ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් ඇති කරගන්නේ කොහොමද?

ඇත්තටම කිව්වොත්, අපිවත් හිතන්නෙ නෑ කාටවත් ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් ඇති කරගන්න පුළුවන් කියලා. සොරි ඉතින් එහෙම හෙඩ්ලයින් එකක් දැම්මට. හැබැයි කාවවත් රවට්ටන්න නෙවෙයි හෙඩ්ලයින් එක එහෙම දැම්මේ. දැන් ඇයි අපි හිතන්නේ ෆොටෝග්‍රැෆික් මතකයක් කාටවත් ලබාගන්න බැහැයි කියලා? හේතුව සරලවම කිව්වොත්, මේ ලෝකේ එහෙම ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙන මිනිස්සු ඉන්නවා කියලා තවමත් තහවුරු වෙලා නැති නිසා. ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් කියන්නේ, මොකක් හරි අතීතයේ තමන් දැක්ක, සිදුවුණු දෙයක් අර ඡායාරූපයක් දිහා අපි සූම් කරලා බලනවා වගේ තමන්ට අවශ්‍ය ඕනම වෙලාවක මතක් කරලා බලන්න හැකියාව තිබීම. එතනදී, අපිට ඒ සිදුවීම වුණු අවස්ථාවේදී අවධානයට සක්‍රීයව අහුනොවුණු පුංචි පුංචි ඩීටේල් පවා ආයෙමත් මතක් කිරීමෙදී අහුවෙන්න ඕන. දැන් ෆොටෝ එකක් ගන්නකොට, අපි ෆොටෝ එකේ කොණකට අහුවෙලා ඉන්නවා දැක්කෙ නැති පොඩි මල්වාස් එකක් වුණත්, පස්සේ දවසක ෆොටෝ එක සූම් කරලා බලනකොට දකිනවනේ. අන්න එහෙම. දැන්, ඔය කියන කාරණා අතෑරියොත්, අපි ඕන කෙනෙක්ට ෆොටෝ එකක් වගේ තමන්ගේ ජීවිතයේ එක සිද්ධියක් හරි ආයෙමත් බොහොම පැහැදිළිව මතක් කරන්න පුළුවන් විය හැකියි. හැබැයි අපිට එහෙම ඕනම දෙයක් මතක තියාගෙන, අවශ්‍ය වෙලාවට ආයෙමත් මතකයෙන් එළියට ඇදලා ගන්න හැකියාවක් නෑ. ආන්න ඒක නිසා තමයි කියන්නේ, මේ ලෝකේ එහෙම ෆොටෝග්‍රැෆික් මෙමරි තියෙන අය ඉන්නවා කියලා ඔප්පු වෙලා නැහැයි කියලා.

 

හරි, ෆොටෝග්‍රැෆික් මෙමරිය පැත්තකින් තියමුකෝ. අපිට බැරිවෙයිද, සෑහෙන්න තියුණු මතකයක් හදාගන්න? ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ඉතා හොඳ ස්මරණ ශක්තියක් ලබාගන්න? බැරි වෙන එකක් නෑ. අපි උත්සාහ කරලා බලමු!

 

1. කෙටි සටහන් ලියලා

දේවල් මතක තියා ගන්න හොඳම මෙමරි ටෙක්නික් එකක් තමයි තමන්ට මතක තියාගන්න අවශ්‍ය දේවල් ලියන එක. උදාහරණයක් විදිහට අපි හිතමු, මොනවා හරි පාඩම් කොටසක් අපිට මතක තියාගන්න ඕන කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ පොතේ හරි කොම්පියුටරය හරි තියෙන අන්තර්ගතය කියවලා මතක තියාගන්න උත්සාහ කරන එක නේ. හැබැයි ඊට වඩා සාර්ථකයි, අපි ඒ අන්තර්ගතය ආයෙමත් ලියන එක. ඒ කියන්නේ පොතක තියෙන පාඩම් කොටසක් නම් ඒක සම්පූර්ණයෙන්ම ආයෙමත් පිටපත් කරන්න කියන එක නෙවෙයි. ඒ පාඩම් කොටසෙ තියෙන වැදගත් කරුණු කෙටිසටහන් විදියට ලියන්නයි තියෙන්නේ. මතක තියාගන්න ටයිප් කරන්න නෙවෙයි ලියන්නයි මේ කියන්නේ. ඇත්තටම කම්පියුටර් එකේ හරි, වෙන මොකක් හරි ඩිජිටල් උපාංගයක හරි ටයිප් කරන එකෙන් ඒක මතකයට යන්නෙ නෑ. හැබැයි පරණ ක්‍රමයට තමන්ගේ අත් අකුරෙන් කෙටි සටහන් විදියට ලියාගන්න එකෙන් ඒක සෑහෙන්න මතකයේ රැඳෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි වෙනවා.

 

2. රයිම් වෙන වැකි

මේක නම් ඇත්තටම පුංචි කාලේ ඉඳලම අපිට දේවල් මතක තියා ගන්න තියාගන්න කියලා දෙන කියලා දෙන ක්‍රමයක්. මතකද පුංචි කාලේ අපි දිශාවන් ගැන ඉගෙන ගත්ත විදිය. “උපාලි ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්”. මේක බොහොම ලේසියෙන් කට පාඩම් හිටින වැකියක්. හැබැයි මේකේ හැම වචනයක්ම පටන් ගන්න මුල් අකුරෙන් දිශාවක් පටන් ගන්නවා. උතුර, ඊශාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත දිග, බටහිර, වයඹ. ඊළඟට අපි දන්නවා මේ දිශාවන් පෙළ ගැහිලා තියෙන අනුපිළිවෙළ දක්ෂිණාවර්තව, ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරකැවෙන පිළිවෙලට කියලා. අන්න හිතන්න, උපාලි ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන් කියනකොට අපිට දිශාවන් 8 ඔළුවේ මැවෙන්නේ නැද්ද? ඔය විදියටම අපි ආවර්තිතා වගුවත් කටපාඩම් කරලා තියෙනවා. “බෝතලේ ඇලී ගැලී ඉන්නා තැලී” වගේ, ආවර්තිතා වගුවේ විවිධ කොලම් වලට විවිධාකාරයේ වැකි හදාගෙන තිබුණා. ඉතින් දැනුත් ඕකම අපිට කරන්න බැරිද? යම් කිසි අනුපිළිවෙලකට තියෙන මොනවා හරි තොරතුරු ටිකක් සිහියේ තියා ගන්න ඕන නම්, කරන්න තියෙන්නෙ ඒ තොරතුරු වල මුල් අකුරු වලින් පටන් ගන්න, වෙන වචන ටිකක්, යම් කිසි තේරුමක් දෙන විදියේ වැකියක් විදියට හදාගන්න එක තමයි. ඒක මතක තියා ගත්තහම අර තොරතුරු ටික ආයෙ ජීවිතයට අමතක වෙන්නේ නෑ!

 

3. මෙමරි පැලස්

මේක දේවල් මතක තියා තියා ගන්න බොහොම ජනප්‍රිය ක්‍රමයක්. Loci technique තමයි මේකට කියන හරිම නම. අහන්න ලැබෙන විදියට අතීත ග්‍රීසියේ තමයි මේ ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කියන මෙමරි පැලස් ක්‍රමය ඉතාම හොඳයි විවිධ ලැයිස්තු, එතකොට උපන්දින, එතකොට නම් සහ මුහුණු මතක තියාගන්න. කරන්න තියෙන්නේ තමන්ට ඉතාම හුරුපුරුදු තැනක තියෙන දේවල් එක්ක අපිට මතක තියාගන්න ඕන තොරතුරු සම්බන්ධ කරගන්න එක තමයි. හරි, සරල උදාහරණයකින් පටන් ගමු. ඔන්න අපිට මතක තියාගන්න ඕන කඩේ ගිහින් ගේන්න ඕන බඩු ලැයිස්තුව. දැන් අපි ඒ බඩු ලයිස්තුවේ තියෙන විවිධ අයිතමයන්, අපිට හුරු හුරුපුරුදු කුස්සියට ආදේශ කරලා බලමු. ෆ්‍රිජ් එක උඩ තියෙනවා බිත්තර විස්සක පෙට්ටියක්. පෙට්ටිය ඇරලා තියෙන නිසා අපිට බිත්තර 20 ගණන් කරන්නත් පුළුවන්. ඊට එහා පැත්තෙ තියෙන කබඩ් එකේ උඩම ලීක්ස් ටිකක් තියලා තියනවා. එතන ග්‍රෑම් 250 කියලා ගහලත් තියෙනව. කබඩ් එකේ දෙවැනි තට්ටුවේ ලොකු මාජරින් එකක්. පහළම තට්ටුවේ කෝන්ෆ්ලෙක්ස් පෙට්ටියක්. ඒකේ බ්‍රෑන්ඩ් එකයි සයිස් එකයි එක්කම පරිකල්පනය කරන්න. ඊට එහා පැත්තෙ තියෙන වොෂින් මැෂින් එක උඩ සබන් කෑලි ටිකක් අතුරලා තියනවා. සන්ලයිට් කැට තුනයි, කොහොඹ සබන් කෑලි හතරයි. ඊටත් එහා තියෙන සින්ක් එකේ කෙලවරේ විම් ලික්විඩ් එකක් තියලා තියෙනවා. සින්ක් එකේ මෙහා පැත්තේ හෑන්ඩ් වොෂ් එකක්. අනික් පැත්තේ තියෙන පුටුව උඩ, හාල් මල්ලක් තියලා. ඒ හාල් මල්ල පිට පැහැදිලිවම ලොකු අකුරෙන් ලියලා තියෙනවා, රතු කැකුළු කිලෝ පහයි කියලා. දැන් ඔය ලයිස්තුව ආයෙමත් සිහිපත් කරන්න නම්, කරන්න තියෙන්නේ අපිට හුරු හුරු පුරුදු කුස්සිය සිහිපත් කරන එක තමයි. එතකොට ඒ ඒ තැන්වල තියෙන්නෙ මොනවද කියන එක මතක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම, කුස්සියේ යම් තැනක් අමතක වෙන්න විදියක් නැති නිසා, ඒ තැන්වලට අපි දාපු බඩු අයිතමයන් වුණත් අමතක වෙන්න විදියක් නෑ.

 

4. මියුසික් එක්ක සිංදුවක් හදමු

ඉස්සර වෙලා අපි කිව්වනේ අර රයිම් වෙන වැකි වලින් දේවල් මතක තියාගැනීම ගැන. ඕක අපිට ඕන නම් තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. අපි කියමු දිශා අට, ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය සෙට් එක වගේ දේවල් වලට වඩා ටිකක් එහාට ගියපු, ටිකක් සංකීර්ණ, හැබැයි අනුපිළිවෙලක් තියෙන යම් කිසි තොරතුරු ටිකක් මතක තියාගන්න අපිට අවශ්‍යයි කියලා. ආන්න එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි, අර වගේම, ඒ තොරතුරු වල වචන පටන් ගන්න මුල් අකුරු වලින් පටන් ගන්න වෙන ආතල් වචන ටිකක් යොදලා, ඒ වචන සෙට් එක සිංදුවක් කරන එක. මතක තියාගන්න ඕන, එහෙම වෙන වෙන වචන යොදනකොට කල්පනා කරන්න ඕන ඒ වචන ඔක්කොම ගත්තහම යම් තේරුමක් තිබිය යුතුයි කියන එක. උදාහරණයක් විදියට, “උපාලි ඊතලේ නැටුවොත් ගිහාන් දසයා නිකම් බස්සෝ වතුරේ” වගේ ඔහේ වචන ටිකක් යෙදුවට ඒක මතක හිටිනවා හොරයි. හරි, දැන් එහෙම වචන අමුණලා වාක්‍යයක් දෙකක් තුනක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි හැදුවට පස්සේ, ඒකට මියුසික් කරමු. ඇත්තටම වෙනම මියුසික් එකක් හදනවට වඩා, ඕක අපි හොඳට දන්න කියන සිංදුවක තාලෙට කියන එක වඩාත් සාර්ථකයි. දැන් අපිට ඒ තොරතුරු මතක් කරගන්න ඕන වුණහම, අවශ්‍ය වෙන්නේ අර දන්න සිංදුවේ ටියුන් එක මතක් කරගන්න එක තමයි. එතකොට අපි අර හදාගත්තු පද පේළි ටික මතක් වෙනවා. දැන් ඒ පද පේළි වල තියෙන එක් එක් වචනයේ මුල් අකුරින් කියන්නේ මොනවද කියන එකත් මතක් වෙනවා!

 

5. කණ්ඩායම් වලට බෙදලා

මේකත් ඔය ලැයිස්තු වගේ දේවල් මතක තියාගන්න හොඳ උපක්‍රමයක්. ඒ තමයි, ඒ ලැයිස්තුවේ තියෙන යම් යම් රටාවන් හොයාගෙන, ඒ රටාවන් විවිධ කාණ්ඩ වලට බෙදාගන්න එක. උදාහරණයක් ගමු. ඔන්න අපිට බඩු ලැයිස්තුවක් තියෙනවා ගෙන්න ගන්න. දැන් ඔය ලැයිස්තුව අපි මුලින් ලියනවා. දැන් බලනවා සරලම රටාවන් මොනවද කියලා. එකක් තමයි හෝඩියේ අකුරු වල අනුපිළිවෙලට කාණ්ඩගත කරන එක. ඒ කියන්නේ, ඒ අකුරින් පටන් ගන්න බඩු එක කණ්ඩායමක්. බී අකුරෙන් පටන් ගන්න දේවල් තව කණ්ඩායමක්. සී අකුරෙන් දේවල් නෑ. ඊලඟට ඩී අකුරෙන් පටන් ගන්න කණ්ඩායමක්. එහෙම නැතිනම් ඕන නම්, අපිට පුළුවන් ඒ ඒ අයිතමයන්ගේ ස්වභාවය අනුවත් කණ්ඩායම්ගත කරන්න. උයන පිහන දේවල් එක කණ්ඩායමක්. පිරිසිදු කරන දේවල් තව කණ්ඩායමක්. උයනකොට දාන ඒවා තව කණ්ඩායමක්. ඔන්න ඔය විදියට කණ්ඩායම් ගත කරලා, මොනවද ඒ කණ්ඩායම් කියන එකත්, එක් එක් කණ්ඩායමක තියෙන අයිතමයන් ගාණත් මතක තියාගත්තහම හරි.

 

6. අංක වලට නම් දෙමුද?

දැන් ඔය අංක මතක තියාගන්න එක ගොඩක් දෙනෙක්ට ප්‍රධාන ප්‍රශ්නයක්නේ. ඒකට එක ක්‍රමයක් තමයි උඩ කියපු මෙමරි පැලස් ක්‍රමේට අංක මතක තියාගන්න එක. ඒ වගේම තව ක්‍රමයක් තමයි මේ. ටිකක් සංකීර්ණයි කියලා හිතෙන්න පුළුවන්, හැබැයි පුරුදු වෙනකොට සෑහෙන්න පහසුයි. මුලින්ම, අපි එකේ ඉඳන් නවය වෙනකල් අංක වලට ඉංග්‍රීසි හෝඩියේ බහුලවම භාවිතා වෙන අකුරු යොදාගමු. e, t, a, i, o, n, s, h, r. දැන් මේවා අංක වලට දා ගමු. 1=e, 2=t, 3=a, 4=i, 5=o, 6=n, 7=s, 8=h, 9=r, 0=b. දැන් අපි කියමු අපිට අංක අටක් මතක තියාගන්න ඕන කියලා. 21489673. අපි ඒක අංක හතරේ කෑලි දෙකකට කඩා ගමු. 2148 සහ 9673. දැන් ඔය අංක වලට අනුරූප අකුරු යොදලා බලමු. teih, rnsa. දැන් ඔය හැදිලා තියෙන තේරුමක් නැති වචන දෙක වඩාත් මතක තියාගන්න පුළුවන් තේරුමක් ඇති වචන දෙකක් හිතමු. Taliho, Rinzo. හැබැයි අපිට මතක තියෙන්න ඕන, මෙහෙම ටැලිහෝ, රින්සෝ කියලා මතක තියාගත්තට, ඇත්තටම අකුරු යෙදිලා තියෙන්නේ teih, rnsa විදියටයි කියලා. දැන් අපිට ඔය වචන දෙක එක්ක මොනවද මතක් වෙන්නේ? ටැලිහෝ කියපු ගමන් අපිට මතක් වෙනවා සිල්වර් හෝක්ස් කාටුන් එක. රින්සෝ කිව්වහම මතක් වෙනවා රින්සෝ පැකට් එකක්. ඔන්න ඔච්චරයි. ආයෙමත් අර අංකේ මතක් කරගන්න ඕන වුණු ගමන්, සිල්වර් හෝක්ස් සහ රින්සෝ පැකට් එක මතක් කරගෙන, ඒ පින්තූර දෙක එක්ක අදාළ වෙන වචන දෙක මතක් කරගෙන, ඒ වචන දෙකේ ඇත්තටම අකුරු යෙදිලා තියෙන විදිය මතක් කරගත්තහම හරි. ඊලඟට තියෙන්නේ ඒ අකුරු වලට අදාළ අංක ටික යොදාගන්න විතරයි. හැබැයි ඉතින් මුලින්ම අර කී එක, ඒ කියන්නේ මේ මේ ඉලක්කම් වලට මේ මේ අකුරු තමයි අදාළ වෙන්නේ කියන එක මතක තියාගන්න වෙනවා.

 

7. කී පෑඩ් මෙතඩ්

ඇත්තටම එහෙම කී පෑඩ් මෙතඩ් කියලා එකක් තියෙනවද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි මේක අපි අත්දැකීමෙන් ඉගෙන ගත්තු ක්‍රමයක්. දැන් අපිට ගොඩක් කෙටි අංක මතක තියාගන්න සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ අවම ඉලක්කම් හතරේ ඉඳලා, උපරිම ඉලක්කම් දහය දක්වා අංක කියමු. මේ වලට අයිති වෙන්නේ, ඔය ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් වල පින් අංක, එතකොට ටෙලිෆෝන් නොම්බර වගේ එව්වනේ. දැන් ඔය අංක කී පෑඩ් එකක නිතරම ට්‍රයි කරලා බලන්න. උදාහරණයක් විදියට ටෙලිෆෝන් නොම්බරයක් නම්, ඒක නිතරම ෆෝන් එකේ කී පෑඩ් එකේ ඩයල් කරන්න. කෝල් එකක් ගන්න ඕන වුණහම ස්පීඩ් ඩයල් හරි, කෝල් ලිස්ට් හරි කන්ටැක්ට් හරි ඔස්සේ ගිහින් කෝල් එක නොගෙන, නිතරම ඒක මැනුවලි ඩයල් කරන්න. ආන්න ඔහොම ටික දවසක් කරනකොට නම්බර් එක ඉබේම කටපාඩම් වෙනවා. එතකොට පින් අංකේ වුණත් එහෙමයි. කී පෑඩ් එකක ඒ අංකේ නිතරම ගහලා බලන්න. අන්න එතකොට, අදාළ අංක කිහිපය කී පෑඩ් එකේ ඔබන්න ඕන රටාව මතකේ හිටිනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕන, ටෙලිෆෝන් එකේ තියෙන කීපෑඩ් එකේ අංක තියෙන රටාවට නෙවෙයි කීබෝඩ් එකේ තියෙන කීපෑඩ් එකේ අංක තියෙන්නේ. එතකොට, ටෙලිෆෝන් නොම්බරයක් මතක තියාගන්න කීබෝඩ් එකේ කීපෑඩ් එකේ ප්‍රැක්ටිස් කරලා හරියන්නෙ නෑ. අදාළ හරි කීපෑඩ් එකේ අදාළ අංකේ තමයි ප්‍රැක්ටිස් කරන්න ඕන.

 

දැන් මේ කියලා තියෙන්නේ හොඳ මතකයක් ඇති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස් ගැනනේ. මේ ඇරෙන්න, තව කරන්න පුළුවන් දේවල් තියෙනවා, තමන්ගේ බ්‍රේන් පවර් එක උසස් මට්ටමක තියාගන්න පුළුවන් වෙන. එක උදාහරණයක් තමයි නීරෝගී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන එක. ඒ කියන්නේ නිරන්තරයෙන් එක්සයිස් කරලා, සමබර පෝෂ්‍යදායී ආහාර නිරන්තරයෙන්ම අරගෙන, නරක ඇබ්බැහි වලින් තොරව ජීවත් වෙනකොට, එතකොට මොළයට ව්‍යායාම ලැබෙන දේවල් කරනකොට, පොත් පත් කියවනකොට, බ්‍රේන් පවර් එක හොඳ මට්ටමක පවතිනවා. ඒ කියන්නේ, හොඳ මතක ශක්තියකුත් ලැබෙනවා!

 

 

Leave a Reply

Your email address will not be published.