ඔබත් විශිෂ්ටයන් අතර සුවිශිෂ්ටයෙකුදැයි කියා ඔබම බලන්න

අපි ගොඩක් දෙනා අපි ගැනම හිතන්න කැමතියි අපි බොහොම විශේෂයි කියලා. හැබැයි ඇත්තම කතාව වෙන්නේ හැම මනුස්සයාම විශේෂ නොවෙන බව තමයි. බොහොම දෙනෙක් අතිශයින්ම සාමාන්‍ය මිනිස්සු. මේ අතරේ විශේෂ මිනිස්සුත් ඉන්නවා. හැබැයි සුවිශේෂ, සුවිශිෂ්ට මිනිස්සු ඉන්නේ ඒ විශේෂ මිනිස්සු අතරිනුත් කලාතුරකින්. හැබැයි ඉතින් එහෙම සුවිශේෂී, සුවිශිෂ්ට පුද්ගලයෙක් වෙන්න නිකම්ම තමන් හිතාගත්තට බැහැ. ඊට වඩා ජීවිතේ අත්දැකීම් සහ කොලිටීස් ඕන වෙනවා. අන්න ඒ නිසා අපි අද පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න හදන්නේ අපි අතරේ ඉන්න සුවිශේෂී, සුවිශිෂ්ට පුද්ගලයෝ කවුද කියලා හොයාගන්න.

 

කරන්න ඕන මෙච්චරයි. අපි මේ කියන දේවල් වලට අවංකවම ලකුණු දෙන්න පුළුවන් නම්, ඒ ලකුණු කොළේක සටහන් කරගන්න. අන්තිමට අපි බලමු කවුද අපි අතර ඉන්න සුවිශිෂ්ටයෝ කියලා. 

 

1. පහුගිය අවුරුදු පහ ඇතුළත ඔබේ සිහිනයක් ඉටු කරගත්තාද?

මේ කියන්නේ තමන්ගේ ජීවිතේ ඕනම හීනයක්. කාර් එකක්, බයික් එකක් ගන්න එක කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන්. උපාධියක්, පශ්චාත් උපාධියක් ලබාගන්න එක කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන්. තමන්ටම කියලා ගෙයක් හදන එක තමන්ගේ හීනයක් වෙන්න පුළුවන්. තමන්ගේම කියලා කවි පොතක් එළිදක්වන එකත් කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් නොගියපු දිහාක සංචාරය කරන එකත් කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන්. ගිටාර් ගහන්න ඉගෙන ගන්න එක වුනත් කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන්. තමන්ගේ පළවෙනි පඩියෙන් අම්මට හරි තාත්තට හරි චීත්තයක්, සරමක් ගෙනත් දෙන එක වුනත් කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන්.

 

දැන් පැහැදිලියිනේ. හීන වලට ලොකු පොඩි භේද නෑ. හැබැයි අවශ්‍ය වෙන්නේ යම් දෙයක් තමන්ගේ හීනයක් කියලා වටහා ගැනීම විතරයි. ඉතින් එහෙම හීනයක් පහුගිය අවුරුදු පහ ඇතුළතදී ඉටු කරගත්තා නම්, ඒකත් ලොකු දෙයක්. 

 

ඔව් = ලකුණු 10

 

2. පහුගිය අවුරුදු පහ ඇතුළත කාගෙන් හරි පළිගත්තාද?

සාමාන්‍යයෙන් අපි පළිගන්නේ මොන වගේ අවස්ථාවකදීද? කෙනෙක් අපිට වැරැද්දක් කළොත්. එහෙම නේද? අපි හිතනවා, කෙනෙක් අපිට වැරැද්දක් කළොත්, අපි ඒකට පෙරළා දෙයක් කරන්න ඕන කියලා. සමහර වෙලාවට ඒ වැරැද්දටම සමාන වැරැද්දක්. පළිගැනීම කියන්නේ අපිට වරද්දපු මනුස්සයෙක්ට අපිත් වැරැද්දුවා, එකට එක කළා කියන සතුටට. පළිගැනීම සතුටක්ද? දන්නෙ නෑ. ඒකට පළිඅරගෙනම බලන්න ඕන. හැබැයි මෙතනදී ලකුණු දෙන්නේ, පළිගන්න අවශ්‍යතාවය තිබිලාත් එහෙම පළිගන්න නොගියා නම් තමයි.

 

පළිගන්න අවශ්‍යතාවය තිබිලාත් පළිගත්තේ නැති නම් = ලකුණු 10

 

3. පහුගිය අවුරුදු පහ ඇතුළත කාට හරි වරදකට සමාව දුන්නාද?

මේකත් බොහොම අමාරු වැඩක්. ඔව්, කෙනෙක්ගේ වරදකට සමාව දෙනවා කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි එකක්. මේ කියන්නේ අපේ මේසේ උඩ තිබුණු පෑන හොරකම් කරගෙන ගිය මනුස්සයාට සමාව දීම වගේ සරල කාරණයක් ගැන නෙවෙයි. තමන්ට රිදෙන වරදක් කරලා තියෙනකොටත් කෙනෙක්ට සමාව දීම ගැන තමයි මේ කියන්නේ. ඒ විදියට සමාව දීමෙන් ඇත්තටම අපේ හිත පුදුමාකාර විදියට පිරිසිදු වෙනවා.

 

ඔව් = ලකුණු 10

 

4. පහුගිය අවුරුද්ද ඇතුළත කරුණාවන්ත ක්‍රියාවක් කරලා තියෙනවාද?

ඇත්තටම කරුණාවන්ත ක්‍රියාවක් කියන්නේ මොන වගේ දේකටද? වයසක අම්මා කෙනෙක්ව අතින් අල්ලලා බස් එකට නැග්ගවීමට? දුගියෙක්ට රුපියල් විස්සකින් ආධාර කිරීමට? ළමා හෝ වැඩිහිටි නිවාසයක ඉන්න අයට කෑම වේලක් දීමට? ඇත්තටම දෙයක් කරුණාවන්ත ක්‍රියාවක් කියලා නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ, අපිට ඒක කරුණාවන්ත ක්‍රියාවක් කළා කියලා දැනෙනවා නම් තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ළමා හෝ වැඩිහිටි නිවාසයකට කෑම වේලක් දෙන්නේ, ඒ ගැන කියලා පුරසාරම් කියන්න නම් ඒක කරුණාවන්ත ක්‍රියාවක් කියලා අපිට දැනෙන එකක් නෑ. දුගියෙක්ට සල්ලි කීයක් හරි දෙන්නේ බස් එකේ අනික් අයත් සල්ලි දීපු නිසා ලැජ්ජාවට නං, ඒක අපිට කරුණාවන්ත ක්‍රියාවක් විදියට දැනෙන එකක් නෑ. හැබැයි තමන්ට අවංකවම කරුණාවන්ත ක්‍රියාවක් කියලා හිතන්න පුළුවන් දෙයක් කරලා තියෙනවා නම්, අන්න ඒක තමයි වැදගත්.

 

ඔව් = ලකුණු 10

 

5. තමන්ගේ ජාතියට හෝ ආගමට වඩා වෙනත් ජාතියක් හෝ ආගමක් පහළින් තියෙන්නේ කියලා හිතනවාද?

සමහරු කියනවා, මගේ ආගම ශ්‍රේෂ්ඨයි, හැබැයි අනික් හැම ආගමකටම මම ගරු කරනවා කියලා. සමහරු නම් කෙලින්ම කියනවා මගේ ආගම තමයි ශ්‍රේෂ්ඨ, අනික් ආගම් ඔක්කොම බොරු කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය මේකයි. ආගමක් තියෙන්නේ තමන්ට ශ්‍රේෂ්ඨයි කියලා හිතාගන්නද? එහෙම නැතිනම් ජීවිතේ යම් කිසි අර්ථයක් පහදා ගන්න සහායක් විදියටද? ඒකම තමයි ජාතිය ගැනත් කියන්න තියෙන්නේ. ජාතිය කියන්නේ කවුරුහරි ලබාදීපු දෙයක් විතරයිනේ. අපේ ඩීඑන්ඒ පරීක්ෂා කරලා බැලුවොත්, ඇත්තටම ඔය තමන් පිරිසිදු අහවල් ජාතියේ, පිරිසිදු මේ ජාතියේ කියලා හිතාගෙන ඉන්න අයගේ සිහින බිඳවැටෙනවා. අන්න ඒ නිසා, සෘජුව හෝ වක්‍රාකාරයෙන් තමන්ගේ ආගමට, ජාතියට වඩා අඩු සැලකිල්ලක් වෙනත් ආගමකට ජාතියකට දක්වන්නේ නැති නම්, අන්න ඒක විශිෂ්ට ලක්ෂණයක්.

 

නැහැ = ලකුණු 10

 

6. පහුගිය අවුරුදු පහ ඇතුළත ඔබ වෙනුවෙන් දෙයක් කරලා තියෙනවාද?

අනුන් වෙනුවෙන් දේවල් කරනවා වගේම තමන් වෙනුවෙන් දේවල් කිරීමත් විශිෂ්ට මනුස්සයෙක්ගේ ලක්ෂණයක්. තමන් වෙනුවෙන් දෙයක් කරනවා කියන්නේ ෆෝන් එකක් ගන්නවා, රස කෑමක් කනවා වගේ දෙයක්ම නෙවෙයි. ඊට වඩා ස්මරණයේ ප්‍රබලව තියෙන දෙයක් තමන් වෙනුවෙන් කිරීමක්. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ගේ ශරීර සුවතාවය වෙනුවෙන් ජිම් එකට යන්න පටන් ගැනීම තමන් වෙනුවෙන් කරන දෙයක්. තමන්ගේ ශරීර සුවතාවය වෙනුවෙන් ඩයට් එකක් පටන් ගැනීම තමන් වෙනුවෙන් කරන දෙයක්. තමන්ගේ මානසික සැහැල්ලුව වෙනුවෙන් භාවනා කිරීම, යෝග අභ්‍යාස කිරීම, පොත් පත් කියවීම තමන් වෙනුවෙන් කරන දෙයක්. තමන්ගේ බාහිර අලංකාරය වෙනුවෙන් හොඳ ඇඳුම් පැළඳුම් ගැනීම තමන් වෙනුවෙන් කරන දෙයක්. ඇත්තටම මෙහෙම තමන් වෙනුවෙන් දේවල් කරන, තමන් ගැන හිතන මිනිස්සුන්ට අනුන් ගැනත් ඒ විදියටම හිතන්න පුළුවන් කම තියෙනවා.

 

ඔව් = ලකුණු 10

 

7. පහුගිය අවුරුදු පහ ඇතුළත ඇතිවෙන්න ගිය ගැටුමක් වළක්වාගෙන තියෙනවද?

මේක මත ගැටුමක් වෙන්න පුළුවන්. ශාරීරික ගැටුමක් වෙන්න පුළුවන්. තමන්ට අදාළ ගැටුමක් වෙන්න පුළුවන්. තමන්ට අදාළ නොවන ගැටුමක් වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ, ගහගන්න ගියපු තැනකදී ඇඟේ පතේ හයිය පාවිච්චි කරලා ගහගන්න ගියපු අයව දෙපැත්තට ඇද දැමීම නෙවෙයි. මේ කාරණයේදී ලකුණු ලැබෙන්නේ, තමන්ට කතාබහ කරලා, කරුණු පහදලා දීලා මත ගැටුමක් හෝ ශාරීරික ගැටුමක් වළක්වා ගන්න පුළුවන් වීමේදී. ඒක ඇත්ත ජීවිතේදී සිද්ධ වෙන්න ගියපු ගැටුමක් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ෆේස්බුක් එකේ තමන්ට විරුද්ධ මතයක් දරණ කෙනෙක් එක්ක එල්ලෙන්න ගිහින් පත්තු වෙන්න ආපු ගැටුමක් වෙන්නත් පුළුවන්. හැබැයි අතින් පයින් හෝ වචන වලින් නොගහා ඒ ගැටුම සාමකාමීව, ඩිප්ලොමැටික් විදියට වළක්වා ගන්න පුළුවන් වුනා නම්, ඒකට ලකුණු හිමිවිය යුතුමයි.

 

ඔව් = ලකුණු 10

 

ලකුණු සටහන් කරගත්තද? ලකුණු කීයක් විතර තියෙනවද? හැත්තෑවක්? හැටක්? ඇත්තටම මේ ලකුණු වැදගත් නෑ. අපිට වුවමනා වුනේ, සුවිශිෂ්ට පුද්ගලයෙක් වෙන්න පුළුවන් ගතිලක්ෂණ කීපයක් ගැන කියලා දෙන්න. ඇත්තටම මේ කරුණු අටෙන් විතරක් සුවිශිෂ්ට පුද්ගලයෙක් වෙන්නේ නෑ. හැබැයි අඩු තරමින් මේ කරුණු අටෙන් හැම හොඳ දේකටම ලකුණු තියෙනවා නම්, තමන් තවත් එක් සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි කියලා හිතාගන්න පුළුවන්. ඒත් ඇතිනේ නේද?

 

හැබැයි එහෙම නැතිවුනත් ගැටළුවක් නෑ. අද ඉඳන් සුවිශේෂී මනුස්සයෙක් වෙන්න උත්සාහ කරමු. උඩින් කියලා තියෙන කරුණු අට ඒකට හොඳ පිටුවහලක් වෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *