ලෝකේ අපි හැමෝම බොහොම බලාපොරොත්තු ගොන්නක් කරතියාගෙන පටන් ගත්තට මේ 2020 අවුරුද්දනම් මුල ඉඳලම හිතපු තරම් යහපත් වසරක් වුණේනම් නැහැ. පටන් ගත්ත දවසේ ඉඳලම දවසින් දවස අහන්න උනේ නරක ආරංචි. කොහොමින් හරි අවුරුද්දේ මේ වෙනකන් ඒ කිව්වේ මාස 10කට කිට්ටු වෙනකන්ම ලෝකෙම මිනිස්සුන්ට වෛරසයකට බයවෙලා හැංගිලා ඉන්න වෙලා. මිනිස්සුන්ගේ ජීවිත උඩුයටිකුරු වෙලා. කොයිකාලෙදි අපහු පරණ හුරු පුරුදු ජීවිතේ ගෙවන්න ලැබෙයිදෝ කියන දෙගෙඩියාවෙන් අපි හැමෝම අනාගතේ දිහා බලාගෙන ඉන්නවා.
ඉතින් මාස 10කුත් ගෙවිලා ඉවරවෙන මෙන්න මේ කාලෙදි 2020 වසරේ මේ වෙනකන් සිදුවුණ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් ගැන අපි කතා කරන්න හිතුවා.
1. ඕස්ට්‍රේලියානු ලැව්ගින්න
2020 ජනවාරි මාසෙ ආරම්භයත් එක්ක සිදුවෙච්ච අවාසනාවන්තම සිදුවීමක් තමයි මේ ඕස්ට්‍රේලියානු ලැව් ගින්න. 2019 ජූනි මාසෙ ඉඳලම පොඩි පොඩි ලැව්ගිනි සිදුවෙමින් තිබුනත් “නූතන ඉතිහාසයේ සිදුවුණ දරුණුතම වනජීවී ඛේදවාචකය” විදිහට හැඳින්වෙන මේ ලැව්ගින්න සිදුවුණේ 2020 ජනවාරි මාසෙදි. බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 46ක් විතර පිළිස්සීමට ලක්වුණ මේ ලැව් ගින්නෙන් සතුන් බිලියන තුනක් විතර මරණයට පත්වෙලා, බිලියන 1.25ක් විතර ප්‍රමාණයකට බලපෑම් ඇතිකරලා කියල තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නෙ.
2. කොරෝනා වෛරසය
මේ ගැනනම් ඉතින් කියන්නවත් දෙයක් නැති තරම්. ඒ තරමටම මේ කියවන මොහොත වෙනකොටත් අපි හැමෝවම රෝග බියෙන් මුළුගන්වල තියන්න සමත්වුණ වෛරසයක් තමයි මේ කොරෝනා එහෙමත් නැත්තම් covid – 19 කියන්නෙ. පුංචිම ළමයාගේ ඉඳලා මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. 2019 අවසන් භාගයේ ඉඳලා චීනයේ තිබුණට 2020 වසරේ ආරම්භයෙන් පස්සේ තමයි මේ රෝගය ලෝකේ පුරාම දරුණු විදිහට ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ. කොහොම උනත් මේ වෙනකනුත් අවසානයක් කවදා දකින්න ලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති මේ වෛරසය නිසා මේ වෙනකොට සමස්ථ රෝගීන් මිලියන 39.7කුත්, මරණ මිලියන 1.11කුත් වාර්තා වෙලා තියෙනවා. ඉස්සරහට මොනවා වෙයිද කියල අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.
3. ලෙබනනයේ බේරූට් හී පිපිරීම
ලෙබනන් රාජ්‍යයේ බේරූට් නගරයේ සිදුවුණ විශාල පිපිරීමත් තවත් එක අවාසනාවන්ත සිදුවීමක්. මේ සිදුවීම සිදුවුණේ 2020 අගෝස්තු මාසෙ 4 වෙනිදා. ලෙබනනය පුරා කාලයක් තිස්සේ පැවතුණ දේශපාන සහ ආර්ථික අර්බුදය තවත් ටිකක් උග්‍ර වෙන්න මේ පිපිරීම තවත් එක හේතුවක් වුණා. අධික ලෙස පුපුරණසුළු ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් ගබඩා කරලා තිබුණ බේරූට් වාරයේ තමයි මේ පිපිරීම සිදුවෙලා තිබුණේ. මිනිස්සු 6,000කට වැඩි පිරිසකට තුවාල සිදුවෙන්නත්, 157ක් මියයන්නත් මේ පිපිරුම හේතුවෙලා තියෙනවා. මේ පිපිරීම නිසා ඇතිවුන විරෝධතා හේතුවෙන් කෙටිකාලීන අග්‍රාමාත්‍ය හසන් ඩයබ් සිය තනතුරෙනුත් ඉල්ලා අස්වුණා.
4. පකිස්තානු ගුවන් යානා අනතුර
පකිස්තානු අන්තර්ජාතික ගුවන්සේවයට අයත් ගුවන් යානයක් කරච්චි ප්‍රදේශයේ නිවාස කිහිපයක් මතට කඩාගෙන වැටීම තවත් එක අවාසනාවන්ත සිදුවීමක්. මේ සිදුවීම වෙලා තියෙන්නෙ මැයි මාසෙ 22 වෙනිදා මිනිසුන් 97කට මරණය ලඟා කරමින්. පකිස්තානයේ මෑතකදී සිදුවුණ භයානකම ගුවන් යානා අනතුරක් විදිහට ගණන් ගැනෙන මේ අනතුරෙන් පුදුමයක් විදිහට මඟීන් දෙදෙනෙකුට විතරක් ජීවිත බේරාගන්න පුළුවන් වෙලා තියෙනවා. ගුවන් යානය ගොඩබස්සන්න කිට්ටු වෙලාවකදි තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්න.
5. ඉන්දුනීසියාවේ ගංවතුර
ඉන්දුනීසියාවේ අගනුවර, ජකර්තා නගරය ආශ්‍රිතව 2020 ජනවාරි මාසයේ ඇතිවුන ගංවතුර තත්ත්වයත් බොහොම නරක සිදුවීමක්. මේ දරුණු ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයින් 66 දෙනෙක් මරණයට පත්වුණා වගේම ලක්ෂ 400,000 කට ආසන්න පිරිසකට ඔවුන්ගේ ගෙවල් දොරවල් හැරයන්න සිදුවුණා. නගරය අවට ප්‍රදේශ පවා මේ ගංවතුරෙන් යටවුණා වගේම ඒ හරහා සියලුම ප්‍රවාහන ජාලයන් ඇනහිටුනා. ජනාධිපති මන්දිරයට පවා මේකෙන් බලපෑම් ඇතිවුණා. ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ආයතනය කියන විදිහට ගංවතුරට යටවෙලා, නායයෑම් වලට යටවෙලා වගේම අධික සීතල සහ විදුලි සැර වැදීම් නිසාත් මිනිසුන් මරණයට පත්වෙලා තියෙනවා මේ සිද්ධියේදී.
6. පිලිපීනයේ ගිනිකඳු පිපිරීම
2020 ජනවාරි මාසෙදි පිලිපීනයේ Taal කියන ප්‍රදේශයේ සිදුවුණ ගිනිකඳු පිපිරීමක් නිසා මුළු ප්‍රදේශයම ලාවා සහ ඉහලට නැගුණ දුමින් වැසීගියා. වාසනාවට කිසිඳු ජීවිත හානියක් වාර්තා නොවුණත් මේ ඉහළට නැගුණ දුම කිලෝ මීටර් 100ක් විතර දුරට ගිය නිසා රටේ අගනගරයේ තිබුණ මැනිලා ගුවන් තොටුපළ ගුවන් ගමන් වාර 240කට වඩා ප්‍රමාණයක් නවත්තල වසාදමන්න ඔවුන්ට සිදුවුණා. ඒ වගේම ඒ අවට කාර්යාල, පාසල් වගේ හැමදෙයක්ම වසා දැමුණා. ගම්මු හැමදෙනාටම ආරක්ෂාවට ගම අතහැර යන්න සිදුවුණා.
7. කොබේ බ්‍රයන්ට් (Kobe Bryant) ගේ අවාසනාවන්ත මරණය
කොබේ බ්‍රයන්ට් කියන්නෙ ඇමරිකානු පැසි පන්දු ක්‍රීඩකයෙක්. ඇමරිකාවේ අති දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට නම්දරාපු කෝබෙ ගේ හදිසි මරණයත් 2020 වසරේ ආරම්භයත් එක්ක අපිට අහන්න ලැබුණු අවාසනාවන්තම සිදුවීමක්. ඒ ඔහු මියයන්නේ අවුරුදු 41 වගේ අඩු වයසකදී වීම නිසා වගේම ඔහුත් එක්ක ඔහුගේම අවුරුදු 13ක් වයසැති දියණියත් තවත් 7 දෙනෙකුත් මියයන නිසා. මේ මරණ සිදුවුණේ ගුවන් යානා අනතුරකින්. මේ ගුවන් ගමන යෙදිලා තිබිලා තියෙන්නෙ කෝබෙගේ දුවගේ පැසි පන්දු කණ්ඩායමට පුහුණු කිරීම් කරන්න යන ගමනටයි.
මෙහෙම සිදුවීම් ගොන්නක් තවත් තියෙනවා. මේ හුඟක්ම ප්‍රසිද්ධ කිහිපයක් පමණයි. ඉතින් අපේ එකම ප්‍රාර්ථනය තවමත් අවසන් නොවුණ මේ වසරේ ඉදිරි මාස කිහිපය කිසිම කෙනෙකුට කරදරයක් නොවී සතුටින් අවසන් කරන්න ලෝකවාසී සියළු ජනතාවට හැකිවේවා කියන එකයි.
Leave a Reply