කුඩා දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් ඇතිවන සුලභ ගැටළු

 

කුඩා දරුවන් ගැන, දරුවන් උස්මහත් කිරීම ගැන අම්මලා එක්ක කතා කළොත් අම්මලා වැඩිදෙනෙකුගේ කටින් අහන්න ලැබෙන ගැටළුවක් තමයි දරුවන්ගේ කෑම යුද්ධය. ඇත්තටම පුංචි දරුවන්ට කෑම කවන එක කියල කියන්නෙ එසේ මෙසේ යුද්ධයක්නම් නෙමෙයි තමයි. මාස 6න් පටන් ගන්න මේ යුද්ධය සමහර දරුවෝ මොන්ටිසෝරි යන කාලෙ විතර වෙනකන්ම කරන්න වෙනවා. යාන්තම් ඊට පස්සේ තමයි එයාලා බඩගිනි දැනුනොත් කැමැත්තෙන් කන්න පුරුදු වෙන්නෙ. කොහොම වුණත් මේ කියන්න යන්නෙ ඔය කෑම යුද්ධය අතරේ හුඟක් අම්මලාට මුහුණ දෙන්න වෙන ආහාර සම්බන්ධ ගැටළු කිහිපයක් ගැනයි. 

 

 

1. එළවළු නොකෑම

   

හුඟක් පුංචි දරුවන් එළවළු වර්ග කෑම ප්‍රතික්ෂේප කරනවා. පුංචිම දරුවන්ට, ඒ කියන්නෙ වයස අවුරුදු එකට අඩු දරුවන්ටනම් එළවළු තීරු විදිහට කපලා අතින් අහුලාගෙන කන්න දෙන්න පුළුවන්. අලුත් වැඩක් නිසා හුඟක් වෙලාවට ඔවුන් ආස වෙනවා. ඒ වගේම එකම පාට එළවළු නැතුව විවිධ වර්ණයේ එළවළු එකතු කරන එකෙනුත් ඔවුන්ට කෑමට ආසාව ඇතිකරන්න පුළුවන්.

ලොකු ළමයින්නම් තේරෙන නිසා එළවළු තෝරලා කන්න වැඩිපුර උත්සාහ කරනවා. ඔවුන්ට එළවළු කවන එක ලොකු අභියෝගයක්. එළවළු වර්ග බ්ලෙන්ඩ් කරලා බබා කන වෙනත් කෑම, ඒ කිව්වෙ පැස්ටා, නූඩ්ල්ස් වගේ කෑම වලට එකතු කරලා දෙන්න පුළුවන්.

 

 

2. කෑම කන්න ගතවෙන කාලය

හුඟක් බබාලා කෑම කටේ තියාගෙන ගොඩක් වෙලාව ගතකරනවා. මේ ගැටළුව විසඳාගන්න නම් කෑම කවන වෙලාවට වටේ පිටේ තියෙන අවධානය වෙනස් වෙන දේවල් ටිකක් අඩු කරන්න ඕන. TV, Phone වගේ දේවල් පෙන්වමින් දරුවාට කෑම කවන එක හොඳ පුරුද්දක් නෙමෙයි. ඒකෙන් වෙන්නෙ කෑම කෑමට දරුවා තුළ තියෙන අවධානය වෙන අතකට යොමුවීම. ඒ වගේම ඔක්කොම කවන්න කියල පැය ගණන් දරුවට කෑම කවන එකත් නරක පුරුද්දක්. ඒකෙන් වෙන්නෙත් කෑම කවන කාලය දරුවාට එපාවීම. මොකද පුංචි දරුවො ස්වභාවයෙන්ම එකතැනක ඉන්න කැමති නැහැ. වෛද්‍ය නිර්දේශය උපරිම විනාඩි 20 ක කාලයක් ඇතුළත කෑම එක කවන්න කියන එකයි. 

 

 

3. අලුත් කෑම ප්‍රතික්ෂේප කිරීම

පුංචි දරුවෝ අලුතෙන් හඳුන්වාදෙන කෑම කන්නත් හුඟක් වෙලාවට අකමැතියි. ඒකටත් අම්මලා ටිකක් උපක්‍රමශීලි වෙන්න ඕන. බබා ආසම කෑමකට සමාන විදිහට අලුත් කෑම ලබාදීම, මුලින් මුලින් කුඩා ප්‍රමාණ වලින් ලබාදීලා හුරු කිරීම වගේම එකවරක් ප්‍රතික්ෂේප කරපු ගමන් නැවත නොදී ඉන්නෙ නැතුව දිගින් දිගටම උත්සාහ කිරීම තමයි මේ ගැටළුවට විසඳුම්. 

 

 

4. කනවට වඩා නාගැනීම

මේකනම් වයස අවුරුද්දට වගේ වැඩි හැම දරුවෙක්ම කරන වැඩක්. කෑම කන වෙලාවට කෑම තනියම කන්න එයාලට ඕන වෙනවා. හැබැයි එහෙම තනියම කන්න නොදන්න නිසා හැම තැනම ගාගෙන කෑම වටේම හලන එක තමයි වෙන්නෙ. මේක වැඩිහිටි අපිට බලාගෙන ඉන්න අපහසු වුණාට ඇත්තටම දරුවාගේ වර්ධනයට ඉතාම වැදගත් වැඩක්. මේ මඟින් දරුවා අලුත් කුසලතාවයන් ගොඩක් හුරුවෙනවා. 

 

5. ආහාර ආසාත්මිකතා

ආහාර ආසාත්මිකතාවයක් කියන්නෙ යම්කිසි ආහාරයක අඩංගු දෙයක් ශරීරයෙන්ම ප්‍රතික්ෂේප වීම නිසා ඇතිවන ලක්ෂණ. කිරි, බිත්තර, රටකජු වැනි ඇටවර්ග, මාළු වර්ග මෙහෙම ලේසියෙන්ම ආසාත්මික ලක්ෂණ පෙන්වන්න පුළුවන් ආහාර. ඇඟ කැසීම, හුස්ම ගැනීමේ අපහසුතා, වමනය, පාචනය වගේ හුඟක් ලක්ෂණ ආසාත්මිකතාවයන් වලදී පෙන්වන්න පුළුවන්. ආසාත්මිකතාවයක් කියන්නෙ කිසිම වෙලාවක සුළුවෙන් සැළකිය යුතු ගැටළුවක් නෙමෙයි. හුස්ම ගැනීමේ අපහසුතා දරුණු තත්ත්වයන් දක්වා වර්ධනය වෙන අවස්ථා ආසාත්මිකතා වලදී දකින්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සහ අසාත්මිකතා ඇතිවෙන ආහාර හඳුනාගෙන ඒවා නැවත දීමෙන් වැළකී සිටීමත් හරිම වැදගත්. 

 

 

6. මළබද්ධය සහ පාචනය

පාචනය කියන්නෙ කලින් කිව්ව වගේම ආහාරයක අඩංගු දෙයක් ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවෙන වමනය සහ දියර වශයෙන් මළපහ පිටවීම. මේක ප්‍රතිකාර ලබාගතයුතු තත්ත්වයක්. 

මළබද්ධයනම් පුංචි දරුවන් තුළ සුලභව දකින්න පුළුවන්. වරක් දෙකක් ඇතිවීම සාමාන්‍ය වුණත් දිගින් දිගටම මළබද්ධය ඇතිවෙනවානම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍යයි. මොකද කාලයක් තිස්සෙ මළබද්ධය පැවතීම තුළින් දරුවා මළපහ කරන්න බයවෙනවා. ඒක දරුවාට වේදනාත්මක අත්දැකීමක් වෙනවා. මුල් කාලයේදී ආහාර පුරුදු වෙනස්  කිරීම, ඒ කියන්නෙ පළතුරු වර්ග සහ දියර වැඩි වශයෙන් ලබාදීම මඟින් මේ ගැටළුව මඟහරවාගන්න පුළුවන්. නමුත් ඒ දේවල් වලින් වෙනස් නොවී කාලයක් තිස්සෙ මළබද්ධය පැවතීමෙන් එය රෝගී තත්ත්වයක් දක්වා උත්සන්න වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් සහ දරුවා නිසිලෙස වැසිකිළි යන්න හුරු කිරීම මඟින් මේ තත්ත්වය මඟහරවාගන්න පුළුවන්. 

 

7. වෛද්‍ය උපදෙස්

ඔය කොයි ගැටළුව වුණත් බොහෝදුරට අම්මලා හිතින් මවාගත්ත ගැටළු වෙන්නත් පුළුවන්. මොකද පුංචි දරුවන්ට තියෙන්නෙ එයාලගේ ඇඟ වගේම පුංචි බඩක්නේ. හැබැයි අම්මලාට ඕන පුළුවන් තරම් කෑම කවල බබාගේ බර ඉක්මනින් වැඩිකරගන්න. ළදරු සායන වලදී බැනුම් අහන්නේ නැතුව ඉන්න. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේ මානසිකත්වය වෙනස් කරගන්න අපි උත්සාහ කරන්න ඕන. බබා කන තරම එයාට කන්න ඉඩහරින්න පුරුදු වෙන්න ඕන. බර කියන සාධකයට වඩා අවධානය යොමු කරන්න ඕන දරුවාගේ පෝෂණය සහ කායික මානසික සංවර්ධනය ගැනයි.

 

කොහොම වෙතත් උඩින් කියපු කාරණා දිගින් දිගටම සිදුවෙනවානම්, අසාමාන්‍ය ලෙස පාචනය හෝ මළබද්ධය තත්ත්වයන්, ආසාත්මිකතා එහෙම පෙන්වනවානම් දරුවාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීම තමයි සුදුසුම ක්‍රියාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *