පැය විස්සකින් අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙනගන්න පුළුවන්. එහෙම ඉගෙන ගන්න තියෙන්නේ මොනවද?

සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු අලුතින් දෙයක් ඉගෙන ගන්න ගියහම, ඒක අල්ලලා දානවා ඉගෙන ගන්න මාර කාලයක් යනවා කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම පැය විස්සකින් ඕනම දෙයක් මූලිකව ඉගෙන ගන්න පුළුවන් කියලා ඔන්න ජෝෂ් කවුෆ්මන් කියලා බිස්නස් කෝච් කෙනෙක් කියනවා. ඇත්තටම මේක බොහොම ධෛර්යය වඩවන කතන්දරයක් දෙයක් ඉගෙන ගන්න ආස අයට. මොකද, යම් කිසි දෙයක් සාමාන්‍ය තරමෙන් කරන්න ඉගෙන ගන්න දවසකට පැයක් ඒකට වෙන් කළත් යන්නෙ මාසයයි. එතනින් එහාට තියෙන්නේ ඉතින් ප්‍රැක්ටිස් එකනේ. ඉතින් ඔන්න ඔය පැය විස්සෙන් දේවල් ඉගෙන ගන්න එක ගැන අපි Lifie.lk එකෙන් මීට කලිනුත් කියලා තියෙනවා. 

 

දැන් ඊලඟ කාරණාව. මෙහෙම පැය විස්සකින් අපිට ඉගෙන ගන්න තියෙන කුසලතා මොනවද? ආන්න ඒ ගැන තමයි ඊලඟට කතා කරන්න වටින්නේ.

 

1. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගනිමුද?

සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්න කිව්වහම ගොඩක් දෙනෙක්ට ආසම හිතෙන සංගීත භාණ්ඩය වෙන්නේ ගිටාර් එක. මොකද විශේෂයෙන්ම ගිටාර් එකට හැමෝම වගේ ආස නිසාම, ගිටාර් දන්න මනුස්සයෙක්ටත් පොඩි තැනක් එනවනේ. හරි. ගිටාර් ඉගෙන ගන්න ඕන නම් කෙලින්ම ගිටාර් ක්ලාස් එකකට යන්නත් පුළුවන්. හැබැයි සර්ට ඔය පැය විස්සේ කතන්දර කියලා බැණුම් අහගන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දැන් කාලේ යූටියුබ් එකේ ඕන තරම් ගිටාර් ටියුටෝරියල් තියෙනවා. එතකොට ගිටාර් කෝඩ් බුක්ස් ඕන තරම් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. දැන් ඔය විදියට ගිටාර් ගහන්න ඉගෙන ගන්න මූලික අඩිතාලම දාගන්න බැරිද? ඇත්තටම ඔය විදියටම තමයි අනික් ලේසි පහසු සංගීත භාණ්ඩ ගත්තත්. උදාහරණයක් විදියට, හර්මොනිකා නැතිනම් මවුත් ඕගන් ගහන්න ඉගෙන ගන්න එක හිතමු. මේකෙදි ඇත්තටම ඉගෙන ගන්න ඕන කරන්නේ අර බෙන්ඩින් කියන ටෙක්නික් එක. ඒ ඇරෙන්න අමුතුවෙන් ස්වර පිහිටන ආකාරය වගේ දේවල් මවුත් ඕගන් එකේ ඉගෙන ගන්න නෑ. දැන් දවසට පැය ගාණේ දවස් විස්සක් මවුත් ඕගන් ටියුටෝරියල් බලමින් ඒකේ විවිධ ශිල්ප ක්‍රම ඉගෙන ගත්තොත්, මාසෙන් සාමාන්‍යයෙන් මවුත් ඕගන් ගහන ලෙවල් එකට එන්න පුළුවන්. 

 

2. සොෆ්ට් පැස්ටල් චිත්‍රයක් අඳින්න ඉගෙන ගනිමුද?

චිත්‍රකර්මය කියන්නේ පැය විස්සකින් ප්‍රවීණත්වයට පත් වෙන්න පුළුවන් විෂයක් නෙවෙයි. ඒක හරි. හැබැයි අපි මේ කියන්නේ චිත්‍ර කලා මාස්ටර් කෙනෙක් වීම ගැන නෙවෙයි. තමන්ට සතුටු වෙන්න පුළුවන් විදියට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් විදියට යම් කිසි චිත්‍ර නිර්මාණ ක්‍රමේක මූලික අංග ඉගෙන ගන්න එක ගැන. හරි, අපි තෝරගන්නවා සොෆ්ට් පැස්ටල් චිත්‍ර. දැන් යූටියුබ් එකේ ටියුටෝරියල් වල තියෙනවා සොෆ්ට් පැස්ටල් වලින් චිත්‍ර අඳිනකොට කොහොමද පටන් ගන්න ඕන, මොනවද මූලිකව දැනගන්න ඕන තාක්ෂණික ක්‍රම වගේ දේවල්. ඒවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කළාට පස්සේ, චිත්‍ර අඳින විදි කෙලින්ම පෙන්නලා දීලා තියෙන වීඩියෝස් එහෙමත් තියෙනවා. අන්න එතකොට ඒවා බලාගෙන අපිටත් ඇඳලා පුහුණු වෙන්න පුළුවන්. 

 

3. ඩ්‍රයිවින්

මෙන්න මෙතනදී අපි පොඩ්ඩක් පැය විස්සේ නීතිය වෙනස් කරනවා. මොකද, ලර්නර්ස් එකට ගියත් සම්පූර්ණයෙන්ම වාහනයක් ධාවනය කරන්න ඉගෙන ගන්න පැය විස්සකටත් වඩා අඩුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් පැය භාගේ ටර්න් විසිපහක්. ඒක සම්පූර්ණ කරන්න මාස තුනක් ලැබෙනවා. හැබැයි අපි දළ වශයෙන් පැය විස්සක් මේකටත් වෙන් කරමු. දැන් මැනුවල් වාහනයක් ධාවනය කරන්න ඉගෙන ගන්න පැය විස්සක් වෙන් කරනවා කියන්නේ, ගේමක් නැතුව ලයිසන් එකත් ගන්න පුළුවන් කියන එක. හැබැයි ඉතින් මේකට අපි නිර්දේශ කරන ක්‍රමවේදය තමයි ලර්නර්ස් එකක් හරහා යන එක.

 

4. වෙබ් ඩිසයිනින්ග්

වෙබ් ඩිසයිනින්ග් ඉගෙන ගන්න එකේ තියෙන ලොකුම වාසිය තමයි, තමන්ට වෙබ් අඩවියක් හදාගන්න අවශ්‍ය වුණොත්, ඒකට ලොකු ගණන් වියදම් කරන්න අවශ්‍ය නොවීම. මේ වෙබ් ඩිසයිනින්ග් කියන්නෙත් පරිගණක ක්‍රමලේඛනය එක්ක යන වැඩ ටිකක්නේ. ඒවා ඉගෙන ගන්න පුළුවන් තැන් ඔන්ලයින් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් alison.com නැතිනම් udemy.com වගේ අධ්‍යාපන වෙබ් අඩවි වල වෙබ් ඩිසයිනින් තියෙනවා. ඒකට පැය විස්සක් වෙන් කළොත්,. ඩීසන්ට් වෙබ් සයිට් එකක් ඩිසයින් කරන්න අවශ්‍ය ස්කිල්සෙට් එක ලබාගන්න පුළුවන්. 

 

5. කුකින්

අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ගැහැණු වුනත්, පිරිමි වුනත් කෑමක් බීමක් හදාගන්න දැනගන්න ඕන කියලා. හරි, අපි පැය විස්සක් වෙන් කරලා විශේෂ සූපවේදී ප්‍රවීණත්වයක් ලබාගමු. උදාහරණයක් විදියට ගත්තොත් කේක් හදමුද? මේකට මුලින්ම අපිට කේක් හදන්න කියලා දෙන යූටියුබ් වීඩියෝස් බලලා අදහසක් ලබාගන්න පුළුවන්. ඉන් පස්සේ තියෙන්නේ රෙසිපි හොයාගන්න එක. ඊට පස්සේ තියෙන්නෙ ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ කේක් හදන්න තමයි තියෙන්නේ. හැබැයි රෙසිපිය බලාගෙන ඒ විදියටම කේක් එක හදන ආධුනිකයෙක්ට වරදින තැන් තියෙනවා. ඒවා දැනගන්න නම් ප්‍රැක්ටිස් එක ඕන. මෙහෙම කේක් හදන්න ප්‍රැක්ටිස් කරන අතරේම, යූටියුබ් එකේ එහෙම තියෙන කේක් හදන ටියුටෝරියල් වලින් ඔය වරදින තැන් හරියට කරන හැටි අල්ලගන්න එහෙමත් පුළුවන්. 

 

මේ ක්‍රමේ බැරි නම් කේක් ක්ලාස් එකකට යන්නත් පුළුවන්. වෙන ඕනම කෑම වර්ගයක් ගැන වුනත් ඔය විදිය තමයි.

 

6. අලුත් භාෂාවක් ඉගෙන ගමු

සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මිනිස්සු කොයි තරම් වදවෙනවද? හැබැයි මේ පැය විස්සේ තියරියේ හැටියට අපිට දවසට පැයක් වෙන් කළොත්, මාසෙන් ඉංග්‍රීසි අල්ලගන්න පුළුවන් වෙන්න ඕන. ඇත්තටම ඒක එහෙම තමයි. හැබැයි එතනදී මූලික ව්‍යාකරණ නීති රීති ඉගෙන ගෙන විතරක් මදි. ඉංග්‍රීසි කතාව, ඉංග්‍රීසි ලිවීම, ඉංග්‍රීසියෙන් කියවීම, ඉංග්‍රීසියට ඇහුම්කන් දීම කියන හතරම කරන්න ඕන. ඇත්තටම මේකත් තනියෙන් කරන්න පුළුවන් දෙයක්. ඔන්ලයින් හොයාගන්න පුළුවන් ඉංග්‍රීසි උගන්වන වැඩසටහන්. එතකොට ස්මාට්ෆෝන් ඇප්ස් පවා තියෙනවා ඉංග්‍රීසි උගන්වන. හරි කැපවීමෙන් කළොත්, පැය විස්සක් යනකොට ඩීසන්ට් ලෙවල් එකට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, තේරුම් ගන්න පුළුවන් වෙයි.

 

ඉං‍ග්‍රීසි ගැන අපි කිව්වට, වෙන ඕනම භාෂාවක් ගැන වුනත් මේක මෙහෙම තමයි.

 

7. මැජික් ට්‍රික්ස් ඉගෙන ගමු

කවුද මැජික් වලට ආස නැත්තේ? හැබැයි ඉස්සර නම් මැජික් වලට ආස වුනාට මැජික් ඉගෙන ගන්න එක ගේමක්. ඒත් දැන් එහෙම නෙවෙයි. ඒ වෙනුවෙන්ම වීඩියෝස් තියෙන යූටියුබ් ටියුටෝරියල් තියෙනවා. මේ වල උගන්වනවා විවිධ මැජික් ට්‍රික්ස් වල ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද, ඒවා කරන්නේ කොහොමද කියන එක. දැන් මේ යම් යම් මැජික් ට්‍රික්ස් වල නිවැරදි ක්‍රමය ටියුටෝරියල් වලින් අල්ලගත්තට පස්සේ තියෙන්නේ ප්‍රැක්ටිස් කිරීම. ආන්න එතකොට එනවා පැය විස්ස. දවසකට පැයක් මැජික් ට්‍රික්ස් ප්‍රැක්ටිස් කරමු. එතකොට මාසයක් වගේ යනකොට මැජික් ෂෝ එකක් කරන්න නම් බැරිවෙයි. ඒත් පාටියකදී, පොඩි ළමයි ඉන්න තැනකදී එහෙම ඒ අයව සතුටු කරන්න මැජික් ට්‍රික් එකක් දෙකක් සාර්ථකව කරන්න පුළුවන් ලෙවල් එකට එයි.

 

හැබැයි එක දෙයක්. මේ එකකින්වත් කියන්නේ පැය විස්සක් ඇතුළතදී මේ එක දේකින් හෝ සුපිරි ප්‍රවීණයෙක් වෙන්න කියන එක නෙවෙයි. හැබැයි මේ පැය විස්ස එක දිගට අල්ලගෙන ගිහිල්ලා දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ, ඒ දේ මූලික වශයෙන් ඉගෙන ගෙන හමාරයි. ඒ දේට ආසාවක් ඇතිවෙලත් හමාරයි. අන්න එතකොට එතනින් එහාට තියෙන්නේ ප්‍රැක්ටිස් එක තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *