මොනවද හැබෑටම ජීවන කුසලතා නැතිනම් ජීවන නිපුණතා කියන්නේ? ඒක ටිකක් පුළුල් විෂයක්. ඉස්කෝල වල එහෙමත් උගන්නනවනේ. කොටින්ම කියනවා නම්, අපිට ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධ අභියෝගයන්ට සහ ගැටළුකාරී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දෙන්න උපකාරී වෙන විවිධ හැකියාවන් සහ කුසලතාවයන්. ඇත්තටම මේ ජීවන කුසලතා අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්. එකක් තමයි, සන්නිවේදනය සහ සමාජ කුසලතා, ගැටළු විසඳීම, චිත්තවේගීය කළමනාකරණය, විවේචනාත්මක චින්තනය, තීරණ ගැනීම, සංවේදනය, ස්ථීරභාවය, නිර්මාණශීලීත්වය, නායකත්වය සහ තවත් ඒ හා සමාන දේවල්. මේ එක්කම තව කොටසක් තියෙනවා. ඒ තමයි ප්‍රායෝගික ජීවිතේදී වුවමනා වෙන දෑතේ හුරුවෙන්, අත්දැකීමෙන් සහ දැනුමෙන් සාර්ථක කරගන්න පුලුවන් වෙන ප්‍රායෝගික ජීවන කුසලතාවයන්. සරලවම කිව්වොත්, ඉවුම් පිහුම් කියන්නේ අන්න ඒ වගේ එකක්.
දැන් ඔය ජීවන කුසලතාවයන් ගැන අපි හදිසියේම කතා කරන්න හිතුවෙ ඇයි? විශේෂයක් නෑ. හැම කෙනෙක්ම මෙව්වා දැනගෙන ඉන්න එක හොඳයි. හැබැයි පහුගිය දවස් වල මේ පිරිමියෙක්ට තියෙන්න ඕන ජීවන කුසලතා ගැන සෝෂල් මීඩියා වල එහෙම ලොකු කතාබහක් පටන් ගත්තනේ. විශේෂයෙන්ම අර අජිත් පෙරේරා ඕනම පිරිමියෙක්ට තියෙන්න ඕන දෙයක් කියලා ටූල්ස් පුරෝලා තියෙන වර්ක්ෂොප් රූම් එකක ෆොටෝ එකක් දැම්මට පස්සේ. ඒ නිසා අපි හිතුවා, ඕනම පිරිමියෙක්ට තියෙන්න ඕන ජීවන කුසලතාවයන් කිහිපයක් ගැන කතා කරන්න. හැබැයි අපි මෙතන පිරිමි ගැන විතරක් කතා කරන නිසා, ඇයි ගෑණුන්ට මෙව්වා අදාළ නැද්ද කියලා අහන්න එපා. ඒ ගැන අන්තිමට කතා කරනවා.
01. ඉවුම් පිහුම්
මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනැද? ඇත්තටම ගොඩක් පිරිමින්ට ඉවුම් පිහුම් බැහැ. ඉවුම් පිහුම් පුළුවන් කියලා සමහරු කියන්නේ ඔය ක්ෂණික කෝපි කුඩු එකක් දාලා කෝපි එකක් හදාගන්නවට තමයි. ඒක ඉවුම් පිහුම් නෙවෙයිනේ. ගොඩක් වෙලාවට පිරිමින්ට ඉවුම් පිහුම් බැරි වෙලා තියෙන්නේ, ඒවා ගෑණුන්ගේ වැඩ කියලා හිතන නිසා. ඇත්තටම එහෙම නෑ. ඉවුම් පිහුම් කියන්නේ කලාවක්. ඒ වගේම හදිසියකට වැදගත් වෙන කුසලතාවයක්. අන්න ඒ නිසා, පිරිමියෙක් ඉවුම් පිහුම් දැනගෙන ඉන්න එක වටිනවා. හැබැයි ඒ කියන්නේ නිකම් පාන් පෙති දෙකක් මැද්දට මොනවහරි දාලා සැන්ඩ්විච් එකක් හදාගන්න නෙවෙයි. ඊට වඩා කෑම බීම ටිකක් හදන්න පුලුවන් වෙන්න ඕන. ඒ කෑම බීම රහට හදන්න පුලුවන් නම් වටිනාකම තවත් වැඩියි. ඒකට ඉතින් ප්‍රැක්ටිස් එක ඕන.
02. පයිප්ප වැඩ
ඇයි පිරිමියෙක්ට පයිප්ප වැඩ පුලුවන් වෙන්න ඕන? දැන් අපි වර්තමානයේ ගෙවල් වල ජලාපවාහන කටයුතු කරගෙන තියෙන්නේ පයිප්ප, බට සහ ෆිටින්ග්ස් හරහානේ. ඉතින් ඔව්වා ආයෙ සදාකාලික නැහැනේ. විශේෂයෙන්ම දැන් කාලේ එන පයිප්ප සහ ෆිටින්ග්ස් එහෙම ඕනෑම මොහොතක කැඩෙන්න පුලුවන්. හරි, ඒ වගේ වැඩ වලට පයිප්ප බාසුන්නැහේලා ඉන්නවා තමයි. ඒත් හදිසියකදී පයිප්පයක් කැඩිලා වතුර දෝරේ ගලනකොට පයිප්ප බාසුන්නැහේලා හොය හොයා ඉඳලා හරියනවද? නෑනේ. එහෙම වෙලාවක පොඩි අළුත්වැඩියාවක් දාගන්න හරි වැඩේ දැනගෙන ඉන්න ඕන. ගෙදර මෝටරේ වැඩ කරන්නෙ නැතුව ගියහම ගේම වතුරෙන් පිරෙන්න දෙන්නෙ නැතුව ගාණට මේන් එක වහලා, මෝටරේ ගලවන්න පවා යම් කිසි දැනුමක් තියෙන්න ඕන. ඒ වගේ දේකට පාවිච්චි කරන්න ඕන ආම්පන්න ගැනත් අදහසක් තියෙන්න ඕන. ඇත්තටම මේ පයිප්ප වැඩ වගේ දේවල් මහ දේවල් නෙවෙයි. කරනවා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න පුලුවන්.
03. ඉලෙක්ට්‍රික් වැඩ
ඉලෙක්ට්‍රික් වැඩ ගත්තත් උඩ කතන්දරේම තමයි. ගෙදරක ඕනෑම වෙලාවක හදිසි ඉලෙක්ට්‍රික් වැඩක් පත්තු වෙන්න පුලුවන්. ඒ කියන්නේ මේ බල්බ් එකක් මාරු කරනවා වගේ වැඩක් නෙවෙයි. ඊට වඩා ප්ලග් බේස් එකක් හයි කරන්න, ප්ලග් ටොප් එකක් මාරු කරන්න, ෂෝර්ට් සර්කිට් එකක් හදන්න, වෙසක් එකට නත්තලට බල්බ් වැල් සෙට් එකක් දාන්න වගේ බල්බ් එකක් මාරු කරන එකට වඩා ඇඩ්වාන්ස්, ඒත් තනියෙන් කරන්න පුලුවන් ඉලෙක්ට්‍රික් වැඩ ගෙදරක ඕන තරම් සෙට් වෙනවා. සමහර වෙලාවට ඔය සුළු සුළු වයරින් වැඩ පවා මතුවෙනවා. ඉතින් ඔව්වා ඇත්තටම අමාරු කාරණා නෙවෙයි. අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රික් වැඩ ගැන දැනුමක් තිබීමයි, හොඳ පරිස්සමක් තිබීමයි තමයි. උදාහරණයක් විදියට, ලයිව් එකයි අර්ත් එකයි නියුට්‍රල් එකයි නොදැන ප්ලග් ටොප් එකකට වයර් අමුණන්නවත් බැහැනේ!
04. ගෘහ අලංකරණය
සාමාන්‍යයෙන් ගෘහ අලංකරණය කියන්නේ නිකම් ආවාට ගියාට කරන්න පුලුවන් වැඩක් නෙවෙයිනේ. ඒක ඉගෙනගෙන කරන්න ඕන වැඩක්. ගෘහ අලංකරණය කියන්නෙත් ඔය ආකිටෙක්චර් වගේම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක්ට කියලා ගෙයක අභ්‍යන්තර ගෘහ අලංකරණය කරගන්නවා කියන්නේ ඉතින් හොඳ ගෙවීමකුත් කරන්න අවශ්‍ය වෙන වැඩක්. හැබැයි ඉතින් එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ සම්පූර්ණයෙන්ම අලුතෙන් හදපු ගෙයක ඇතුළත හරි පිටත හරි ස්ටයිල් කරගන්නකොටනේ. හැබැයි ගෙදර සාලේ තියන්න පුටු සෙට් එකක් ගන්නකොට දුවලා ගිහින් ගෘහ අලංකරණ ශිල්පියෙක්ව එක්කගෙන එන්න ඕන නෑ. ගෙදර අනික් බඩු වලට, ගෙදර තීම් එකට, ස්ටයිල් එකට හරියන්න පුටු සෙට් එකක් ගන්න එක තමන්ට කරගන්න පුලුවන් දෙයක්. හැබැයි පුතෝ එකක් තියෙනවා. මේ කාරණාව බලාගෙන ඉඳලා ඉගෙනගෙන කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේකට ඊට වඩා ටේස්ට් එකක් සහ සෙන්ස් එකක් අවශ්‍ය වෙනවා.
05. මෝටර් කාර්මික වැඩ
අපි ආටිකල් එකේ අන්තිම හරියේ කියලා තියෙනවා රියැදුරු පුහුණුව කෙනෙක්ට තියෙන එකේ වැදගත්කම. හැබැයි වාහනයක් එළවන්න විතරක් පුරුදු වුණාට මදි. පොඩ්ඩක් ඒකේ යාන්ත්‍රික පැත්ත ගැනත් ඉගෙන කියා ගන්න ඕන. ඒක වැදගත් වෙන හේතුව මේකයි. දැන් අපි කියමු අපි මෝටර් බයිසිකලයක් එළවනවා. එතකොට ඔන්න බයික් එක දවසක් ඔටෝ ස්ටාට් එක වැඩ කරන්නෙ නැතුව යනවා. එතකොට මොකද කරන්නේ? කික්ස්ටාට් කරලා ස්ටාට් කරගෙන හරි, එහෙම බැරි වුණොත් තල්ලු කරගෙන ගරාජ් එකට යන්න පුලුවන්. මිකැනික් කෙනෙක්ව එක්කගෙන එන්න පුලුවන්. හැබැයි ඉතින් එතන වෙලා තියෙන්නේ බැටරියේ වයර් එක බුරුල් වීම වගේ දෙයක් වෙන්න පුලුවන්. එතකොට ඒක හදාගන්න අපිටම බැරිද? එතකොට කාර් එකක එදිනෙදා අවශ්‍ය පොඩි පොඩි නඩත්තු කටයුතු කරන එක වගේ දේවලුත් අපිටම කරගන්න බැරිද? ඇත්තටම පුලුවන්.
ඒ ඇරෙන්න ඉතින් ඩ්‍රයිවින් කරනවා නම් ඕනම කෙනෙක් දැනගෙන සිටිය යුතුම ට්‍රබල්ෂූටින් වැඩ ටිකක් තියෙනවා. උදාහරණයක් විදියට, මඟකදී බයික් එකේ ක්ලච් කේබල් එක කඩලා ගියොත්, අමතර ක්ලච් කේබල් එකකුත් අපි ගාව තියෙනවා නම්, කරදරයක් නැතුව අපිටම ඒක දාගන්න පුලුවන් ක්‍රමේ දන්නවා නම්. කාර් එකේ ටයර් එකක පැච් එකක් ගියොත්, ජැක් එක ගහලා ටයර් එක ගලෝලා අමතර ටයර් එක හයි කරගන්න පුලුවන් වෙන්න ඕන. ඕවත් ඉතින් බලාගෙන ඉඳලම ඉගෙන ගන්න පුලුවන්. එහෙම නැතිනම් යූටියුබ් එකෙන් බලලත් දැන් කාලේ ඕවා ඉගෙන ගන්න පුලුවන්.
06. ගෙවතු වැඩ
ගෙවතු වැඩ කියන්නේ මොනවද? සරලවම කියනවා නං, හරි පසක් අඳුනගෙන, ඒක මුල්ලුවෙන් බුරුල් කරලා, හාරලා, පැළයක් හිටෝලා, පැළේට කෙළ වෙන්නෙ නැති විදියට පෝර පස් අනං මනං හරි විදියට දාලා, ඊට පස්සේ ඒකට සාත්‍තු සප්පායම් කරලා ලොකු මහත් කරන එකත් ගෙවතු වැඩ. ඔය පාත්තියක් දෙකක් හදාගෙන නඩත්තු කරන එකත් ගෙවතු වැඩ. පොල් පැළයක් එහෙම හිටෝගන්න එක සහ නඩත්තු කරන එකත් ගෙවතු වැඩ. ගාණට මල් පාත්ති ටිකක් හදාගෙන ලස්සනට කරගෙන යන එකත් ගෙවතු වැඩ. ඒ විතරක් නෙවෙයි, කොම්පෝස්ට් වළක් හදලා කොම්පෝස්ට් පොහොර හදාගන්න එකත් ගෙවතු වැඩ වලටම අයිති දෙයක්. එතකොට වත්ත පිටිය උදළු ගාලා, ගස් මට්ටමට කපලා, වල් පැළ උදුරලා ලස්සනට වත්ත මේන්ටේන් කරන එකත් ගෙවතු වැඩම තමයි. ඉතින් ඕවා කරන්න අමුතුවෙන් ඉගෙන ගන්න ඕනෙද? ඇත්තටම වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරන්න එහෙම නම් අමුතු දැනුමක් ඕන නෑ. හැබැයි අනික් ඒවලට දැනුම අවශ්‍යයි. ගස් වර්ග වෙන් කරලා අඳුනගන්න, පැළයක් හිටවන හරි විදිය ඉගෙන ගන්න වගේ හැමදෙයක්ම කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඔය දැනුම සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් එකේ සිංහලෙන්ම හොයලා ලබාගන්නත් ඇහැකි.
07. මෙවලම් නඩත්තුව
දැන් අර අජිත් මහත්තයත් කිව්වනේ ගෙදරදොරේ වැඩ වලට, අත් හුරු වැඩ වලට එහෙම අවශ්‍ය මෙවලම් කාමරයක් තියෙන එක හොඳයි කියලා. ඉතින් අපි අන්තිමටත් කියලා තියෙන විදියට, එහෙම ටූල්ස් සෙට් එකක් තියෙන එක නරක නෑ. සමහරු ආසයි එහෙම ලස්සනට එල්ලලා, පිළිවෙලට ටූල්ස් සෙට් එකක් තියාගෙන ඉන්න. ඒකත් හොඳයි. විශේෂයෙන්ම ඔය උඩ කියලා තියෙන කුසලතාවයන්ගෙන් වැඩ ගන්න නම්, ඒ හැම එකකටම අවශ්‍ය වෙන ටූල්ස් එහෙම ගෙදර තියෙන එක වටිනවා. නැත්තං අල්ලපු ගෙදරින් ඉල්ලගෙන එන්නනේ වෙන්නේ. හැබැයි මෙතන තව කාරණයක් තියෙනවා. ඔය මෙවලම් පාවිච්චි කරලා කරන්න පුලුවන් වැඩ ගැන දැනගෙන ඉන්නවා වගේම, ඒ මෙවලම් අදාළ වෙන කුසලතාවයන් දැනගෙන ඉන්නවා වගේම, ඔය වැඩ ගත්තු මෙවලම් නඩත්තුව ගැනත් දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ඔය හැම මෙවලමකටම සලකන්න ඕන එක විදියට නෙවෙයි. සමහර මෙවලම් පිසදාලා අරන් තියන්න ඕන. තවත් සමහර මෙවලම් හෝදලා අරන් තියන්න ඕන. තවත් ඒවා ගලවලා අරන් තියන්න ඕන. තවත් ඒවල පාවිච්චි කරපු කපන කටු, තල එහෙම ගලවලා අරන් තියන්න ඕන. එහෙම හරි විදියට පවත්වා ගත්තේ නැතිනම්, ඔය මෙවලම් ඉතාම ඉක්මනට නාස්ති වෙලා යන්න, විනාස වෙලා යන්න ඉඩ වැඩියි. ඔන්න ඔය වගේ ඔය හැම මෙවලමක්ම හරි විදියට පාවිච්චි කිරීම වගේම හරි විදියට නඩත්තු කිරීමත් දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්.
08. මැහුම් වැඩ
ඇයි පිරිමියෙක් මැහුම් ගෙතුම් වැඩ දැනගෙන ඉන්න ඕන? ඇත්තටම ගෙතුම් සහ ඔය ලස්සන මැහුම් වැඩ වලට ආස පිරිමියෙක් ඇරෙන්න වෙන කෙනෙක් ඒවා ගැන දැනගෙන ඉන්න ඕන නැහැ. හැබැයි ඕනෑම පිරිමියෙක්ට පුලුවන් වෙන්න ඕන හදිසියකට ඉරුණු ඇඳුමක් මහගන්න. එතකොට බොත්තමක් අල්ල ගන්න වගේ දේකට. අයියෝ ඒක මාර ලේසි වැඩක් කියලද හිතන්නේ? ලේසියි හරියට කරන විදිය ඉගෙන ගත්තට පස්සේ. අන්න ඒ නිසා, ඉඳිකටුවට නූල දාන එකේ ඉඳලා, ප්‍රායෝගිකව මැහුම් වැඩ කරනකොට දැනගෙන ඉන්න ඕන ට්‍රික්ස් දක්වා දේවල් ඉගෙන ගන්න එක වැදගත්.
09. රියදුරු පුහුණුව
ඇත්තටම රියැදුරු පුහුණුව අත්‍යවශ්‍ය කුසලතාවයක් ද? අත්‍යවශ්‍යයි කියන්න බැහැ. කොහේ හරි යන්න ඕනෑ වුණොත් දැන් සාමාන්‍යයෙන් නගරබද ප්‍රදේශයක නම් කැබ් එකක් වුණත්, ත්‍රීවිල් එකක් වුණත් හයර් එකට හොයාගන්න පුලුවන්. එහෙම නේද හිතුවේ? හැබැයි ඇත්තටම පිරිමියෙක්ට රියැදුරු පුහුණුවක් තියෙන එක වැදගත් කියලත් කියන්න පුලුවන්. නිදසුනක් විදියට ගත්තොත්, තමන්ට වාහනයක් එළවගෙන යන්න සිද්ධ වෙන හදිසි අවස්ථාවකට මුහුණ පාන්න වෙන්න පුලුවන්. සමහර වෙලාවට රැකියාවකට රියැදුරු පුහුණුව තියෙන එක අමතර වාසියක්, නැතිනම් සුදුසුකමක් වෙන්න පුලුවන්. එතකොට වෙන රටකදී එහෙම රියැදුරු පුහුණුව තියෙන එක අවශ්‍යතාවයක් වෙන්න පුලුවන්. ඒ මොනදේ නැතත්, රියැදුරු පුහුණුවක් නැති නම්, වාහනයක් ධාවනය කරගෙන නිස්කලංක පාරක යන එකේ තියෙන ආතල් එක මිස් වෙන්නත් පුලුවන්.
දැන් පැහැදිලියිනේ. ටූල් පුරෝපු රූම් එකක් හරි වර්ක්ෂොප් එකක් හරි තිබ්බා කියලා පිරිමියෙක් ජීවන කුසලතාවයන්ගෙන් පොහොසත් වෙන්නෙ නෑ. ඒ ටූල්ස් හරි විදියට පාවිච්චි කරන්නත් ඉගෙන ගන්න ඕන. අනික, ඒ වගේ ටූල්ස් තියෙන වර්ක්ෂොප් එකක් ගෙදර හදාගන්න එක කෙනෙක්ගේ ආසාවක්, ආතල් එකක් කියලා ගන්න පුලුවන්. ඉතින් ඒකේ කිසිම වැරැද්දකුත් නෑ. හැබැයි පිරිමියෙක් උඩ කියපු ලයිෆ් ස්කිල්ස් සහ තවත් වැදගත් ස්කිල්ස් ප්‍රගුණ කරලා නම් ඉන්නේ, හදිසියකදී වෙනත් කෙනෙක් මත යැපෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ගෙදර දොරේ වැඩක් වෙනත් කෙනෙක්ට පැවරුවත්, ඒ කෙනාට අපිව රවට්ටන්න ලැබෙන්නෙත් නෑ. මොකද අපිත් වැඩේ දන්නවනේ!
එතකොට පිරිමි විතරද මේ කියපු ජීවන කුසලතා දැනගෙන ඉන්න ඕන? අපොයි නෑ. අපි මෙතන පිරිමි කියලා විශේෂයෙන්ම ගත්තට, ගැහැණු වුණත් හදිසියකට මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා. එතකොට කවදාවත්, කා මතවත් යැපෙන්න ඕන වෙන්නෙ නෑ.
Leave a Reply