කුඩා ෆ්ලැට් එකෙන් ලො​ව වටිනාම මාලිගය​කට ගිය මුකේෂ් අම්බානිගේ කතාව

ලොවට ආගම් රැසක් දායාද කරපු ඉන්දියාවේදි, මුකේෂ් අම්බානි කියන්නේ දෙවියෙක්. මිනිස්සු ලක්ෂ ගාණකට රැකියා ලබාදෙමින් සාර්ථක ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙක් කියන්නේ එක පැත්තකින් දෙවියෙක්. ඉන්දියාවේ ක්‍රිකට් තරු, සිනමා තරු වගේම මිනිසුන් ආදරය කරන, මිනිසුන් ගොසිප් අහන්නට කැමති වෙන චරිතයක් තමයි මුකේෂ් අම්බානි. එක් එක් ව්‍යාපාරික බිලියනපතියො ගත්තාම ඒ අය ඒ කාලය තුළ කළ යම් යම් කැපකිරීම් තීරණ තීන්දු ගොඩක් එයාලගේ සාර්ථකත්වයට හේතු වෙනවා. මේ කාලේදී තවත් කෙනෙක් ඒ දේවල්ම කළා වුනත් ආයෙත් මුකේෂ් අම්බානි කෙනෙක් බිහි වන්නේ නැහැ. ඒත් බිලියනපතියෙක් ගැන විස්තර දැනගන්න අපි කවුරු වුනත් ආසයි. ඒ නිසා අපි අම්බානි කවුද? මොකද්ද එයාගේ විශේෂත්වය කියලා හොයා බලමු.

 

1. අම්බානි කවුද ?

රසායන ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ අම්බානි මුම්බායි සරසවියේ විද්‍යාවේදී උපාධිධාරියෙක්. ඊට අමතරව ඔහුට ස්ටැන්ෆර්ඩ් අමරිකානු සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියක් සඳහා ඉගෙනගත්තත් ඒ නවතා ඔහු අතරමගදී පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වුනා. අම්බානි, රිලයන්ස් සමාගමේ 1977 වර්ෂයේ සිට අධ්‍යක්ෂවරයෙක්. ගුජරාටි ජාම්නගර් හි ඇති ඛනිජතෙල් පිරිපහදුව ලොව ඇති සුවිශාලතම තෙල් පිරිපහදුවක්. ඒ පිරිපහදුව හරහා දිනකට බැරල් 660,000ක් පෙට්‍රෝලියම් ද්‍රව නිපදවිය හැකියි. අම්බානිගේ මූලිකම ව්‍යාපාරය පෙට්‍රො කෙමිකල් හෙවත් පෙට්‍රෝලියම් නිෂ්පාදනය. මෑතකාලීනව ඔහු විදුලිබල, බලශක්තිය, විදුලි සංදේශ, මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලටද සිය ආයෝජන විහිදුවා තියෙනවා… 

 

2. බිලියනපතියන් අතර

රිලයන්ස් සමාගම් වලින් 42%ක් හිමි මුකේෂ් අම්බානි බ්ලූම්බර්ග් බිලියනපතියන් දර්ශකය අනුව 19 වන ස්ථානයේ ඉන්නවා. මෑතකදී කොරෝනා පැතිරීමත් එක්ක එක් අතුරුඵලයක් විදිහට තෙල් මිල සීඝ්‍රයෙන් අඩු වුනා. ඒ එක්ක අම්බානිගේ ව්‍යාපාර දිනකට බිලියන ගණනින් පාඩු ලැබූ බව සඳහන් වුනා. මුකේෂ් අම්බානිගේ වත්කම ඩොලර් බිලයන 40කට ආසන්න වෙනවා. මුම්බයි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායම දුවන්නේ අම්බානිගේ සල්ලි වලින්. ඒ සඳහා අම්බානි ඩොලර් මිලියන 400ක් පමණ වියදම් කරනවා. ඉන්දියාවේ දේශපාලනය සමගත් කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන අම්බානි, තමුන්ගේ පවුලේ උත්සව ආදියටත් ඉන්දීය සිනමා සහ ක්‍රිකට් තරු ගෙන්වාගන්නවා. මෑත කාලේ ආසියාවේ සුපිරිම ධනවතා බවටත් පත්වෙලා හිටිය අම්බානිට වඩා දැන් අලිබබා සමාගමෙහි හිමිකරු ජැක් මා මුල්තැනට ඇවිල්ලා තියෙනවා.

 

3. අම්බානිගේ පියා ගෙන් ලැබුන දායාද

අම්බානිගේ පියා ඉන්දියාවෙන් යේමනයට ලිපිකරු රාජකාරි සඳහා ගිය දිරුබායි අම්බානි. ඔහු යේමනයේ සිටි කාලයේම රෙදිපිළි වෙළඳාම පටන් ගන්නවා. ඒ හරහා මුලදී ඔහු රිලයන්ස් නමින් රෙදිපිළි වෙළඳාම ඉන්දියාවට ව්‍යාප්ත කරනවා. ඒ අතර බලශක්තිය පැත්තටත් අම්බානිගේ පියා පය තබලා තිබුනා. මුකේෂ් අම්බානි මේ සමූහයට 1979දි එකතු වුනා. එවකට රසායන ඉංජිනේරුවරයකු වූ මුකේෂ් අම්බානි, පියාගේ පොලියෙස්ටර් රෙදි නිපදවීමේ කර්මාන්තශාලා ඉදිකිරීම් මෙහෙයවූවා. සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට 2002 දී දීරුබායි අම්බානි පරලොව ගියා. ඉන් පසුව අනිල් සහ මුකේෂ් පුතුන් දෙදෙනා අතර පියාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් යම් සීතල යුධ තත්ත්වයක් තිබුනා. මෙයින් අම්බානිගේ ව්‍යාපාර වල පෙට්‍රො කෙමිකල්, එහෙම නැතිනම් පෙට්‍රෝලියම් නිෂ්පාදන කොටස මුකේෂ් භාරගෙන වඩාත් වේගයෙන් වැඩි දියුණු කළා.

 

4. මුකේෂ් ගේ පවුල

මුකේෂ් අම්බානිට නිවුන් දරුවන් දෙදෙනෙකුත් තව බාල පිරිමි දරුවෙකුත් ඉන්නවා. ඔහුගේ බිරිය නීටා අම්බානි. මෑතකදී අම්බානි ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට රිලයන්ස් ව්‍යාපාරයේ කොටස් හරවාගත්තා. මුකේෂ් ලක්ෂ හැත්තෑ දෙකක් කොටස් අයිති කරගත්තා. බිරිය නීටාට ලක්ෂ 75ක කොටස් හිමිවුනා. ආකාශ් සහ ඊෂා යන නිවුන් අම්බානි දරුවන්ට කොටස් ලක්ෂ 62.7ක් බැගින්  හිමිවුනා. ඔහුගේ බාලම පුතුට හිමිවෙලා තියෙන්නේ කොටස් ලක්ෂ 2ක් පමණයි. ඒ අනුව මුකේෂ් ගේ සමාගමේ කොටස් බිරිය සහ නිවුන් දරුවන් අතර ආසන්නව සමව බෙදිලා ගිහින් තියෙනවා. අම්බානි බිලියනපතියෙක් වුනාට ලෝබයෙක් නෙමෙයි. ඔහුගේ බිරියට ඔහු එක් උපන්දිනයකට තෑගි වශයෙන් ගුවන් යානයක් තෑගි දුන්නා. ඊෂා අම්බානිගේ වෙඩින් එකට ඇමරිකාවෙන් පවා අම්බානි ගායක ගායිකාවන් ගෙන්නා ගත්තා.

 

5. අම්බානිගේ නිවස

අම්බානිගේ නිවස කියන්නේ ඉන්දියාවේ මීඩියා වල පුවත් මැවූ නිවසක් වුනා. අම්බානිගේ ගෙදර තට්ටු 21ක්. හෙලිකොප්ටර අංගනම 3ක් තියෙනවා. එය ඉදිකරන්න ඩොලර් බිලියන 1ත් 2ත් අතර මුදලක් වියදම ගිහින් තියෙනවා. මේ අම්බානිගේ ගෙදර ලෝකයේ මිල වැඩිම නිවාස අතර මුල් තැනක් ගන්නවා. එහි පෙනුම නම් සාමාන්‍ය අවස්ථාවලදී තවත් එක තට්ටු බිල්ඩිමක් වගේ පේන්නේ. ඒත් එහි රාත්‍රියට ඇති පෙනුම සහ එහි ඇති පහසුකම් නම් ලෝකේ හොඳම මන්දිරවලට පවා දෙවැනි නැහැ. එහි සම්පූර්ණ වපසරිය වර්ග අඩි ලක්ෂ හතරක් වෙනවා. මේ අම්බානිගේ ගෙදර හදන්න ගිය සල්ලි වලින් 2001 දී බිඳ වැටුණු ලෝක වෙළඳ මධ්‍යස්ථාන 7ක් ඉදිකරන්නට පුළුවන්. අම්බානි හොඳ සිනමා රසිකයෙක්. ඔහුගේ විනාඩියක් තත්පරයක් වුනත් බොහෝ වටිනා එකක් වුනත් ඔහු සතියකට දින දෙකතුනක් පවා චිත්‍රපටි බලනවා. ඇතැම් දේවලට යම් වියදම්කාරයෙක් වුනත් අම්බානි ඇඳුම් පැළඳුම් ආදියේදී බ්‍රෑන්ඩ් පසුබස හඹායන්නේ නැහැ. ව්‍යාපාරික උත්සව ආදියට යුරෝපීය ඇඳුමින් සැරසෙන අම්බානි, සාමාන්‍ය අවස්ථාවලදී කලිසම සහ කමිසයෙන් සැරසී සාමාන්‍ය ඉන්දියානු මහත්මයෙක් විදිහට පෙනී ඉන්නවා. 

 

6. කොරෝනා නිසා අම්බානි

කොරෝනා බලපෑම මිනිස්සුන්ට විතරක් නෙමෙයි, විශාල ව්‍යාපාර ජාල වලටත් ආවා. චීනයේ නිෂ්පාදන කර්මාන්ත ශාලා වහන්නට වුනා. ඒ වගේම ඉන්දියාවේ විශාලතම සිල්ලර වෙළඳ ජාලයක් තියෙන රිලයන්ස් ගෲප් එකටත් මේ තත්ත්වය නරකට බලපෑවා. රිලයන්ස්ලගේ විශාලතම ලාභ ලබන අංශය වන තෙල් පිරිපහදු කර්මාන්තයත් ලෝක බොරතෙල් මිල අඩුවීමත් එක්ක අවදානමකට ලක්වෙලා. ඒ එක්ක රිලයන්ස් ජාලය දිනකට ඩොලර් බිලියන දෙකක අලාභයක් වාර්තා කරන බව කියවුනා. ව්‍යාපාර රැසක් තිබෙන නිසා මුකේෂ් ඩී අම්බානිගේ ව්‍යාපාර සියල්ල බිඳ වැටෙන එකක් නැහැ. ඒත් ලෝකේ බිලියනපතියන් සහ ව්‍යාපාරිකයින් අතර ඉක්මනින්ම අම්බානි ඉදිරියට යයි කියන ඉන්දියානුවන්ගේ බලාපොරොත්තුව මේ නිසා  මදක් පසුබාලා තියෙනවා. 

 

7. සරල දිවි පැවැත්ම

මුකේෂ් අම්බානි කුඩා කල දිවි ගෙවූයේ සාමාන්‍ය ලිපිකාර පවුලක් වගේ කාමර දෙකක් තිබුන මුම්බායි නිවසක. අද වෙද්දි මුළු මහත් මුම්බායි හි විතරක් නෙමෙයි, ලෝකයේම මිල වැඩි නිවසක් ඔහුට හිමියි. ඒත් අම්බානි කියන්නේ තදබල ලෙසම අමද්‍යප පුද්ගලයෙක්. ඒ වගේම අම්බානි එළවළු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයෙක්. මස් මාංශ, විස්කි ධනවතුන් අතර මේසවල නිතරම කැරකෙද්දි ආසියාවේ මුල් පෙළේ ධනවතෙක් වන අම්බානි ඒවායෙන් වෙන්වෙලා ඉන්නවා. අම්බානිගේ බිරිය කියන විදිහට අම්බානි කොපමණ කෑම බීම  ආදිය තිබුනත් තාමත් පරණ විදිහට මුම්බායිහි පුරුදු කඩවලින් චපාති, බත්, පරිප්පු ව්‍යාංජන ආදිය කන්න කැමතියිලු. මුකේෂ් අම්බානි හොඳ ව්‍යාපාරික පරිචයක් තියෙන පුද්ගලයෙක් වුනත් ඔහු මහජන ඇමතීම්, මහජනයා අතර ගැවසීම් ආදියේදී යම් ලැජ්ජාශිලී බවක් දක්වනවා.

 

ඉන්දියාව කියන්නේ ලෝකේ වේගෙන් දියුණු වෙන රටක්. එහි ජාතික ආදායමින් 5%කට වග කියන අම්බානිගේ ව්‍යාපාරික ජාලය පිළිබඳව ඉන්දියාවේ රජය පවා සැලකිල්ලෙන් ඉන්නවා. අම්බානිගේ ව්‍යාපාර තවත් ව්‍යාපාරිකයින් රැසකට ශක්තියක් වෙනවා වගේම ඉන්දියාව පුරා ලක්ෂ ගණනක් සේවකයින් අම්බානිගේ ව්‍යාපාර ආශ්‍රිතව සෘජු සහ වක්‍ර රැකියා වල නිරත වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *