ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙන ගන්න යන්නේ පැය විස්සයි! විශ්වාස නැද්ද? දිගටම කියවන්න!!

සාමාන්‍යයෙන් අලුතින් දෙයක් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඔන්න හොයලා බලනවා, අලුතින් දෙයක් ඉගෙන ගන්න කොයි තරම් කාලයක් ගත වෙනවද කියලා. අන්න එතකොට අපිට හැමතැනින්ම දැනගන්න ලැබෙනවා පැය 10,000 ක් වියදම් කළොත් ඕනම දෙයක් ඉගෙන ගෙන ප්‍රවීණත්වය ලබාගන්න පුළුවන් කියලා. පැය 10,000? ඔව්. ඒ කියන්නේ දවසට පැය අටක් ගාණේ ඒකට වෙන් කළත් අවුරුදු තුනහමාරක් එක දිගටම වැඩ කරන්න වෙනවා. හැබැයි අපි රස්සාවක් එහෙම කරන මනුස්සයෙක් නම් අමතර දෙයක් ඉගෙන ගන්න උපරිම දවසකට වෙන් කරන්න පුළුවන් පැය දෙකක් වගේනේ. හැබැයි එහෙම බැලුවොත් අවුරුදු 13.5 කට වැඩි කාලයක් යනවා අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඔය ගණන් හිලව් දැක්ක ගමන් අපි අලුතෙන් දේවල් ඉගෙන ගන්න එක අල්ලලා දානවා. 

හැබැයි එතකොට ජෝෂ් කවුෆ්මන් කියලා හාදයෙක්, බිස්නස් කෝච් කෙනෙක් ඇවිත් කියනවා, පැය විස්සෙන් ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා! ආන්න දෙයක් ඉගෙන ගන්න ආස කෙනෙක්ගේ ධෛර්යය වර්ධනය කරන කතාවක්. පැය විස්සක් කියන්නේ දවසකට පැයක් වැඩ කළත් වැඩ කරන මාසයක් විතරයි. ඕක කාටද බැරි? ඉතින් ඇත්තටම පැය විස්සකින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද? ආන්න ඒ ගැන තමයි අපි කියන්න යන්නේ!

 

1. පැය 10,000 නීතිය

මේ පැය 10,000 කථාව ඇත්තටම බොරුවක් කියලා නෙවෙයි කෞෆ්මන් කියන්නේ. හරියට කියනවා නම් ඕනම දෙයක් ඉගෙන ගන්න නෙවෙයි පැය 10,000 ක් යන්නේ. ඕනම දෙයක් සම්බන්ධයෙන් ඉගෙන ගෙන, ඒ ගැන ලෝක මට්ටමේ ප්‍රවීණයෙක් වෙන්න තමයි පැය 10,000 ක් යන්නේ. ඒ කියන්නේ මේ තියරිය ගෙනාපු කෙනාම කියන විදියට, බීට්ල්ස් සංගීත කණ්ඩායම ගත්තොත්, ඒ අයට ලෝකේ විශිෂ්ටතම සංගීත කණ්ඩායමක් වෙන්න නම් අඩුම තරමින් පැය 10,000 ක් සංගීතය වෙනුවෙන් පුහුණු වීම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ලෝක මට්ටමේ ගණිතඥයෙක් වුනත්, පරිගණක ක්‍රමලේඛ ශිල්පියෙක්ට වුනත් පැය 10,000 ක්, ඒ කියන්නේ අවුරුදු ගණනාවක් වැඩ කරන්න වෙනවා ඒ ලෝක මට්ටමේ ප්‍රවීණත්වයට එන්න.

 

2. පැය 20 නීතිය

එතකොට මොකද්ද පැය 20 තියරිය? මෙහෙමයි. අපිට ඕන කරන්නේ යම් කිසි දේක ලෝක මට්ටමේ ප්‍රවීණයෙක් වෙන්න නම් අවුරුදු ගාණක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන තමයි. හැබැයි මෙතන දේවල් දෙකක් තියෙනවා. එකක්: පැය 10,000 ක් කිව්ව ගමන් ඕනම කෙනෙක් අධෛර්යයට පත් වෙන නිසා ලෝක ප්‍රවීණයෙක් වෙන්න තියා කෙනෙක් දෙයක් අලුතෙන් ඉගෙන ගන්නවත් යොමු වෙන්නේ නෑ. දෙවෙනි එක: අපි ලෝක මට්ටමේ ප්‍රවීණත්වයක් ලඟා කරගන්න අවශ්‍ය දේවල් ගැන විතරක් නෙවෙයි මේ ඉගෙන ගන්න එකෙන් කියන්නේ. කෙනෙක්ට විනෝදාංශයක් විදියට ගිටාර් එක හොඳින් වාදනය කරන්න ඉගෙන ගන්න ඕන වෙන්න පුළුවන්. එතකොට ඒකට පැය 10,000 ක් වියදම් කරන්න කොහෙත්ම වුවමනා නෑ. හොඳින් ගිටාරය වාදනය කරන්න අපි මේ කියන විදියෙන් පැය 20 ක් ඇතුළතදී පුළුවන්. එතන ඉඳන් ඒක තමන් දන්න හැකියාවක් වුනාට පස්සේ, තමන්ගේ පුහුණුවේ හැටියට එයාගේ ප්‍රවීණත්වය වැඩි වෙයි. පැහැදිලියි නේද පැය 20 තියරිය දැන්?

3. මොනවද ඉගෙන ගන්න ඕන?

ආන්න හොඳ ප්‍රශ්නයක්. මොනවද ඇත්තටම අපිට ඉගෙන ගන්න ඕන? හැබැයි හරි ප්‍රශ්නේ ඒක නෙවෙයි. මොනවද අපිට ඉගෙන ගන්න වුවමනා නැත්තේ? ඒ තරමට අපිට ඉගෙන ගන්න පුළුවන්, අනාගතේට ප්‍රයෝජනවත් වෙන, අපි කරන රැකියාවට ප්‍රයෝජනවත් වෙන කුසලතාවයන් අපේ වටේ තියෙනවා. ඒක යම් කිසි භාෂාවක් ඉගෙන ගැනීම වෙන්න පුළුවන්. සංගීත භාණ්ඩයක් වාදනය කිරීම වෙන්න පුළුවන්. සොෆ්ට් පැස්ටල් වලින් චිත්‍ර ඇඳීම වෙන්න පුළුවන්. ක්‍රමලේඛන භාෂාවක් ඉගෙන ගැනීම වෙන්න පුළුවන්. එතකොට කණ්ඩායම් වැඩ කිරීම, ක්‍රිටිකල් තින්කින් වගේ දෙයක් වෙන්නත් පුළුවන්!

 

4. විසං‍යෝජනය කරගමු

මේ විසං‍යෝජනය නැතිනම් deconstruct කියන්නේ, යම් කිසි දෙයක් කුඩා කොටස් වලට කඩා ගන්නවා කියන එක. එතකොට අපි මුලින්ම අපිට ඉගෙන ගන්න ඕන දේ තීරණය කළාට පස්සේ, ඒක පුංචි පුංචි කොටස් වලට කඩා ගන්න එක කරන්න ඕන. ඒ කියන්නේ යම් කිසි කුසලතාවයක් ඉගෙන ගන්න නම් ඒ කුසලතාවයේ උප කුසලතා කොටස් වෙන් කරගෙන ඉගෙන ගන්න එක තමයි ලේසි. උදාහරණයක් ගමු. අපිට ඉගෙන ගන්න ඕන සොෆ්ට් පැස්ටල් චිත්‍ර ඇඳීම. එතකොට අපිට ඒක ඇතුළේදී වර්ණ සං‍යෝජනය ඉගෙන ගන්න වෙනවා. සොෆ්ට් පැස්ටල් ටෙක්නික්ස් ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ සරල රූප පැන්සලෙන් ඇඳීම එහෙමත් ඉගෙන ගන්න වෙනවා. ඔන්න අපි ඒ කුසලතාවය කෑලි වලට විසං‍යෝජනය කරගත්තා.

තවත් උදාහරණයක් ගමු. අපිට හොඳ කතිකයෙක් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන. ඒකේ මොනවද උප කොටස්?බොඩි ලැන්ජ්වේජ් නැතිනම් ශරීරය හසුරුවන්නේ කොහොමද, ඇස් වල සම්බන්ධතාවය තියාගන්නේ කොහොමද, ඇවිදින්නේ කොහොමද, දෑත් හසුරුවන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන. ඉදිරිපත් කිරීමක් කරන්න ස්ලයිඩ්ස් හදන්නේ, ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන. කටහඬ අවශ්‍ය විදියට හසුරුවන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන. කතා කරනකොට භාෂාව යොදාගන්න හොඳම ක්‍රම ඉගෙන ගන්න ඕන. ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කරගන්න යොදාගන්න පුළුවන් ට්‍රික්ස් ඉගෙන ගන්න ඕන. දැන් පැහැදිලියිනේ.

 

5. ස්වයං නිවැරදි කිරීමට අවශ්‍ය තරමට ඉගෙන ගමු

දැන් තියෙන්නේ පටන් ගන්න. ඒක ඔන්ලයින්ම විතරක් වුනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම දෙයක් ගැන ඉගෙන ගන්න දේවල් දැන් කාලේ අන්තර්ජාලයේ තියෙනවා. දැන් තියෙන්නේ අදාළ යම් යම් තියරි ඉගෙන ගැනීම සහ ඒ සමගාමීව පුහුණු වීම. මෙතනදී අපි ඉගෙන ගන්න ඕන, අපිට වැරදෙන තැනක් අපිටම හඳුනාගෙන, අපිටම නිවැරදි කරගන්න පුළුවන් ලෙවල් එකට. ඒ කියන්නේ යම් කිසි දේක තියරි දන්නවා නම්, අපිට වරදින තැන් හඳුනගන්න පුළුවන්.

 

6. පුහුණු බාධක ඉවත් කරමු

මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. පැය 10,000 පැය 20 ට අඩු කළත්, ඒකත් කරන්න බැරි අය ඉන්නවා. සමහරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි පටන් ගැනීම. පටන් ගන්නේ නැතුව මොකක් හරි වෙන වැඩක් කරමින් වටේ යනවා. හැබැයි ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි, දවසකට ඒ වෙනුවෙන් යොදවන කාලය ඇතුළත වෙන කිසිම වැඩක් නොකර පුහුණුව පටන් ගන්න හිත හදාගැනීම. තවත් සමහරු වැඩේ පටන් ගත්තත්, බොහොම ලේසියෙන් අවධානය වෙනතකට යනවා. අන්න ඒ නිසා මේ ප්‍රැක්ටිස් කරන වෙලාව ඇතුළත වෙනත් කිසිම අවධානය වෙනතක යන දෙයක් නොකිරීම වැදගත්. ෆෝන් සයිලන්ට් කරන්න. සෝෂල් මීඩියා පැත්ත පළාතේ නොයන්න. ප්‍රැක්ටිස් කරන්න දාගත්තු වෙලාව තුළ වෙන කිසිම දෙයක් නොකරන්න විනයක් තියාගන්න. වැඩේ පටන් ගන්න කලින් වතුර බොන ඒවා, කෑම කන ඒවා, ටොයිලට් යන ඒවා කරලා ඉවර කරලා එන්න!

ඇත්තටම එක්ස්පර්ට්ලා කියන්නේ අපිට දෙයක් පුහුණු වෙන්න පටන් ගන්න තියෙන ලොකුම බාධකය අපිමයි කියලා. ඒ කියන්නේ අපේ හැඟීම්. අපි කරන්න බයයි. අසාර්ථක වෙයි කියලා බයයි. අන්න ඒ නිසා, හොඳම දේ තමයි උන්නත් දාහයි, මලත් දාහයි කියලා වැඩේ පටන් ගන්න අධිෂ්ඨාන කරගන්න එක!

 

7. අඩු ගාණේ පැය 20 ක් පුහුණු වෙමු

අපිට පැය 10,000ක් බැරි නම් ඒක පැය 20 කට අඩු කරපු එකේ, පැය 20 ක් කැපවෙන්න බැරි කමක් නැහැනේ. හැබැයි එකක්. මේ පැය විස්සක් කියන්නේ අද පැයයි. තව මාසෙකින් මතක් වුනහම ආයෙ පැයයි වගේ පුහුණුවක් ගැන නෙවෙයි. මේ කියන්නේ විනයක් ඇතුව පුහුණු වෙන පැය 20 ක් ගැන. වෙනත් විදියකට කියනවා නම්, පුහුණුවට කාල සටහනක් අවශ්‍යයි. ඒක දවසකට පැයක් හෝ දවසක් ඇර දවසක් පැයක් වෙන්න පුළුවන්. ගොඩක්ම කාර්ය බහුල කෙනෙක් නම් සති අන්තයේ පැය දෙකේ දෙකක් පුහුණුවට වෙන් කරගන්නත් පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි ඒ කාලසටහනට අනුගත වෙන එක. මේකේ උපරිම ප්‍රතිඵල ලැබෙන්නේ නම් දවස් පතා කරන පුහුණුවීමෙන්. අපි කියමු දවසකට විනාඩි 45 ගාණේ මාසයක් කියලා. එතකොට ඒ විනාඩි 45 මේකටම පූර්ණ අවධානය යොමු කරලා පුහුණුවීම සහ ඉගෙනීම කරන්න ඕන.

 

8. ඥාණවන්ත විදියට පුහුණු වෙමු

මෙතනදී ගොඩක් අයට වරදින තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රැක්ටිස් කරන එක අතපහු කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, කම්පියුටර් කෝඩින් ගැන පොත් ටිකක් අරගෙන, “මම පැය විස්සක් ඇතුළත මේ ටික කියෝලා සම්පූර්ණ කළහම මම කෝඩින් ගැන ඉගෙන ගන්නවා” කියලා හිතන එක වැරදි හිතීමක්. එහෙම වෙන්නෙ නෑ. කරන්න ඕන මූලික තියරි ඉගෙන ගෙන, ඉන් පස්සේ පුහුණු වීම පටන් ගන්න එක. වැඩිදුර තියරි පවා ඉගෙන ගන්න ඕන මේ පුහුණුවීම අතරතුරදී. ඇත්තටම අපිට යම් දෙයක් ඉගෙන ගන්න ආසාව ඇතිවෙන්නෙත් දිගින් දිගටම පුහුණු වීම් කරනකොට, සැබෑ ලෝකයට අපි ඉගෙන ගන්න දේ ඇප්ලයි කරන්න පුහුණු වෙනකොට තමයි. එහෙම නැතුව කම්පියුටර් කෝඩින් පොත් ටික කියෝලා ඉවර කරන්න හිතන කෙනා පැය විස්සක් නෙවෙයි, අවුරුදු විස්සක් ගියත් ඕක කරන්නේ නෑ!

අනික් කාරණාව තමයි, මේ පැය විස්ස ගත කරන්න ඕන ඥාණවන්ත විදියට. ඒ කියන්නේ වඩාත්ම කාර්යක්ෂම පුහුණුව තමයි තෝරගන්න ඕන. උදාහරණයක් විදියට, ගිටාර් ඉගෙන ගන්න මනුස්සයා පැය විස්සම අමාරු කෝඩ් හොය හොයා ඉඳලා හරියන්නෙ නෑ.

 

9. දැන් කාලයාගේ ඇවෑමෙන් ප්‍රවීණයෙක් වෙමු

දැන් අපි තෝරගත්තු කුසලතාවය ගිටාර් වාදනය නම්, ඇත්තටම අපිට දැන් පාටියකදී ගිටාර් එක ගහලා සිංදුවක් කියන්න පුළුවන් තරමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ කියන්නේ අපි සංකීර්ණ ගිටාර් කෝඩ් සං‍යෝජන ඔක්කොම දන්නවා කියන එකද? නෑ. අපිට පැය විස්ස ඇතුළතදී ඉගෙන ගන්න පුළුවන් බහුලව භාවිතා වෙන ගිටාර් කෝඩ් විතරයි. දැන් තියෙන්නේ දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න. ඒක අමාරුවක් නෑ. මොකද එකක්,  අපි වැඩේ ඉගෙන ගෙන තියෙන්නේ. දෙක, පැය විස්සක් කරපු පුහුණු වීම් එක්ක අපිට වැඩේ ගැන ආසාවක් ඇතිවෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට දිගින් දිගටම පුහුණු වෙනකොට, වඩාත් ගැඹුරට ඉගෙන ගන්න කොට අපි එක්තරා කාලයක් ගියාට පස්සේ කොන්සට් වල ගිටාර් වාදනය කරන තරමට වුනත් ප්‍රවීණ වෙන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *