දන්න කිය​න දේශපාලන චරිතව​ල විවාහ ගැන සැඟවුණු කතා

අපි අද ලියන්න යන ආර්ටිකල් එක අනිවාර්යෙන්ම ආන්දෝලනාත්මක ආටිකල් එකක්. ඒ වගේම  මේ ආටිකල් එක ඇත්තටම අන්තර්ජාලය කලඹන්න සමත් වේවි. අපි කතා කරන්නේ මේ අපේ රටේ දේශපාලනඥයින් කීප දෙනෙක්ගේ විවාහ ජීවිත පිළිබඳව වැඩිපුර ප්‍රසිද්ධ නැති කරුණු කිහිපයක් ගැන. හැබැයි අපි ඒකට හිතාමතාම එකතු කර ගන්නේ අතීත දේශපාලනඥයින් කීප දෙනෙක් ගැන. මොකද ඉතින් අලුත් අය ගැන ලියන්න ගියොත් එහෙම එයාලගේ දායක සභාවලින් අපිට කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.

 

1. ලලිත් ඇතුලත්මුදලි මහතා 

ලලිත් ඇතුලත්මුදලි කියන්නේ අපේ රටේ අවාසනාවට අපිට අහිමි වෙච්ච නායකයෙක්. එතුමාගේ ඝාතනයෙන් පස්සේ එතුමාගේ දේශපාලනය ඉදිරියට අරගෙන ගියේ ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය. නමුත් බොහෝ දෙනා නොදන්නවා වුණාට ශ්‍රීමනී ඇතුලත්මුදලි කියන්නේ ලලිත් ඇතුලත්මුදලි මහත්මයාගේ දෙවැනි බිරිඳ. ලලිත් ඇතුලත්මුදලි මහත්මයා පළමු වරට විවාහ වෙන්නේ ෆෙරින් කැප්ටන් නම් තරුණියක් එක්ක. මේ විවාහය සිද්ධ වෙද්දී පොරොන්දම් බැලු​ව ජෝතිෂවේදීන් කියන්නේ මේ විවාහය දික්කසාදයකින් කෙළවර වෙන බවත් ලලිත් ඇතුලත්මුදලිගේ දෙවැනි විවාහය ඇඟිල්ලත් නියපොත්තත් වගේ පෑහෙන විවාහයක් කියලා. තමන් ආදරය කරන කෙනා තමන්ව දික්කසාද කරනවා කියලා අහපු ලලිත් ඇතුලත්මුදලි ඒ අවස්ථාවේදී ජෝතිෂ්‍යවේදියාට බැණ වැදිලා තියෙනවා. කොහොම වුණත් දික්කසාදයෙන් පසු ඔවුන් දෙදෙනා සමීප මිතුරන් ලෙස කටයුතු කරලා තියෙනවා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයාව ඝාතනය කරපු වෙලාවේ ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය​ව හම්බවුණු ෆෙරින් කැප්ටන් මහත්මිය මෙහෙම කිව්වලු.

“අපි දෙන්නම එකම රෝස මලකට ආදරය කළා. ඒත් අද අපි දෙන්නටම ඒ රෝසමල අහිමි වුණා”

 

2. මෛත්‍රීපාල සේනානායක

මැදවච්චිය ආසනය නියෝජනය කරමින් දශක පහකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මෛත්‍රීපාල සේනානායක මහත්මයාව රජරට  ජනතාව සලකන්නෙ දෙවියෙක් විදිහට. එතුමා සාමාජිකත්වය දරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ අවස්ථා වල පෙනී හිටියේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ නිසා දෙමළ ජනතාවට සුවිශේෂී වරප්‍රසාද ලබාදීමට ඔහු විරුද්ධත්වය පළ කළා. වතාවක් ඔහු ඩඩ්ලි සේනානායක මහතාගෙන් දිගින් දිගටම දෙමළ ජනතාවට ලබාදෙන වරප්‍රසාද ගැන ප්‍රශ්න කළා. එතකොට ඩඩ්ලි සේනානායක මහත්මයා මෙහෙම කිව්වා

“ගරු මැදවච්චිය නියෝජනය කරන මන්ත්‍රී තුමා, සිංහල පමණයි සටන් පාඨය දැරුවත් එතුමාගේ නිවසේ රාත්‍රී කාලයේදි දෙමළත් රාජ්‍ය භාෂාවක්” කියලා.

ඩඩ්ලි සේනානායක මහත්මයා කියපු මේ උපහාසාත්මක කතාවට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා හිනාවුණේ මෛත්‍රීපාල සේනානායක මහත්මයා විවාහ වෙලා හිටියේ “රංජි හැංඩි” නම් දෙමළ ජාතික පුවත්පත් කලාවේදිනියක් සමග වීම නිසා.

 

3. ජෝන් කොතලාවල මහතා 

අපේ රටේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ජෝන් කොතලාවල මහත්මයා කියන්නේ විවාහ නොවුණත් ඇති තරම් කාන්තාවන් ආශ්‍රය කරපු පුද්ගලයෙක් කියලා. බොහෝ දෙනා නොදන්නවා වුණාට එතුමා විවාහ වෙලා තියෙනවා. ඒ ඩී.ඇස් සේනානායක මහතාගේ සහෝදරියකගේ දියණිය වන එෆී ඩයස් බණ්ඩාරනායක එක්ක. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට ලක්ෂ්මි කොතලාවල නම් දියණියක් ලැබුණා. පසුව විවාහ ජීවිතයේ ඇතිවුණු නොගැළපීම් එක්ක ඔවුන් දෙදෙනා වෙන් වුණා.

 

4. විජයානන්ද දහනායක මහතා 

විජයානන්ද දහනායක මහතා විවාහ වුණත් විවාහ නොවුණු කෙනෙක්. සිය ජීවිතයේ අවසාන කාලයේ දී එතුමා තමන්ගේ ඥාතිවරියක් සමග විවාහ වෙනවා. ඒ අ​ග හි​ඟකම් වලින් පෙළුණු ඇයට, තමන්ගේ මරණයෙන් පසුව විශ්‍රාම වැටුප හිමි වන නිසා. දේශපාලන ලෝකය ඇතුළේ දහනායක මහතා විවාහ නොවීම පිළිබඳව විවිධ කටකතා පැතිරුණා. ඒ කට කතාවල හැටියට එතුමා සමරිසි නැඹුරුවක් සහිත පුද්ගලයෙක්. ඒක ඇත්ත වුණත් බොරු වුණත් විජයානන්ද මහතා අපේ රටේ දේශපාලනය තුළ ජනහිතකාමී නායකයෙක් විදිහට හැමදාම අපේ රටේ ජනතාවගේ හදවතේ රැඳෙන කෙනෙක්. 

 

5. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ

ලංකාවේ පළවෙනි කතානායකවරයා වීමේ ගෞරවය ලබාගත් ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ පෞද්ගලික ජීවිතය තුළ නම් ගෞරවනීය චරිතයක් වුණේ නෑ. මියුරියල් අසරප්පා නම් විවාහක කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන යෑම නිසා ඔහුට විරුද්ධව ඇගේ සැමියා වුණු දොස්තර අසරප්පා නඩු පවරනු ලැබූවා. අනාචාර චෝදනා සැකයකින් තොරව ඔප්පු වීම නිසා කථානායකවරයාට දඩයක් සමග සිර දඬුවම් නියම වුණා. ටික කාලයක් බන්ධනාගාර ගතවීම වළක්වා ගැනීමට කට්ටි පනිමින් සිටි මොලමුරේ මහතා අවසානයේදී භාර වුණා.ඔහු සිර දඬුවම් විඳීමට යෑමේදී මන්ත්‍රණ සභාවෙන් නිසි පරිදි නිවාඩු ලබා නොගැනීම නිසා ඔහුගේ මන්ත්‍රී ධූරයත් අහිමි වුණා. 

 

6. ලෙස්ලි ගුණවර්ධන සහ විවියන් ගුණවර්ධන

 

පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සමත් වෙච්ච යුවලවල් අතරින් වාමාංශික පක්ෂ වලට නායකත්වය දුන්නු ලෙස්ලි ගුණවර්ධන සහ විවියන් ගුණවර්ධන සුවිශේෂියි. විවියන් ගුණවර්ධන  පිලිප්  ගුණවර්ධන මහතාගේ ඥාති දියණියක්. ඇය සූරියමල්  ව්‍යාපාරයට සම්බන්ධ වුණේ පාසල් කාලයේදීමයි. තමන්ගේ මාමලාගේ දේශපාලන වැඩකටයුතුවලට සහායවීමට ආපු ලෙස්ලි ගුණවර්ධන තරුණයාට ඇගේ හිත ගියේ ඇයටත් නොදැනුවත්ම. මේ සම්බන්ධයට ඇගේ දෙමව්පියෝ වගේම පිලිප් ගුණවර්ධනත් විරුද්ධත්වය පළ කළා. නමුත් තව මාමා කෙනෙක් වුණු රොබට් ගුණවර්ධන නම් මේ සම්බන්ධයට සහයෝගය පළ කළා. සම්බන්ධතාවය නවත්වන්න දෙමව්පියන් ඇයව නිවාස අඩස්සියට පත්කළා. අවසානයේ දී ලෙස්ලි ගුණවර්ධන උසාවි නියෝගයක් ලබාගෙන විවියන් සමග විවාහ වුණා.

 

7. එන්.එම් පෙරේරා

“ඩබල් ඩොක්ටර්” නම් අනවර්ථ නාමයෙන් හැඳින්වුණු ආචාර්ය එන් එම් පෙරේරා මහත්මයා අපේ රටේ දක්ෂතම මුදල් අමාත්‍යවරයා විදිහට හඳුන්වන්න පුළුවන්. කඩවසම් පෙනුමකින් යුතු එතුමා අපේ පළවෙනි චිත්‍රපට නළුවා වෙන්න අවස්ථාව ඒ චිත්‍රපටය විනාශ වීම නිසා අහිමි වුණා. අපේ රටේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එතුමා අවිවාහකයි කියලයි. එතුමා සෙලීනා පීරිස් නම් තරුණියක් සමඟ විවාහ වෙලා ඉඳලා තියෙනවා. ඇයත් ඔහු සමඟ වාමාංශික ව්‍යාපාරයේ මුල් කාලයේ ප්‍රබල වැඩකොටසක් ඉටු කරලා තියෙනවා. නමුත් පසු කාලයකදී ඇය ඉන්දියාවේ පදිංචියට ගිහින් තියෙනවා. හැබැයි ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙලා නම් නෑ. 

 

එහෙම නම් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන අදහස් පළ කරලා ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා ඉතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *