කොරෝනාවෙන් තොර ලෝකයකට යන ගමනට වැදගත් කාරණා

අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ කොරෝනා කියන්නෙ අපේ ජීවිත කණපිට හරවපු සාධකයක්. 2021 මාර්තු මාසෙ ඉඳල අපිට බලපෑම් කරපු කොරෝනා ලෝකයේ අනික් හුඟක් රටවලට ඊටත් කලින්, 2019 නොවැම්බර් මාසෙ ඉඳල වගේ කරදර කරන්න පටන් අරගෙන තිබුණා. කොහොමවුණත් මේ ඉතාම දීර්ඝ, දුෂ්කර අවුරුදු කිහිපයකට පස්සෙ කොරෝනා අපෙන් ඈත් වෙනවා, එහෙමත් නැත්තම් අපි කොරෝනා එක්කම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් තැනකට එනවා කියන බලාපොරොත්තුවේ රිදී රේඛාව අපිට දැන් දැන් දකින්න ලැබෙමින් තියෙනවා. ඒකත් එක්ක හිතේ ලොකු සතුටක් ඇතිවුණත් ඇත්තටම අපිට ආපහු ඒ කියන්නෙ 2021 වසර ආරම්භ වෙන්න කලින් අපි ගතකරපු සුන්දර ලෝකයට යන්න පුළුවන්ද කියන එකත් ගැටළුවක්. මොකද අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකයේ හැම රටකම හැමෝම මානසිකව, ආර්ථිකව වගේම ශාරීරිකවත් හානියට පත්වෙලා. ඉතින් ඒ නිසා අපි හිතුවා කොරෝනා ඉවරයි කියලා සාමාන්‍ය ජන ජීවිතයට යන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් කතා කරන්න.

 

01. මානසික සෞඛ්‍ය

කොරෝනා කියන්නෙ ප්‍රධානවම ශරීරයේ, ඒ කියන්නෙ පෙනහළු ආශ්‍රිතව ඇතිවෙන රෝගයක් වුණාට ඇත්තටම කොවිඩ් හැදුන නොහැදුන හැමෝටම ඊට වඩා ලොකු මානසික බලපෑමක් කරන්න මේ රෝගය සමත්වුණා. තමන්ගේ එදිනෙදා ජීවන රටාවන් වල සිදුවුණ වෙනස්කම් වගේම රෝගයට තියෙන බය, ආර්ථික පසුබෑම වගේ හුඟක් කාරණා  නිසා අපි හැමෝම ජීවත්වුණේ ලොකු මානසික පීඩනයකින්. ඉතින් කොවිඩ් ඉවරවුණා හෝ සාමන්‍යකරණය වුණාට මේ මානසික ගැටළු එහෙම එකපාරටම හොඳ වෙන්නේ නැහැ. අපේ හිත අපි ටිකෙන් ටික සුවපත් කරගන්න අවශ්‍යයි. 

මනෝවෛද්‍ය සහය හෝ උපදේශන සහය ලබාගන්න කැමති ඒ වගේම එහෙම අවශ්‍යයි කියල හිතන අයට ඒ සහයෝගය ලබාගන්න පුළුවන්. එහෙම නැති ගෙවල් වල ඉන්න අනිත් හැමදෙනාමත් තමන්ට ගැලපෙන ව්‍යායාම, සංගීතය, භාවනා වගේ ක්‍රම මඟින් මානසික සුවය ඉහල නංවාගන්න උත්සාහ කලොත් තමයි හොඳ.

 

02. හොඳ සෞඛ්‍ය පුරුදු

කොවිඩ් එක්ක අපි හුරු පුරුදු වුණු ඉතාම හොඳ සෞඛ්‍ය පුරුදු කිහිපයක්ම තියෙනවා. ඒ මාස්ක් පැළඳීම, නිතර සැනිටයිසර් භාවිතය සහ අත් සේදීම වගේ දේවල්. ඒවා දිගටම ක්‍රියාත්මක කරන්න කොරෝනා නැතිවීම ගැටළුවක් නෙමෙයි. වෙනත් ස්වසන පද්ධතිය සම්බන්ධ ගැටළු නැතිනම් මාස්ක් භාවිතයෙන් හුඟක් නරක වෛරස සහ දූෂිත වායු වලින් පෙනහළු ආරක්ෂා කරගන්න පුළුවන්. 

 

03. ආර්ථික පසුබෑම

ඔක්කෝටම එහා අපිට දැන් දැනෙන්න පටන් අරන් තියෙන ලොකුම ගැටලුව තමයි කොරෝනා නිසා අපිට ඇතිවුණ විශාල ආර්ථික පසුබෑම. දිගින් දිගටම රට වහන්න සිදුවුණ නිසා හුඟක් ව්‍යාපාර කඩන් වැටිලා. සංචාරක කර්මාන්තය ආශ්‍රිත හුඟක් රැකියා නැත්තටම නැතිවෙලා. හැමෝම ගෙවන්නේ ආර්ථික අපහසු කාලයක්. ඒ ඔක්කොටමත් ඉහලින් රටේ උද්ධමනයත් ඉහලම අගයක. ඒ නිසා ආර්ථිකය ගොඩනගාගන්න, වියදම් අඩුකරගන්න එක ගැන ලොකුවටම හිතන්න වෙන කාලයක් මේක. කොරෝනා නැතිවුණාට පරණ සැප ජීවිතේට එකපාරටම යන්න අමාරුවෙයි අපි කාටත්.

 

04. කොවිඩ් සහ එන්නත් අතුරු ආබාධ

කොවිඩ් වැළඳුනු හුඟක් දෙනෙක් කියන කාරණයක් තමයි රෝගය වැළඳුනාට පස්සෙ ඇඟට කලින් තිබුණ ෆිට් එක නැති බව. ඇඟපත අමාරු, හුස්ම ගැනීමේ අපහසුතා. අධික වෙහෙස වගේම ක්ලාන්තය, රුධිර පීඩන ගැටළු පවා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම රෝගය වැලඳුනේ නැතත් එන්නත් ලබාගත්ත අය අතරිනුත් විවිධ පැමිණිලි අහන්න ලැබෙනවා. එන්නත හා සම්බන්ධ අතුරු ආබාධ කිසිවක් විද්‍යාත්මකව තහවුරු කරලා නැතිවුණත් මේ එන පැමිණිලි නිසා කෝකටත් ශරීර සෞඛ්‍ය ගැනත් අවධානය යොමු කරන එක හොඳයිනේ. ඒ නිසා නිතර ප්‍රතිශක්තිය වඩවන ආහාරා අරගෙන, ව්‍යායාම එහෙම කරලා ශරීර සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යන්න උත්සාහ ගන්න. 

 

05. සමාජීය සම්බන්ධතා 

අපි හැමෝම දන්න කාරණාවක් තමයි කොවිඩ් නිසා අපේ වටපිටාව එක්ක තිබුන සම්බන්ධතා ගොඩක් අඩුවුනා කියන එක. ඒකෙන් අනවශ්‍ය සම්බන්ධතා අඩුවීම නම් ඇත්තටම හොඳ දෙයක්. ඒත් ඇත්තටම වටපිටාවේ සම්බන්ධතා මුකුත්ම නැතුව හුදකලා වෙලා ජීවත්වෙන්න අපිට අමාරුයිනේ. ඒ නිසා ඔන්න දැන් තමයි අපිට ආපහු ටිකෙන් ටික අපේ අවට බිදවැටුණු සමාජීය සම්බන්ධතා ගොඩනගාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් අවධානය දෙන එක වටිනවා.

 

06. සරල ජීවන රටාව

කොරෝනා නිසා වුන ලොකුම, හොඳම දේ තමයි අපි කවදාවත් ගෙවන්න බැහැ කියල හිතපු සරල ජීවන රටාවකට හුරුවුන එක. ඒකෙන් ආර්ථිකයටත් ලැබෙන්නෙ ලොකු වාසියක්. අපිට ලෝකය එක්ක ලොකු තරඟයක් නොමැතිවීම ඊටත් වඩා මානසිකවත් සහනයක්. ඒ නිසා කොවිඩ් ඉවරවුනත් අපි හැමවෙලාවෙම මේ සරල ජිවන පුරුදු ඒ විදිහටම ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරමු. ඒක අපිට වගේම රටට, ලෝකයටත් යහපතක්. 

 

07. තවමත් අවසන් නැති කොවිඩ් මාරයා

ඔන්න මේ හැමදේටම පස්සේ ලොකුවටම හිතට ගන්න ඕන කාරණාව තමයි මේ කොවිඩ් තාම ඉවර නැහැ. කොවිඩ් ඉවරයි කියලා නිල දැනුම්දීම් කිසිවක් කෙරිලා නැහැ. මේක  පුංචි විරාමයක් විතරක්ම වෙන්නත් පුළුවන්. කොවිඩ් ආපහු අලුත් විදිහකට ඔලුව උස්සන්නත් පුළුවන්. ඒ නිසා කොවිඩ් සැරටම තිබුන කාලේ තරම්ම පරිස්සම් වෙන එක, සෞඛ්‍ය පුරුදු පිළිපදින එක අපි කාගේත් වගකීම. හැබැයි කොවිඩ් ඉවර වෙලා අපි ආපහු ලස්සන ලෝකයකට යනවා කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන ධනාත්මක ආකල්පයෙන් ඉමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *