ජනප්‍රිය සන්නාම අතර ඇති වුණු ගැටුම්

අපේ රටේ බිහිවෙලා ජාත්‍යන්තරය ජයගත්ත සන්නාම බොහොම ස්වල්පයයි තියෙන්නෙ. මේ නිසාම අපේ රටේ සන්නාම අතර කිසිදු ගැටුමක් ඇති වුණු බවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තර තත්ත්වයනම් මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. තරඟකාරී සන්නාම එකිනෙකා සමග නොනවතින යුද්ධයක නිරත වෙමින් ඉන්නවා. අද අපි කියන්න යන්නේ එවැනි සන්නාම ගැටුම් නිසා ඇති වුණු ගැටළුකාරී තත්ත්ව කීපයක් ගැන.

 

1. පෙප්සි සහ කොකා කෝලා 

මෙම සන්නාම දෙක ආයෙ අමුතුවෙන් ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න ඕන නැහැයි කියලා අපි හිතනවා. ලංකාවේ වුණත් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා මෙම සන්නාම දෙක අනුග්‍රාහකත්වය දක්වනවා. ජාත්‍යන්තර මට්ටමේදී ෆුට්බෝල් ක්‍රීඩාව සමඟ මේ සන්නාම බැඳී පවතිනවා. 2013 වර්ෂයේ ඕස්ට්‍රේලියානු සංචාරයකදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා. ඊට හේතුව මේ පිටිය පුරා කොකා කෝලා සමාගමේ දැන්වීම් ප්‍රදර්ශනය වීමත් මැන්චෙස්ටර් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා පෙප්සි වීමත්. අවසානයේදී සියලු පාර්ශව කොකා කෝලා පානය ප්‍රවර්ධනය නොකර දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ එකඟතාවය මත තරඟය පැවැත්වූවා.

 

2. ඇඩිඩාස් සහ නයිකි

 

Bayen Munich කියන්නේ ජර්මනියේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක්. මෙම ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුප්‍රකට ඇඩිඩාස් සමාගම මුදල් ආයෝජනය කර තිබෙනවා. මෙම ක්‍රීඩා සමාජයේ නිල ජර්සිය එම සමාගම විසින් නිර්මාණය කළ අතර එය පළමු වරට මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කිරීම සඳහා සහභාගී වූ Mario Gotze එම උත්සව අවස්ථාව සඳහා Nike සන්නාමය සහිත ටී ෂර්ට් එකක් ඇඳ සිටීම අතිශයින් ආන්දෝලනයට තුඩු දුන්නා. Adidas සමාගමේ ඇතැම් නිලධාරීන් විශ්වාස කරේ මෙය අත්වැරැද්දකට වඩා Nike සමාගම විසින් හිතා මතා සිදු කළ දෙයක් බවයි.

 

3. සෝනි සහ ඇපල්

 

“The Girl with the Dragon Tatto” කියන්නේ ස්වීඩනය තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු නවකතාවක්. මේ නවකතාවේ ප්‍රධාන චරිතය ඇපල් සමාගමේ නිෂ්පාදන වලට ප්‍රියතාවයක් දක්වන අයෙකු ලෙස නිරූපණය වී තිබෙනවා. ඒ ඇසුරෙන් නිෂ්පාදනය වූ ස්වීඩන චිත්‍රපටියේ ද මේ නිසා ඇපල් නිෂ්පාදන අඩංගු වුණා. නමුත් ගැටළුව පැන නැඟුණේ Sony සමාගම විසින් මෙම චිත්‍රපටිය ඇසුරෙන් තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණය කිරීමත් සමඟයි. කතා පුවතට හානියක් වන නිසා ඔවුන් විසින් ම ඇපල් නිෂ්පාදන ඉවත් නොකළත් හැකි සෑම අවස්ථාවකදීම තම ආයතනයේ නිෂ්පාදන චිත්‍රපටිය තුළ පෙන්වීමට ඔවුන් උත්සාහ කළා.

 

4. Audi සහ Acura 

බටහිර රටවල චිත්‍රපටි සඳහා අනුග්‍රහය ලබා දීමට කාර් සමාගම් අතර තරඟයක් පවතිනවා. එය සිදුවන්නේ මුදල් ලබා දීමකට වඩා තමන්ගේ කාර් රථ චිත්‍රපටි සඳහා ලබාදීම මගින්. ඒ අනුව අයන් මෑන් චිත්‍රපටි මාලාව සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්නේ අවුඩි සමාගම. නමුත් ඇවෙන්ජර් චිත්‍රපටි මාලාව සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්නේ Acura සමාගම නිසා එම චිත්‍රපටයේදී අයන් මෑන් චරිතයට Acura රථයක් පැදවීමට සිදු වුණා. එය සිදු වී තිබුණේ අදාළ ගිවිසුමේ තිබූ අඩුපාඩුවක් නිසා බව පසුව කියවුණා.

 

5. Reebok සහ Nike 

1990දී  ස්පාඤ්ඤයේ පැවති බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී බාස්කට් බෝල් ක්‍රීඩාව පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා ඇතුළත් වුණා. එම ඉසව්වෙන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඊට මයිකල් ජෝර්ඩ්න්, ලැරී බර්ඩ්, ඩේවිඩ් රොබින්සන් වැනි විශිෂ්ටයන් ඇතුළත් වුණා. මෙම ක්‍රීඩාව සඳහා Reebok සමාගම අනුග්‍රහය දක්වා තිබූ අතර පදක්කම් පිරිනමන අවස්ථාවේ දී එම කණ්ඩායමට Reebok සමාගමේ ජර්සි වලින් සැරසෙන ලෙසට දැනුම්දීමක් කරනු ලැබුවා. නමුත් අපි සඳහන් කළ ක්‍රීඩකයන් සියල්ලම පාහේ Nike සමාගමේ අනුග්‍රහය ලබන්නන්. ඒ අවස්ථාවේදී ඔවුන් අපූරු උපක්‍රමයක් භාවිතා කළා. ඒ Reebok සමාගමේ ජර්සි නොපෙනෙන සේ ඇමරිකා එක්සත් ජනපද කොඩියෙන් සිය ජර්සිය ආවරණය කර ගැනීමයි.

 

6. WWF සහ WWF

මෙම ගැටුම ලෝක වන සත්ව අරමුදල සහ ලෝක ප්‍රකට රෙස්ලින් සමාගම අතර ඇති වුණු ගැටුමක්. ආරම්භයේ දී Titan Sports ලෙස හැඳින්වූ හැඳින්වූ එම සමාගම ලෝක රෙස්ලින් ෆෙඩරේෂණය ලෙස තමන් හඳුන්වා දීමට උත්සහ කළා. එහි දී ඔවුන් ඒ සඳහා WWF සන්නාමය භාවිතා කිරීමට උත්සාහ කළත් ලෝක වන සත්ව අරමුදල ඊට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගනු ලැබුවා. අවසානයේදී රෙස්ලින් සමාගම තම සමාගම් නාමය World Wrestling Entertainment (WWE) ලෙස වෙනස් කිරීමට එකඟ වුණා.

 

7. Messi සහ Massi

සුප්‍රකට ආජන්ටිනානු ෆුට්බෝල් ක්‍රීඩක ලයනල් මෙසී තමන්ගේ නම ඇතුළත් ක්‍රීඩා නිෂ්පාදන සන්නාමයක් ගොඩ නැගීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී තවත් සුප්‍රකට ස්පාඤ්ඤ බයිසිකල් සන්නාමයක් වන Massi ඊට එරෙහිව තම විරෝධය පළ කළා. ඒ සන්නාම දෙකෙහිම නම්වල සමාන බවක් දිස් වන බව පවසමින්. නමුත් අවසානයේ දී යුරෝපා සංගමයේ ප්‍රධාන අධිකරණයක් මගින් Messiට තමන්ගේම සන්නාමය ගොඩනැඟීමට කිසිදු බාධාවක් නොමැති බවට තීරණයක් ලබා දෙනු ලැබුවා.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *