කොල්ලො අකමැතිම කරදරකාරී පෙම්වතියකගේ ගති ලක්ෂණ

ඔන්න මේ කතා කරන්න යන්නෙත් ආදර හුටපට වලට සම්බන්ධ දෙයක් ගැනයි. කලින් දවසක අපි කතා කළානෙ ඕනම තරුණයෙක් කැමති විදිහේ සුපිරි පෙම්වතියක් වෙන්නෙ කොහොමද කියන එක ගැන. මොකද ආදර සම්බන්ධතාවයක් පටන් ගත්ත වගේ නෙමෙයි, ඒක දිගටම පවත්වාගෙන යන්නනම් ආදරේ විතරක්ම තිබුණට මදි. එකිනෙකාගේ සිතුම් පැතුම් අඳුරගෙන ඒවට අනුගත වෙලා වැඩ කරන්න ඕනනේ. ඉතින් එහෙම කරන්නනම් පිරිමි ළමයින් කැමති දේවල් ගැන දැනගන්නවා වගේම එයාල අකමැති දේවල් ගැනත් දැනගන්න ඕන. ඔන්න ඒක නිසාම අද අපි කතා කරන්නෙ පිරිමි ළමයි අකමැති දේවල් ගැනයි. ඒ කිව්වේ කොල්ලො තමන්ගෙ පෙම්වතියගෙන් කීයටවත් දකින්න කැමති නැති කරදරකාරී ගතිගුණ මොනවද කියන එක ගැනයි. ඔන්න කෙල්ලනේ ඔයාල මෙන්න මේ දේවල් කරනවනම් වහාම ඒ පුරුදු අතහැර ගන්න වෙයි.

 

 

1. දෙන්නගේ ප්‍රශ්න හැමෝටම කියන එක

 

කොයිතරම් ශක්තිමත් ආදර සම්බන්ධතාවයක් උනත් ඒ ඕනම සම්බන්ධතාවයක ඉඳල හිටල ඇතිවෙන පොඩි පොඩි ගැටුම්, මතභේද තියෙන්න පුළුවන්නෙ. ඉතින් මෙහෙම ගැටළු ඇතිවුණහම සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයනම් කරන්නෙ තරහවෙලා තනිකරම නිශ්ශබ්ද වෙන එක. හැබැයි හැමෝම නැතත් හුඟක් ගැහැණු ළමයි මෙහෙම ගැටළුවක් ඇතිවුණහම පුදුම විදිහට කලබල වෙනවා. කලබල උනාටනම් කමක් නැහැයි කියමුකෝ. හැබැයි එයාල කරන්නෙ කලබල වෙලා මේ ගැන තමන්ගේ හොඳම යාළුවො එක්ක කියනව, ෆේස්බුක් එකේ දුක ඇඟවෙන පොස්ට් දානව. ඔන්න ඉතින් හැමෝම දැනගන්නව දෙන්න අතරෙ මොකක් නමුත් ප්‍රශ්න තියෙන බව. මෙන්න මේ වැඩේට පිරිමි ළමයි කොහොමත්ම කැමති නැහැ. එයාලා හැම වෙලාවෙම බලන්නෙ නිශ්ශබ්ද වෙලා කාලයට ඉඩ දීලා ප්‍රශ්නේ විසඳගන්න. ඉතින් ඔයත් අර කියපු විදිහට ප්‍රශ්නෙ වටේටම කියන පෙම්වතියක්නම් ඒකෙන් වෙන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් තවත් තරහ අරන් ප්‍රශ්නෙ දෙගුණ තෙගුණ වෙන එක. 

 

 

2. නිදහස ඇහිරීම

 

ගැහැණු ළමයි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන රටාවත් පිරිමි ළමයින්ගෙ රටාවත් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. විශේෂයෙන්ම ලංකාව වගේ ආසියාතික රටක. ගැහැණු ළමයි ගෙවල් ඇතුලේ කරන ක්‍රියාකාරකම් වලට සීමාවෙලා හැදෙද්දී හුඟක් පිරිමි ළමයි යාළුවො එක්ක ගෙදරින් පිටට ගිහින් එක එක අත්දැකීම් ගන්න පෙළඹෙනවා. මේක හුඟක්ම දෙමව්පියන් හිතන පතන විදිහත් එක්ක වෙන දෙයක්. මේ විදිහේ හරි වැරැද්ද නෙමෙයි මේ කියන්නේ. කොහොම වෙතත් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ මේ විදිහටනේ. ඉතින් එහෙම තමන්ට නිදහසේ බාධාවක් නැතුව එළියේ ඇවිදින්න යන්න බැහැ කියලා බෝයි ෆ්‍රෙන්ඩ්ටත් යන්න එපා, අර දේ කරන්න එපා, මේ දේ කරන්න එපා කියනවනම් එකත් නරක පුරුද්දක්. මොකද ඔයාට තියෙන ආදරේ නිසා ඔයා කියන දේවල් කරන්න ඕන කියන එකයි එයා විඳලා පුරුදු ජීවිතේ නිදහස නැතිවෙනවා කියන එකයි දෙකම කොල්ලෝ අමතර ප්‍රශ්න විදිහට හිතන්න පුළුවන්.

 

 

3. ඔහුව වෙනස් කරන්න තියෙන උවමනාව

 

මෙන්න මේකත් ගැහැණු ළමයි ගොඩක් කරන වැරැද්දක්. තමන්ට ආදරේ කරන පිරිමි ළමයව තමන්ට ඕන විදිහට වෙනස් කරන්න හදන එක කෙල්ලො ගොඩ දෙනෙක් කරන්න උත්සහ කරන දෙයක්. ඒත් වෙන්න ඕනෙනම් ඒක නෙමෙයි. දෙන්නම දෙන්නවම තේරුම් අරගෙන දෙන්නගෙම ආසාවල් වලට ගරු කරල ඒවට බාධාවක් නොවෙන්න තමන්ගේ විදිහට ජීවත් වෙන එකයි වෙන්න ඕන. එහෙම නැතුව එක්කෙනෙකුට ඕන විදිහට අනික් කෙනා වෙනස් උනත් පස්සෙ කාලෙක ආයෙමත් අර මඟහැරුණු උවමනාවන් මතුවෙලා ගැටළු ඇතිවෙන්න පුළුවන්. 

 

 

4. හැමෝම එක්ක වැඩි කොමලේ  

 

එක කොලුවෙක් එක්ක යාලුවුනා, ආදරේ කළා කියලා සමාජයේ කිසිම පිරිමියෙක්, අඩුගානෙ ගැහැණු කෙනෙක්වත් ආශ්‍රය නොකර ඉන්න ඕන කියන බමුණු මතවාදනම් අද කාලෙට වැඩක්ම නැහැ. සමාජය එක්ක ගැටෙනකොට තමන්ගේ පෞද්ගලික ජීවිතේ පැත්තකින් තියල ඒ ඒ තැනට අවශ්‍ය විදිහට හැසිරෙන්න ඕන. මිනිස්සු ආශ්‍රය කරල බාහිර සම්බන්ධතා ගොඩනගාගෙන හැමෝම එක්ක හොඳින් ඉන්නයි ඕන. වාසනාවට අද කාලෙ කොල්ලො ඒ කාලෙ වගේ එහෙම අනවශ්‍ය මත දරන්නෙ නැහැ. හැබැයි ඉතින් මොළෙන් තේරුම් අරන් අවශ්‍ය කාරණා වලදී සමාජයේ හැමෝම එක්ක හොඳින් හැසිරෙනවා කියන එකයි ඕන එකටයි එපා එකටයි හැම කොල්ලම එක්ක හුරතල් වෙන්න යනව කියන එකයි කාරණා දෙකක්. අන්න ඒකටනම් කොල්ලො පොඩ්ඩක්වත් කැමති නැහැ. එදිනෙදා ජීවිතේදි පිටස්තර පිරිමි එක්ක කතාබහ කරලා වැඩපල කරගන්න වෙන වෙලාවට කෙලින් කතා කරලා අවශ්‍ය දේ කරගන්නව මිසක් හුරතල් වෙලා, ඇඹරිලා අදහස් ප්‍රකාශ කරන්නනම් පුරුදු වෙන්න එපා.

 

 

5. එයාගෙ ආසාවල් හඳුනා නොගැනීම

 

ගෙවල් දෙකක, සමාජ තත්ත්වයන් දෙකක ලොකු මහත් වෙච්ච දෙන්නෙක් කියන්නේ ඉතින් වෙනස් ආශාවල් තියෙන දෙන්නෙක් නෙ හුඟක් වෙලාවට. ඒ නිසා හැම වෙලාවේම ඔයාට ආස දේවල්ම කරන්න, ඔයාට ආස දේවල්ම එයාට තෑගි කරන්න හිතන්න එපා. ටික කාලයක් ආශ්‍රය කරනකොට එයා කැමති දේවලුත් මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. 

 

 

6. අනවශ්‍ය ලැජ්ජාව

 

ගැහැණු ළමයෙක් වුණහම හැමවෙලාවෙම හැම වැඩකටම පැනගෙන යන්නෙ නැතුව ටිකක් ලජ්ජාශීලී ගති ලක්ෂණ පෙන්වන්නත් ඕන. ඒ කිව්වේ ටිකක් ගැහැණුකම පේන්න පැත්තකට වෙලා ඉන්නත් ඕන. හැබැයි ඉතින් ඕන එකටයි එපා එකටයි හැම එකටම හැංගි හැංගි ඇඹරෙන එකනම් නෙමෙයි මේ ලැජ්ජාශීලි වෙනවා කියන්නෙ. විශේෂයෙන්ම තමන්ගේ පෙම්වතා ඉදිරියේදි. කෙල්ලෝ විදිහට ගැහැණු ගති මතුවෙන්න ඉන්නවට කොල්ලො කැමති උනාට හැම එකටම ඇඹරෙන කෙල්ලොන්ටනම් කොල්ලො ආස නැහැ. 

 

 

7. අධික ස්වාධීනබව

 

මීට කලින් අපි වෙනම ලිපියකිනුත් කතා කළා ගැහැණු ළමයෙක් ස්වාධීන වෙන්න ඕන ඇයි කියන කාරණාව ගැන. අද කාලෙ තරඟකාරී සමාජයත් එක්ක ඒක ඒ තරම්ම වැදගත්. හැබැයි ජීවිතේ හැමදේකදිම තමන්ගේ සහකාරයාගේ කිසිම උදව්වක් තමන්ට අවශ්‍ය නැති ගාණට ස්වාධීන වුණහමත් ටිකක් අවුල්. ඔයාට තනියම කරගන්න පුළුවන්මයි කියල ලොකු විශ්වාසයක් තියෙන සමහර වැඩ උනත් බෝයි ෆ්‍රෙන්ඩ්ගෙන් පොඩි උදව්වක් අරගෙන එයාව ඔයාට ඕන බව ටිකක් දැනෙන්න අරින්න. එහෙම නැත්තම් ඔයාගේ ජීවිතේ එයාට වැදගත් තැනක් නැහැයි කියන සිතිවිල්ල එයාට ඇතිවෙන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *