ඔලුවට දාගන්න එපා. කරුණාවෙන් ප්‍රතික්‍ෂේප කරන්න.

 

 

2. මුල්ම කාලය  

 

බබෙක් ඉපදුන මුල්ම කාලෙ, ඒ කිව්වෙ අඩුම තරමේ මුල් මාස තුනවත් ඉවර වෙනකං නින්ද කියන දේ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න අමාරුයි. කොහොමත් බබාල රෑ දවල් වෙනස අඳුනගෙන නින්දට හුරුවෙන්න ටික කාලයක් ගතවෙනව. ඒ වගේම අලුත උපන් පැටවුන්ට කොලික් වගේ ලෙඩ රෝග නිසාත් මාස තුනක් විතර පහුවෙනකන් රෑට නිදියන්න අමාරුයි. අලුත උපන් බබෙකුට හැදෙන්න පුළුවන් ලෙඩරෝග ගැන අපි මීට කලින් ලිපියකින් සවිස්තරාත්මකව කතා කළා. අනිත් එක තමයි බබාගෙ බණ්ඩිය හරිම පුංචි නිසා මුල්ම කාලෙ බොන කිරි හරිම පොඩ්ඩයි බණ්ඩියට අල්ලන්නෙ. ඉතින් වෙන ප්‍රශ්නයක් නැති උනත් බබා රෑට සැරින් සැරේ ඇහැරිලා කිරි බොන එක සාමාන්‍යයි. ඒ කොයික වෙතත් රෑ නින්දට බබාලා හුරුවෙන්න මාස තුනක්වත් යනව. ඒ නිසා හොඳම දේ තමයි මේ දේවල් ගැන කලින් හොඳින් දැනුවත් වෙලා ඉන්න එක. නැත්තම් බබාගෙ නින්ද අඩු එක ප්‍රශ්නයක්දෝ කියල හිතලම ස්ට්‍රෙස් වෙන්නත් බැරි නැහැ. 

 

 

3. කිරි බිබී නින්ද

 

ඔන්න අනිත් කාරණේ තමයි කිරි බිබී නිදාගන්න එක. හුඟක් දෙනෙකුට හිතෙන්න පුළුවන් බබාල නිදාගන්න සාමාන්‍ය විදිහ මේකනේ කියල. ඒත් එහෙම නැහැ. හුඟක් වෙලාවට බබා පුංචිම කාලෙ ලේසියට කිරි බිබීම බබාට නිදාගන්න දුන්නට පස්සෙ කාලෙක මේක කරදරයක් වෙන්න පුළුවන්. එහෙම කිරි උර උර නිදාගන්න ගත්තම බබා නිදාගන්න උදව්වක් විදිහට මේ කිරි උර උර ඉන්න එක අඳුරගන්නව. ඊට පස්සේ ටික ටික වයසෙන් ලොකු උනත් බබාට වෙන විදිහකට නිදාගන්න තේරෙන්නෙ නැහැ. ඇයි ඉතින් එයා දන්නෙ කිරි උර උර නිදාගන්නනේ. මේ නිසා තමයි අවුරුදු දෙකක්, තුනක් විතර වයස වෙනකන් පවා බබාල තනියම නිදාගන්න හුරු නොවෙන්නෙ. 

ඒ නිසා බබාව තනියම නිදාගන්න වැඩේට හුරුකරන්න ඕනනම් මුල ඉඳලම කිරි උර උර නිදාගන්න එක ඉඳලා හිටලා හරි මඟහරින්න ඕන. නිදිමත එනකන්ම බබාට කිරි උරන්න දීලා අන්තිම හරියෙදි තනපුඩුව හරි, සුප්පුව හරි අයින් කරලා තනියම නිදාගන්න ඉඩ අරින්න. 

 

 

4. කිරි දෙන වාර ගණන

 

ඊළඟ කාරණේ තමයි රෑ නින්දෙන් නැගිටල බබා කිරි බොන එක. කලිනුත් කිව්වනෙ බබාගෙ බණ්ඩිය පොඩි නිසා සැරින් සැරේ එයාට බණ්ඩිය පුරවගන්න කිරි ඕන කියල. කොහොමත් බබා පුංචිම කාලෙ, ඒ කියන්නෙ අඩුම මාස 2ක් 3ක් වෙනකන්වත් උපරිම පැය හතරකට වඩා හිස්බඩ නිදියන්න දෙන්න එපා කියල තමයි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරු උපදෙස් දෙන්නෙ. හැබැයි හුඟක් බබාල ඊට කලින් ඇහැරෙනව. එහෙමත් කලාතුරකින් බබෙක් තමයි මුල්ම කාලෙ පැය හතරකට වඩා නිදියන්නෙ. ඉතින් කතාව මේකයි. පැය හතරකට වඩා නිදියන බබෙක්නම් අඩුම පැය 4කට සැරයක් හරි ඇහැරවලා කිරි දෙන්න ඕන. හැබැයි එහෙම නැතුව සැරින් සැරේට ඇහැරෙන බබාල ඉන්නවනෙ. ඒ කියන්නෙ අඩුම පැය දෙකක්වත් එක දිගට නිදියන්නෙ නැත්තම්, ඒ නැගිටින හැම පාරම බබාට කිරි දෙන්න ඕන නැහැ. ඒ නැගිටින්නෙ බඩගින්නටම නෙමෙයි වෙන්න පුළුවන්. ඒ නිසා බබා බඩගින්නට, සීතලට, රස්නෙට අඬන ආකාර වල වෙනස ටික ටික අඳුරගෙන ඒ ගැටළුවට ඕන විසඳුම හදල දෙන්න.

 

 

5. රෑ දවල් වෙනස  

 

අපි කිව්වනෙ පුංචි බබාල රෑ දවල් වෙනස අඳුරන්නෙ නැහැ කියල. එයා ඉතින් අම්මගෙ බණ්ඩියේ පොඩි කළුවර කාමරේකනෙ එළියට එනකන්ම හිටියෙ. ඉතින් කොහොමද රෑ දවල් අඳුරන්නෙ? ඒ වෙනස අපි තමයි ටික ටික එයාලට කියල දෙන්න ඕන. දවල් වරුවේ පුළුවන් තරම් බබාව හොඳට ආලෝකය තියෙන තැනක තියන්න. සද්ද බද්ද ඇහෙන එක, එළිය වැටෙන එක බලෙන් නවත්තන්න එපා. ඒ හැමදේකින්ම බබා දැනගන්නව දවල් වරුව මෙන්න මේ වගේ කියල.

ඒ වගේම තමයි රෑටත්. පුළුවන් තරම් සද්ද අඩු පරිසරයක් රෑට සකස් කරන්න. ලයිට්ස් ඩිම් කරල අඳුර දැනෙන්න දෙන්න. එහෙම ලයිට් එළිය අඩු කළාට පස්සෙ එයත් එක්ක සෙල්ලම් කරන්න, කෝළම් කරන්න යන්න එපා. එයාට තේරුම් ගන්න දෙන්න ඒ නින්දට යන්න ඕන වෙලාව කියන එක. 

 

 

6. නිදිමත අඳුරගන්න

 

බබාගෙ නිදිමත වෙලාව අඳුරගන්න එකත් අපිම තමා කරන්න ඕන. කොච්චර නිදිමත උනත් බබා තාම තනියම නිදාගන්න දන්නෙ නැහැනෙ. ඒ නිසා බබා නිදිමත වුණාම පෙන්නන ලක්ෂණ හඳුනගෙන ඉක්මනින් බබාව නින්දට දාන්න ඕන. එහෙම නැතුව නිදිමත හැදුනට, ඇඟට නින්ද ඕන උනාට ඇහැරිලා ඉන්න පුරුදු උනොතින් ඒක බබාගෙ දිගුකාලීන නින්දට ගැටළු ඇතිකරන්න පුළුවන්. ඇක්ටිව් ගතිය අඩුනම්, ටිකක් කුරු කුරු ගානව වැඩිනම් ඔන්න එයා නිදිමතේ.

 

 

7. අම්මගෙ නින්ද සහ පහසුව

 

රෑ තිස්සෙ බබා ඇහැරෙනකොට අම්මටත් ඇහැරෙන්න වෙන එක හරිම පීඩාකාරී. ඒත් ඒක ගැන දුක් වෙවී හිටිය කියලනම් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. බබා හැමදාම පොඩියටම ඉන්නෙ නැහැනෙ. ඉක්මනට ලොකු වෙනකොට ඔය කරදර ඔක්කොම අඩුවෙලා යනව. ඒ නිසා ඉතින් මේ තාවකාලික නිදිමැරිල්ලට හුරුවෙන්නම වෙනව. ඒත් ඒක ටිකක් පහසු කරගන්න දවල්ට බබා නිදියන වෙලාවට අම්මටත් ටිකක් නිදාගන්න පුළුවන්. බබාගෙ වැඩවලට අනිත් අයගෙන් උදව් අරන් අම්මත් ටිකක් දවල් වරුවේ නිදාගන්න. එතකොට රෑට ඇහැරෙන එක ලොකූ අමාරුවක් වෙන එකක් නැහැ. 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *